මළසිරුරු ගැන නොව; සිතිය යුත්තේ වසංගතයෙන් බේරීම ගැනයි – වේඬරුවේ උපාලි නාහිමි

0
47
Author(s): 
අසේල කුරුළුවංශ

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සිදු කිරීම ප්‍රශ්නයක් කර ගනිමින් මහපාරට බැස උද්ඝෝෂණය නොකර සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ක්‍රියා කර කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේ වැදගත්කම සියලු ජාතීන් හා ආගමිකයන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

අනවශ්‍ය කරුණු ඉස්මතු කර ගනිමින් කරන විරෝධතා ජාතික හා ආගමික සමඟියට බාධාවක් බවද උන්වහන්සේ කීහ.

කොරෝනා ආසාදිත ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ ආදාහනය කිරීමට එරෙහිව මේ වන විට රට පුරා කරන උද්ඝෝෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ. මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට පමණක් නොව ලෝකයේම ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බවත් දෛනික කටයුතු කර ගැනීමට නොහැකිව සියලු දෙනා ගැටලුවලට මුහුණ පා සිටින බවත් කී අනුනාහිමියෝ මේ තත්ත්වය අප රටට පමණක් බලපෑ තත්ත්වයක් නොවන බවද අවධාරණය කළහ.

ජාති ආගම් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට සියලු දෙනා උත්සාහ කරනු විනා සුළු සුළු කාරණා ඉස්මතු කරමින් මාර්ග දෙපස උද්ඝෝෂණ කිරීම පිළිගත නොහැකි බවද උපාලි නාහිමියෝ පැවසූහ. කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදිය හැකිද යන්න පිළිබඳ සොයා බැලීමට ජනපති විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙන බවත් එහි වාර්තාව එළිදැක්වීමට පෙර මේ ආකාර උද්ඝෝෂණ දියත් කිරීමෙන් වන්නේ රට අර්බුදයකට පත්වීම පමණක් යැයිද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here