මාස්ක්-සැනිටයිසර් පිටරටින් ඇයි?

    0
    12

    ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ වසරේ ඔක්තෝ­්බර් මස 27 වන දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ සංචාරය ආන්දෝලනාත්මක එකක් විය. MCC ගිවිසුම අත්සන් කරන ලෙස බල කිරීමට ඔහු පැමිණෙන බව සංචාරයට පෙර සමහරකු විසින් මත ප්‍රකාශ කර තිබුණු අතර පැමිණීමෙන් පසු රජය එම ගිවිසුම අත්සන් කළ බවට ද සමාජ මාධ්‍යවල පුවත් පළ කර තිබුණි. එහෙත් පසුව ඇමරිකාව විසින් ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය උනන්දුවක් නොදක්වන නිසා එම ගිවිසුම අත්සන් නොකරන බවයි.

    මගේ බලාපොරොත්තුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. ඔහුගේ සංචාරය අවසානයේ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය. එහිදී මයික් පොම්පියෝ තම අදහස් දැක්වූ අවස්ථාවේ කළ මේ ප්‍රකාශය මගේ මතකයට නැඟේ.

    “ඇමරිකා එක්සත් ජනපදය දැන් ඩොලර් මිලියන 6කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කෝවිඩ් වැඩසටහනට ආධාර වශයෙන් පරිත්‍යාග කළා. වසංගතය පටන් ගනිද්දිම ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා සහ ඇඟලුම් නිෂ්පාදකයන් විසින් ඇමෙරිකාවට ඉහළ ගුණාත්මක තත්ත්වයේ පුද්ගලික ආරක්ෂක කට්ටල සැපයුවා. ඇමරිකානු ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ එම නිෂ්පාදන පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා”.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා විසින් මුඛ ආවරණ, අත් වැසුම්, ආරක්ෂක කට්ටල ආදිය කෝවිඩ් වසංගතය ආරම්භක අවස්ථාවේ දී පටන් ම ඇමරිකාවට අපනයනය කරනු ලැබීය. හදිසි අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවලින් ඉක්මනින් ඒවා නිෂ්පාදනය කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙන් ම ඇමරිකානු තානාපති කාර්‍යාලය ද මැදිහත් වූ බවට ද වාර්තා වී තිබුණි.

    කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා අපට දැන් පිහිට පැතීමට සිදු ව ඇත්තේ ද්‍රව්‍ය දෙකකිනි.ඒ මුඛ ආවරණ සහ අත් සේදුම්කාරක (සැනිටයිසර්) වලිනි. සබන් වැනි තවත් දේවල් ඇතත් ගමනක් යන විට ඒවා රැගෙන යෑමට බැරිය.

    මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට ස්තුති කළේ ගුණාත්මකභාවයෙන් ඉහළ මුඛ ආවරණ ආදිය ඉතා හදිසියේ ම ඇමරිකාව වෙත සැපයීම හේතුවෙනි.

    එසේ වුව ද පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකාවට මුඛ ආවරණ ගෙන්වා ගැනීමට සිදුවූයේ විදේශවලිනි. ඒ අතර සේදුම්කාරක බොහොමයක් ද ආනයනය කිරීමට සිදු ව ඇති බව පෙනී යයි.

    දිනකට මුඛ ආවරණ පහළොස් ලක්ෂයක් ශ්‍රී ලංකාවේ භාවිත වන බව මුඛ ආවරණ නිෂ්පාදකයන්ගේ ඇස්තමේන්තුවයි. සැනිටයිසර් නිපදවනු ලබන්නේ මධ්‍යසාර යොදාගනිමිනි. ඒ සඳහා සියයට 75ක පමණ මද්‍යසාර ප්‍රමාණයක් භාවිත කරයි. එතනෝල්, ඊතයිල් වැනි මද්‍යසාර ඒ සඳහා යොදාගන්නා අතර එය හැඳින්විය හැක්කේ සරල ක්‍රියාවලියක් ලෙසය.

    ශ්‍රී ලංකාව දශක හතරකට ආසන්න කාලයක් අපනයනය සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරයි. එමෙන් ම එතනෝල් ද නිෂ්පාදනය කරයි. ගෝඨාභය රජය ශ්‍රී ලංකාවට එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කළේය. ඒ දේශීය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා දේශීය එතනෝල් නිෂ්පාදන ප්‍රමාණය ප්‍රමාණවත් වීම නිසාය.

    දැන් ශ්‍රී ලංකාවේ වැඩි ම ඉල්ලුමක් ඇති භාණ්ඩ මුඛ ආවරණ සහ සැනිටයිසර් යැයි කීවොත් නිවැරදිය. ඒ දෙක ම සරල නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ දේශීයව නිෂ්පාදනය කළ හැකි දේවල්ය.

    එකවර මේවා සඳහා අති විශාල ඉල්ලුමක් ඇති වන විට සහ ක්ෂණිකව එම ඉල්ලුම සම්පූර්ණ කළ නොහැකි වන විට තාවකාලික පියවරක් ලෙස ඒවා විදේශවලින් ගෙන්වීමට සිදුවනු ඇත. එහෙත් මේ වන විට වසරකට ආසන්න කාලයක් කෝවිඩ් පිළිබඳ අත්දැකීම්වලට මුහුණ දීමට අපට සිදු ව තිබේ. මුඛ ආවරණ චීනයෙන් ද සැනිටනිසර් ඉන්දියාවෙන් ද පැමිණෙන තුරු තව දුරටත් බලා සිටිය යුතු නැත.

    හැකි සෑම දෙයක් ම දේශීයව නිෂ්පාදනය කර රට සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රතිපත්තියකට රජය අවතීර්ණ වී තිබේ. රටේ සැලකිය යුතු පිරිසකට ජීවන මාර්ග අහිමි වී ඇති මොහොතක කෝවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන මුඛ ආවරණ සහ සේදුම්කාරක පමණක් නොව තවත් බොහෝ දේවල් රට තුළ ම නිෂ්පාදනය කළ හැකිය. අත්වැසුම් , ශරීර ආරක්ෂක කට්ටල වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවස්ථාව සැලසී තිබේ.

    බොහෝ දෙනෙකුට ජීවනෝපාය සැලසෙන අයුරින් මෙම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳ අවධානය යොමු විය යුතු ව ඇත.

    පසුගිය දා මුඛ ආවරණ ආනයනයකරුවන් සහ නිෂ්පාදකයන් සමඟ අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සාකච්ඡාවක් පැවැත් වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ඒ වන විට රේගුවට පැමිණ ඇති මුඛ ආවරණ ප්‍රමාණය මිලියන පහකට ආසන්න බව සඳහන් විය.රටේ අවශ්‍යතාවට සරිලන පරිදි නිෂ්පාදන මට්ටම ඉහළ නැංවෙන තුරු සීමිත ආනයන ප්‍රමාණයකට අවසර දිය යුතු ව ඇත. එහෙත් එය ලාභ ආනයන හැකි තරම් රටට ගෙන්වා තොග රැස් කිරීම සඳහා අවස්ථාවක් සලසා දීමට උපයෝගී නොවිය යුතු ව ඇත.

    මහා මාර්ගවල, නගරවල, වීදිවල දැන් දැන් මුඛ ආවරණ අලෙවි කරන පුද්ගලයන් දැක ගැනීමට හැකිය. එසේ ම පසුගිය කාලයේ දී මුඛ ආවරණ ගෘහස්ථ මට්ටමින් නිෂ්පාදනය කර විවිධ වර්ණයන්ගෙන් විවිධ ස්වරූපවලින් වෙ‍ෙළඳපොලට ඉදිරිපත් කර ඇති ආකාරය ද දැකගත හැකි විය. සැනිටයිසර් නිෂ්පාදනය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් බිහි ව ඇති ආකාරය ද දැක ගත හැකි විය. ආර්ථිකය තුළ කෝවිඩ් හමුවේ විවිධ වෙනස්කම් ඇති වන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකාවට වැඩියෙන් ම මුඛ ආවරණ ගෙන්වා ඇත්තේ චීනයෙනි. සැනිටයිසර් වැඩි වශයෙන් ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අතර වියට්නාමය වැනි රටවලින් ද ආනයනය කර තිබේ.

    රජය බොහෝ භාණ්ඩ රටට ගෙන්වීම තහනම් කර ඇත. සමහර භාණ්ඩ ගෙන්වීම සීමා කර ඇත. ඒ අතර ම ඖෂධ වැනි ද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. එහෙත් මුඛ ආවරණ සහ සැනිටයිසර් සම්බන්ධයෙන් රජයේ ආනයන පිළිබඳ සහ දේශීයව නිෂ්පාදන පිළිබඳ ප්‍රතිපත්තිය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත.

    කෝවිඩ් සමඟ සෙල්ලම් කිරීමට ද පුළුවන්කමක් නැත. ඒ නිසා මෙම ද්‍රව්‍යවල ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම ද අතිශය වැදගත් වේ. සැනිටයිසර්වල නියමිත මද්‍යසාර ප්‍රමාණය අඩංගු නොවන්නේ නම් එහි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිය. මුඛ ආවරණ පිළිබඳව ද එය එසේමය.

    මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ ඇමරිකාවේ කෝවිඩ් පැතිර යන අවස්ථාවේ ශ්‍රී ලංකාව විසින් ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ ද්‍රව්‍ය සපයා ඇමරිකානු ජනතාවගේ ජීවිත බේරා ගත් බවය.

    එම ගුණාත්මකභාවය ආරක්ෂා වන ආකාරයේ මුඛ ආවරණ, සැනිටයිසර් සහ කෝවිඩ් මර්දනයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත බේරා ගැනීමටත් ආර්ථිකය රැකගැනීමටත් දේශීය නිෂ්පාදනයන්ට අවස්ථාව සැලසී ඇති අතර දේශීය නිෂ්පාදකයින් සඳහා එම අවස්ථාව තහවුරු කරදීමත් ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමත් රජයේ වගකීම වේ.

    එම ගුණාත්මකභාවය ආරක්ෂා වන ආකාරයේ මුඛ ආවරණ, සැනිටයිසර් සහ කෝවිඩ් මර්දනයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත බේරා ගැනීමටත් ආර්ථිකය රැකගැනීමටත් දේශීය නිෂ්පාදනයන්ට අවස්ථාව සැලසී ඇති අතර දේශීය නිෂ්පාදකයින් සඳහා එම අවස්ථාව තහවුරු කරදීමත් ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමත් රජයේ වගකීම වේ.

    මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here