යළි උදා වන සංචාරක වසන්තය

    0
    7

    පැමිණෙන සංචාරකයන් දිවයිනට ඒමට පැය 72කට පෙර පී.සී.ආර් පරීක්ෂණයකට ලක් විය යුතු වේ. ඔවුන් ගුවන් තොටුපළින් මෙරටට පැමිණි පසු යළි පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කෙරෙන්නේ ඔවුන් නවාතැන් ගනු ලබන හෝටල් පරිශ්‍රය තුළදීය. එම හෝටල් සංචාරක හෝටල් කලාප වශයෙන් වෙන් කර තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂාවකදී යම් සංචාරකයකු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් ඒ ආශ්‍රිතයේම පිහිටි තවත් සංචාරක හෝටලයක නිරෝධායනය සඳහා යොමු කිරීමට තරම් මෙම වැඩසටහන ප්‍රයෝගික වී තිබේ.

    ආක්‍රමණ කිරීම් මෙන්ම සංක්‍රමණ ද ලංකාවට නුපුරුදු අත්දැකීමක් නොවේ. එය ඈත අතීතයේ සිටම සිදු වන්නකි. මෙරට ස්වභාවික පිහිටීම ඊට විශේෂයෙන් බලපා තිබේ. සංක්‍රමණයන් ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරයක් බවට පත් වූයේ ද ලංකාව සතු සොබා සෞන්දර්යයේ අනූනත්වය ‍නිසාය. වර්තමානය වන විට ගෝලීයකරණය, නව තාක්ෂණය යන කාරණා මත එය කර්මාන්තයක් ලෙස පරිවර්තනය වෙමින් මෙරට ජාතික ආර්ථිකයට නැතිවම බැරි ප්‍රබල ආදායම් මාර්ගයක් වී තිබේ. කෙසේ වෙතත් වත්මනෙහි පවතින ගෝලීය වාතාවරණය පෙර නොවූ විරූ පරිදි උඩු යටිකුරු වී තිබෙන මොහොතක සංචාරක කර්මාන්තය ද මුහුණ පා සිටින්නේ දැඩි අර්බුදයකය. 

    කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ගුවන් තොටුපළ වසා දැමෙන්නේ ඉකුත් මාර්තු 19 දාය. එතැන් පටන් පසුගිය මාස 9ක කාලය පුරා කිසිඳු සංචාරකයකු මෙරටට නොපැමිණි අතර විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන් යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණක් ගුවන් තොටුපළ මෙහෙයුම් ක්‍රියාත්මක විය. මේ තත්ත්වය මත සංචාරක කර්මාන්තයෙන් ඍජු හා වක්‍ර ලෙස යැපුණු ලක්ෂ තිහකට ආසන්න පිරිසක් බරපතළ ආර්ථික අහේනියකට මුහුණ පෑහ.

    මෙතෙක් කාලයක් සිය ජීවනෝපාය ද සරි කරගනිමින් ජාතික ආර්ථිකයට මහඟු දායකත්වයක් සැපයූ ඔවුනට අත් වී තිබෙන ඉරණම කෙරෙහි අවධානය යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට සැලසුම් කළහ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළහ. මේ සඳහා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ නොමඳ සහාය ද ඉවහල් වී තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් එය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ ඒ අනුවය. ඊට අදාළව සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා අයැදුම් කිරීමේ සිට මෙරටට පැමිණ ආපසු සිය රට බලා යාම දක්වා කාලය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ විසින් සකස් කොට සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට යොමු කර තිබුණි. අනතුරුව ඇමතිවරයා එය ගුවන් තොටුපළ හා සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරීන් වෙත යොමු කර තිබේ.

    පැමිණෙන සංචාරකයන් දිවයිනට ඒමට පැය 72කට පෙර පී.සී.ආර් පරීක්ෂණයකට ලක් විය යුතු වේ. ඔවුන් ගුවන් තොටුපළින් මෙරටට පැමිණි පසු යළි පී.සී.ආර් පරීක්ෂණයන් සඳහා භාජනය කෙරෙන්නේ ඔවුන් නවාතැන් ගනු ලබන හෝටල් පරිශ්‍රය තුළදීය. එම හෝටල් සංචාරක හෝටල් කලාප වශයෙන් වෙන් කර තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂාවකදී යම් සංචාරකයකු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් ඒ ආශ්‍රිතයේම පිහිටි තවත් සංචාරක හෝටලයක නිරෝධායනය සඳහා යොමු කිරීමට තරම් මෙම වැඩසටහන ප්‍රයෝගික වී තිබේ. ඒ අයුරින් නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කළ පසු අදාළ හෝටලයේ සේවය කරන සේවකයන් ද හෝටලය තුළම සිටිය යුතුය. ඔවුන්ට කිසිදු හේතුවක් මත පිටස්තර සමාජය හා ගැටීමට ඉඩක් නොමැත.

    මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය යටතේ පැමිණ සිටින සංචාරකයන්ට හඳුනා ගත් සංචාරක ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව සැලසෙයි. ඒ තුළින් දැනට අකර්මණ්‍ය වී සිටි සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නන් හට යළි තම ජීවනෝපාය සකසා ගැනීමට හැකි වන්නේය. මින් පෙර වූ ආකාරය‍ට වඩා සෞඛ්‍යා‍රක්ෂිත ක්‍රමවේදයකට අනුව සිය ජීවනෝපාය කර ගෙන යාමට ඔවුන් ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතුය. දුරදිග සිතා බලා රජය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල සාර්ථක වනුයේ එවිටය.

    රජය මෙවන් වැඩසටහනක්‍ ක්‍රියාවට නංවන විට විපක්ෂය සමාජය වෙත රැගෙන යන්නේ සහමුලින්ම කඩාකප්පල්කාරී පණිවුඩයකි. විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීම තුළින් සංචාරක කොවිඩ් පොකුරක් නිර්මාණය විය හැකි බවට ඔවුහු තරයේම මත පළ කරති. එය සැබවින්ම දේශ හිතෛෂී අයුරින් කරන ප්‍රකාශයන් නොවන බව වැටහෙනුයේ සංචාරක කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව කෙරෙහි වගේ වගක් නැතිව දේශපාලන වහසි බස් දොඩන නිසාය. කොවිඩ් නිසා අහිමි වී තිබෙන සංචාරක කර්මාන්තයේ රැකියාවන් හි නියුතු අයට රජය සහන සැලසිය යුතු යැයි මාධ්‍ය සාකච්ඡාවලදී ඝෝෂා කරන විපක්ෂය මේ වැඩසටහන සම්බන්ධයෙන් දරන දුර්මත එකහෙළාම ප්‍රතික්ෂේප වෙමින් තිබේ.

    ඔවුන් නඟන එක් චෝදනාවක් නම් විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා සංචාරකයන් පමණක් මෙරටට ගෙන්වීම අසාධාරණ ක්‍රියාවක් බවයි. තවත් චෝදනාවක් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ රටවල්වලින් පමණක් විදේශිකයන් ගෙන්වන බවත් ඔවුන් සංචාරකයන් නොවන බවත්ය. යුක්රේනයේ සිට හො බෙලොරුසියාවේ සිට හෝ පැමිණෙන්නේ සංචාරකයින් නම්, ඔවුන් මෙරටට පැමිණීම තුළින් විදේශ විනිමය යළි පණ ගැන්වෙන්නේ නම් පැමිණෙන රට අල්ලා ගෙන කෑමොර ගැසීම අනුවණය.

    මාස 9කට අධික කාලයක් සංචාරකයන් සඳහා රට විවෘත නොවීම නිසා පීඩාවට පත්ව සිටි ලක්ෂ 30කට ආසන්න ඍජු හා වක්‍ර යැපෙන්නන් රැක බලා ගැනීම සංචාරක ක්ෂේත්‍රය බාර ආයතනවල හා රජයේ වගකීමකි. විපක්ෂය සැමදා පවසන අන්දමට සංචාරක කර්මාන්තයේ නියුතු වන්නන් හට මාසිකව සහනාධාර හෝ මුල්‍ය පහසුකම් සැපයීම විනා වඩා ප්‍රයෝගික වන්නේ ඔවුන්ගේ සුපුරුදු ජීවනෝපායන් කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. ඒ පසුබිම සකස් කිරීමට නම් සංචාරකයන් මෙරටට ‍ගෙන්වා ගත යුතුය. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් හා වාසස්ථානවල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි නොකරන ලෙසත් අදාළ බලධාරීන් උපදෙස් දී තිබෙන්නේ ද බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තයට දිරි දීමක් වශයෙන්ය. උපරිමයෙන් දිය හැකි සහන සලසමින් සංචාරක කර්මාන්තය ශක්තිමත් කොට එහි ජීවනෝපායෙන් යැපෙන ජනතාව යළි ප්‍රකෘතිමත් කිරීමට සූදානම් වන මොහොතක විපක්ෂය නිකුත් කරන අ‍මනෝඥ ප්‍රකාශයන් ගැන කලබල විය යුතු නැත. යුරෝපයේ ඇතැම් රටවල් මෙන්ම මාලදිවයින වැනි රටවල් දැඩි ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරකයන් යළි තම රටවලට ගෙන්වා ගන්නේ ද වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒමටය. එවන් පසුබිමක වෙනත් රටවල් කරා ඇදී යා හැකි සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම උදෙසා මෙවන් වූ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් හෝ නොමැති නම් මෙරට ආර්ථීකය තවදුරටත් ගමන් කරන්නේ ප්‍රපාතයකටය. 

    පසුගිය දා පළමු සංචාරක කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවේදී පැවැසුවේ ලබන වසරේ ජනවාරි මාසයේ දී නිල වශයෙන් ගුවන් තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. එතෙක් මේ දිනවල සිදු කෙරෙන නියමු ව්‍යාපෘතීන් හි අඩුපාඩු සැලකිල්ලට ගෙන ඒවා නිවැරැදි කර ගනිමින් ඉදිරි කටයුතු වඩා සැලසුම් සහගතව කිරීම රජයේ බලාපොරොත්තුවය. ඒ අනුව වාණිජ ගුවන් මෙහෙයුම් ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛව සිදු කෙරෙන එම කාර්යය සඳහා සෞඛ්‍ය අංශ, ගුවන් තොටුපළ හා ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කොට සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කර ගැනීමට නියමිතව ඇත.

    ලෝක ආර්ථිකයේ 8%ක් පමණ විශාලතම රැකියා උත්පාදන කර්මාන්තය වන්නේ සංචාරක කර්මාන්තයයි. එමෙන්ම වේගයෙන්ම සංවර්ධනය වන ව්‍යාපාරයක් ලෙසත්, ලොව විවිධ රටවල විදේශ විනිමය වැඩියෙන් උපයන හොඳම විදේශ ආදායම් කාණ්ඩවලින් එකක් ලෙසත් සංචාරක කර්මාන්තය හඳුනා ගෙන තිබේ. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් වීම දැරිය නොහැකි පාඩුවක් වනුයේ එය ප්‍රධානතම විදේශ ආදායම් මාර්ගයක් වන හෙයිනි. පියවි ඇසටවත් නොපෙනන කොවිඩ් -19 වයිරසය ඇති කළ බලපෑම ලෝකයක් හෙම්බත් කර තිබේ. කොවිඩ් වසංගතය හමුවේ අධි තාක්ෂණික මෙවලම් සහිත ඉහළ ආර්ථික ශක්තියකින් හෙබි ලොව බලවත් රටවල් පවා මේ වනවිට ගමන් කළ යුතු නිවැරැදි දිශානතියක් සොයා ගැනීමට අපොහොසත් ව ඇති පසුබිමක තුන්වන ලෝකයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙම ගෝලීය වසංගතය හමුවේ දෙපයින් නැඟී සිටීමට වෙර දරන්නේ මෙවන් නොපසුබස්නා උත්සහයක් ඇතිවය.

    පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව 60% සිට 70% දක්වා අඩු වී තිබූ සංචාරකයන්ගේ පැමිණීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ මත යළි ස්ථාවර වෙමින් තිබූ මොහොතක කොවිඩ් සතුරාගෙන් එල්ල වූ බලපෑම පාස්කු ප්‍රහාරයට එහා ගිය එකක් විය. ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් ආදායමක් ලැබෙන, එහෙත් මාස 9ක කාලයක් අවහිර වී තිබූ සංචාරක කර්මාන්තය තවදුරටත් අඩපණ නොවීමට රජය හා සෞඛ්‍ය අංශ ඒකාබද්ධව ගනු ලබන තීන්දු තීරණ සාර්ථක කරගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා පුළුල් වපසරියකින් සාධනීය ලෙස සහාය පළ කළ යුතුය. ඒ මන්ද කොවිඩ් බලපෑමෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය පිළිබඳ ‍ශෝක වෙමින් සිටිනවාට වඩා එය ප්‍රයෝගිකව වැදගත් වන නිසාය.

    පහන් විජේසේකර 
    ඡායාරූප- ගයාන් පුෂ්පික

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here