රාජ්‍ය නිලධාරීන් දිරි ගැන්වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි – ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්

0
41
Author(s): 
මහින්ද අලුත්ගෙදර

රාජ්‍ය නිලධාරීන් මන්දෝත්සාහී කිරීම වෙනුවට ඔවුන් දිරි ගැන්වීම වත්මන් රජයේ දැක්ම වී තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රට විධිමත්ව පවත්වාගෙන යාමේ දි රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය වූ කාර්යභාරයක් ඉටුකරන බවත් එම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රාජ්‍ය නිලධාරීන් මන්දෝත්සාහී කිරීම වෙනුවට ඔවුන් දිරිගැන්වීමේ කටයුත්ත මේ වනවිට තම රජය ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීවේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ කොවිඩ් තත්ත්වය තුල තාවකාලිකව නවතා දමා තිබූ රාජ්‍ය භාෂා වැඩසටහන් යලි ඇරඹීම නිමිත්තෙන් කොට්ටාවේ පිහිටි රාජ්‍ය භාෂා ආයතනයේ පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන් සියල්ල සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියාත්මක විය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා,

රාජ්‍ය නිලධාරීන් පසුගිය රජයන් ගණනාවකට රාජ්‍ය භාෂා ගැටලුව සම්බන්ධයෙන් තමන්ගෙ දුක්ගැනවිල්ල ඒ ඒ රජයන්වලට ඉදිරිපත් කළා. නමුත් මේ කිසිම රජයකට මේ සම්බන්ධයෙන් විසඳුමක් දෙන්න හැකිවුණේ නෑ. දෙවන භාෂා ප්‍රවිණතාව ලබා නොගැනීම තුළ රජයේ නිලධාරීන්ගේ වැටුප් වර්ධක අත්හිටුවීම් ආදී ගැටලු සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිති මට කරුණු ඉදිරිපත් කළා. විෂයභාර ඇමැතිවරයා විදියට මටත් තේරුණා මේ ක්‍රමයේ යම් වැරැද්දක් තියෙනවා කියා. ඒ නිසයි මේ පාඨමාලා ක්‍රමවේදය පිළිබඳ කැබිනට් මණ්ඩලයට දැම්මේ. දැන් මේ නිලධාරීන්ට විභාගවලට මුහුණ දෙන්න වුවමනා නෑ. අදාල පාඨමාලාව හැදෑරුවාම ඇති. මේ වගේම තමයි මේ දිනවල කොවිඩ් තත්ත්වය තුළ රාජ්‍ය සේවය පවත්වාගෙන යාම. මෙයත් අපට විශාල අභියෝගයක් වුණා.

රාජ්‍ය සේවකයන් ගෙන්න ගන්නත් බෑ. ගෙන්න නොගෙනත් බෑ. මේකත් හරියට උණු හින්ද බොන්නත් බෑ, කිරි හින්ද අහක දාන්නත් බෑ වගේ වැඩක්. කොහොම වුණත් අප නිවසේ සිට රාජකාරී කරන්න අවශ්‍ය පියවර ගන්න තීරණය කළා. ඒ ක්‍රමය සාර්ථකයි. අනෙක් අතට සියයට 50ක් පමණ පිරිසක් සේවයට කැඳවන්න තීරණය කළා. මේ කාලීන වෙනස්කම් රාජ්‍ය සේවයට කළ නිසා රාජ්‍ය සේවය බිඳ වැටුණෙත් නෑ. රාජ්‍ය සේවකයා කොවිඩ්වලට බිලි වුණෙත් නෑ. අද අප රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ වැඩ කරන්න අවශ්‍ය වටාපිටාව සකසා තියෙනවා. අප රජයක් විදියට ඔබෙන් අපේක්ෂා කරන්නේ හොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තොර මහජන සේවාවක්. ඒ වෙනුවෙන් ඔබ කැපවෙයි කියා මා විශ්වාස කරනවා.

මෙලෙස ආරම්භ වූයේ රජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් සූදානම් කළ පැය 200 පාඨමාලාවක් වන අතර ඉදිරියේ දී මෙවැනි පාඨමාලා රැසක් ජාතික භාෂා ආයතනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here