වර්ෂාවත් සමඟ විදුලිබල මණ්ඩලයට කෝටි 37ක ඉතිරියක්

0
35

පසුගිය දිනවලදී ඇඳ හැළුණු වර්ෂාපතනය නිසා ඩීසල්වලට සාපේක්ෂව රුපියල් කෝටි 37ක ඉතිරියක් විදුලි උත්පාදනයේදී සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘දිනමිණට‘ ඊයේ (30) පැවසීය.

පසුගිය ආණ්ඩු සමයේදී ප්‍රමාද වෙමින් සිදු කෙරුණු ජල විදුලි ව්‍යාපෘති වත්මන් රජය යටතේ කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් සභාපතිවරයා අනාවරණය කළේය.

බ්‍රෝඩ්ලන්ඩ්, උමාඔය, මොරගොල්ල සහ සීතාවක ජල විදුලි බලාගාරවල ඉදිකිරීම් මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින බවත් පසුගිය ආණ්ඩු සමයේදී මේ ව්‍යාපෘති ප්‍රමාද කිරීම නිසා විදුලිබල ක්ෂේත්‍රයට විශාල පාඩුවක් සිදුවූ බවත් හෙතෙම පැවසුවේය.

ඒ අනුව දැනට ඉදි වෙමින් පවතින ජල විදුලි බලාගාර වන බ්‍රෝඩ්ලන්ඩ් ලබන වසරේ අප්‍රේල් මාසය වන විටත් උමා ඔය ලබන වසරේ මැද වන විටත් අවසන් කිරීමට නියමිත බවත් බ්‍රෝඩ්ලන්ඩ් මෙගාවොට් 35ක්, උමා ඔය මෙගාවොට් 120ක්, මොරගොල්ල මෙගාවොට් 30ක්, සීතාවක මෙගාවොට් 15ක් පමණ ලබා ගැනීමට හැකි වන බවත් ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපෘති එක දවසකින් ඉක්මන් කිරීමේ වාසිය ලෙස උමා ඔය ව්‍යාපෘතිය රුපියල් කෝටි 02ක්, මොරගොල්ල ව්‍යාපෘතියෙන් වාසිය ලක්ෂ 70ක් ලැබෙන බවත් පෙන්වා දුන් ඒ මහතා ඒ වෙනුවෙන් මේ ව්‍යාපෘති කළමනාකරණ මහත්වරු කැපවීමෙන් කටයුතු කරන බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.

චන්දිමා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here