වළගම්බා රජුට රැකවරණය දුන් වාරණ රාජමහා විහාරය

    0
    8

    කොළඹ – නුවර මාර්ගයේ යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරට හැරී කි.මී. 6 ක් ගමන් කිරීමෙන් පසු හමුවන නෙල්ලිගහමුල හන්දියෙන් වමට කි.මී. 2 ක් පමණ ගිය විට වාරණ රජමහා විහාරයට පිවිසිය හැකිය. බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මංගලතිරිය ග්‍රාමයෙහි සියනෑ කෝරලයේ මැදපත්තුවේ නිල්වන් කෙත් යායක් මැදිකොට ඉහළට නෙරා ගිය රමණීය කඳුගැටයක මෙම විහාරය පිහිටා ඇත.

    එම පර්වතය ඇතෙකු වැනි හැඩයෙන් යුතු වු නිසා වාරණ නම් වූ බව ද “වා” නැමැති ගස් විශේෂයකින් බහුල අරණක් වූ නිසා වා-අරණ, වාරණ වී යයිද මතයකි. එසේම පැරණි වන්දනා කවියකද වාරණ ගැන සඳහන් වේ.

     

    ආරණ පොල්වතු උයන් ලැබෙන් ඩයි

    මෝරන පොල් ගෙන හිඳ පේවෙන් ඩයි

    පායන පුන්සඳ සේ බැබලෙන් ඩයි

    වාරණ ගල යට බුදුන් වඳින් ඩයි

     

    රාජ්‍ය අනුග්‍රහය ලද විහාරයක් ලෙස වාරණ හැඳින්වෙන අතර එසේ අනුග්‍රහය දැක්වූ රජවරුවන්ගෙන් වළගම්බා, කීර්ති ශ්‍රී නිශ්ශංක, සවැනි පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී රාජසිංහ යන අය ප්‍රමුඛත්වයක් දැරීය. කෝට්ටේ රාජ්‍ය සමය විහාරස්ථානයේ පුනරුදයක් ඇති වූ යුගයකි. සවැනි පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ බිසවුන් සමඟ පැමිණ මෙහි ඉඩම්ගල අභියස බණ මඩුවක් සාදවා පිරිත් පිංකමක් කරවූ බවත් එහි අනුශාසනාව දේශනා කළ සෙන්දිරිප්පෙරුම නම් තෙරුන් වහන්සේට නායක පදවියත් සමඟ ගම්වරයක් පූජා කළ බවත් දොරකඩ අස්න කී අල්පිටිගම ළමයාට “ ශ්‍රී වර්ධන දොරකඩ මුදලි” යන නම් වූ නාමය සමඟ නින්දගමක් දුන් බවත් “අල්පිටිගම” නම් පාරම්පරික තඹ සන්නයක සඳහන් වන බව “වාරණ වරුණෙහි” අන්තර්ගත වේ.

    වළගම්බා රජු අවසන් වරට සැඟවී සිටි ස්ථානය ලෙස ජනප්‍රවාදයේ, වාරණ හැඳින්වේ. අනුරාධපුර යුගයේ සිට ආරණ්‍ය සේනාසනයක් හෝ ලෙන් විහාරයක් ලෙස පැවති මෙම විහාරය ග්‍රාමවාසී විහාරස්ථානයක් බවට පත්ව ඇත්තේ වළගම්බා රජ සමයේදීය. ප්‍රතිමා නෙළීම හා චෛත්‍යය ඉදි කිරීම මෙම රජුගේ කාලයේ දි සිදුව ඇතැයි කියැවේ.

    විහාරස්ථානයට පිවිසෙත්ම දකුණු පසින් විශාල ගල් පර්වතයක් දිස් වේ. මෙය “ඉඩම් ගල” නමින් හැඳින්වේ. උසින් අඩි 100 කට වැඩිය. තුන් පැත්තකට විහිදී ගිය ලෙන් පිහිටා ඇති අතර නැගෙනහිර පෙදෙසට විහිදුණු ගල් තලාවකි. එය දික් ගලකි. මෙහි පැරණි බ්‍රහ්මී අක්ෂරයෙන් කළ සෙල් ලිපියක් හමුවේ.

    “බත මඣිමශ බතික බත තිශ දතශ දනෙ”

    එහි අර්ථය වන්නේ

    “ මජ්ඣිම ස්වාමින් වහන්සේගේ සහෝදර තිස්ස දත්ත ස්වාමීන් වහන්සේගේ දීමනාවයි” යන්නය.

    තිස්ස දත්ත තෙරුන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සද්ධි විහාරියන් වහන්සේ බව “තිස්සදත්ත, කාලසුමන, දීඝසුමනාදයොව, මහාරට්ඨ තෙරස්ස අන්තේවාසික” යන සමන්ත පාසාදිකා නම් විනය අටුවා පාඨයෙන් සනාථ වේ. මහා වංශයට අනුව දෙවනපෑතිස් රජු යොදුනෙන් යොදුන විහාර කරවු බව සඳහන් වන අතර ඉන් එක් විහාරයකි වාරණ රජමහා විහාරය. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙක් වූ සෙනරත් පරණවිතාන මෙම සෙල් ලිපියේ සඳහන් අක්ෂර පිළිබඳව අධ්‍යයනය කොට එය ක්‍රි.පූ. 3 වන සියවසේ මුල් භාගයට අයත් බ්‍රහ්මී අක්ෂර ලෙස “Inscription of Ceylon” නම් වූ සෙල් ලිපි සංග්‍රහයේ සඳහන් කර තිබේ. ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක අනූව වාරණ රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 – 2 පමණ කාලවකවානුවට අයත්වේ.

    දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහි මෙම විහාරස්ථානය, දේවප්‍රතිරාජ අමාත්‍යයා ලවා දියුණු කළ බව ද කෝට්ටේ යුගයේ සයවැනි පැරකුම්බා රජ සමයේ, මෙහි ධර්මශාලාව ඇතුළු සම්පූර්ණ වාරණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව ද කෝට්ටේ යුගයේ අටවන වීර පැරකුම්බා රජ මෙම විහාරයෙහි බණමඩුවක් සාදා පිංකමක් සිදුකළ බව ද මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී මෙම විහාරස්ථානය යළි ප්‍රතිසංස්කරණය කොට කෙත්වතු පූජා කළ බව ද සඳහන්ය.

    වාරණ රජමහා විහාරය පහත මළුව, මැද මළුව හා උඩ මළුව යනුවෙන් ප්‍රධාන මළු තුනකින් සමන්විතය. සෙල් ලිපිය සහිත දිග්ගල හා ලෙන් හතර, ආවාස ගෙය සහ ධර්ම ශාලාව සහිත ලෙන පහත මළුවට අයත් වන අතර විහාරයේ මැද මළුවට, ලෙන තුළ පිහිටි මහා විහාරයත්, ඉපැරණි සිදුවම්, ලෙන අසල පිහිටි චෛත්‍යය, පෝය ගෙය, දේවාලය පිටිපස ඇති ලෙන සහ ලිපිය අයත් වෙයි. එමෙන්ම සඳකඩපහන් 4 ක් ද දැකගැනීමට හැකිවේ. උඩ මළුවෙහි ලෙන් විහාරය, ලෙන් ආවාසය, පොකුණ, පැරණි ගල්ලෙන සහ ගල මත පඩිපෙළ දක්නට ඇත.

    විහාරයෙහි දකුණු පෙදෙසෙහි පිහිටි ලෙන තුළ වු පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට

    “කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය” අලුතින් ඉදිකොට ඇත. භික්ෂුන් වහන්සේලාට පැන් ලබා ගැනීමට පහසුවන ආකාරයට දකුණු පස ඇති ලෙන් තුළම ළිං සාදා තිබේ. උතුරු පෙදෙසෙහි අර්ධ ලෙන තුළ විශාල තෙමහල් ධර්ම මන්දිරය නිමවා ඇති අතර එහි මණ්ඩපයට ඉහළින් සදෙව්ලෝ හා බ්‍රහ්ම ලෝකය , ජම්බුද්දීපය ආදිය නිරූපණය වන සිතුවම් වලින් අලංකාර කර ඇත. ලෙනෙහි කෝට්ටේ යුගයේ කරවූ යැයි සැලකෙන වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම් දක්නට ලැබෙන ලැබේ. ඉන් බොහෝමයක් අභාවයට ගොස්ය.

    පහත මළුවේ තෙරුවන් මැදුර පිහිටා ඇති අතර, එහි උඩු මහලෙහි ධාතු මන්දිරයත්, දෙවන මහලෙහි මංගලතිරි පිරිවෙන් පුස්තකාලය සහ කියවීම් ශාලාවත් , බිම් මහලෙහි සංඝාවාසයත් පිහිටා ඇත. මින් පසු එළඹෙන්නේ විහාරාධිපති හිමි වැඩ වසන ලෙන තුළ පිහිටි සංඝාවාසයයි. මෙම ලෙන අසල ගල් වියනක් ඇති අතර ඉන් ඔබ්බට දාන ශාලාවද ඊට උතුරින් “ කොප්පරාගල” නමින් හැඳින්වෙන ගල් පව්ව යට, උඩ පන්සල නම් වූ නවීකරණය කළ සංඝාවාස ලෙන් කුටිය පිහිටා ති‍බේ. දකුණු පෙදෙසට වන්නට මැද මළුවට පිවිසීමට ඇති ගල් පඩි හමුවේ. එය ගණනින් සියයකි. මෙහි මදක් ගමන් කළ විට පසෙකින් “කොස්සින්නේ පඤ්ඤාකක්දාභිධාන” නායක ස්වාමින්ද්‍ර ස්මාරකය හා ඒ අසල පිහිටි පොකුණ දක්නට ලැබේ.

    ඝණ්ටාර කුලුන යටින් මැද මළුවට පිවිසෙත්ම ඉදිරියෙන්ම මහා විහාර මන්දිරය පිහිටා ඇත. මෙය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු කොටසේ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේද , ඉන් දෙපස විෂ්ණු , සමන් , නාථ යන දේව රූපද, ආනන්ද මහ රහතන් වහන්සේගේ රුව සහිත ප්‍රතිමාද දක්නට ලැ‍බේ. එමෙන්ම වළගම්බා රජුගේ රුවෙහි බිතු සිතුවම්ක්ද මෙහි ඇද තිබේ. දෙවන කොටසෙහි සූවිසි විවරණ හා සත්සතිය පෙන්වන ප්‍රතිමාද , විෂ්ණු දේව රුවද ඇති අතර ලෙන් වියන පැරණි සිතුවමින් සරසා තිබේ. මෙම සිතුවම් අතර මහින්දාගමනය, මහ මෙවුනාවේ බද්ධ සීමාව පිහිටුවීම, දන්ත ධාතුන් වහන්සේගේ වැඩම වීම, මහමෙවුනා උයන් පූජාව, සෝමා දේවිය තම සැමියා බේරා ගැනීම පිණිස රියෙන් බැස සතුරා ඉදිරියට යාම, අනුලා දේවිය පැවිදි වීම, වළගම්බා රජු කටාරම් කෙටවීම ආදි කතා පුවත් හා බිමිබිසාර රජුගේ රුවක්ද සිතුවටම නගා තිබේ.

    විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද මෙම ගල් ලෙන තුළම පිහිටා තිබේ. බටහිර දෙසට වූ ලෙනෙහි පොහොය සීමාව ඇති අතර ඉදිරියෙන් මෑත කාලීනව කරවන ලද දොලොස්මහේ පහන් ගෙය දක්නට ලැබේ. විහාර මන්දිරයට දකුණු දෙසින් ඇති ලෙන තුළ පැරණි චෛත්‍යයක් දක්නට ලැබේ. එය මුල්කාලීන චෛත්‍ය ගෘහයන්ගේ ආකෘතිය නියෝජනය කරන්නකි. මින් පසුව පඩි 125 ක් පමණ නැගීමෙන් පසු ඉතා රමණීය පරිසරයක පිහිටි උඩ මළුවට පිවිසේ. මළුවේ මැද බෝධි වෘක්ෂය පිහිටා ඇති අතර පසෙකින් විහාර ගෙය දක්නට ලැබේ.

    විහාරගෙට පිවිසෙත්ම දකුණු පසින් දැඩිමුණ්ඩ දේව රුවද ඇතුළු වන දොරටුවෙහි අලංකාර මකර තොරනක්ද දක්නට ලැබේ. සදෙව්ලොව නිරූපණය කරමින් ලෙනෙහි වියන සරසා තිබේ. ඒ වටා ඇති බිත්ති දේවාරාධනාව, සිදුහත් උපත, කාලදේව තවුස් හිස මත සිදුහත් කුමරු පා තැබීම, වප් මඟුල හා ශිල්ප දැක්වීම යනාදි සිතුවමින් අලංකාර කර තිබේ. ඇතුළු ලෙනෙහි දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව ද , දකුණු පසින් ඔත් පිළිම තුනක් ද , උතුරු පෙදෙසට මල් තොරණ සහිත තවත් ඔත් පිළිමයක් හා හිටි පිළිමයක්ද දක්නට ලැබේ. එහි පසෙකින් මෛත්‍රී බෝසත් රුව හා වළගම්බා රුව නිරූපිතය.

    වාරණ විහාරස්ථානයේ සිතුවම් යුග තුනක් නියෝජනය කෙරේ. මුලින්ම ඇඳි සිතුවම් අනුරාධපුර යුගයට අයත් වන අතර ඒ මත මහනුවර යුගයේදී ද පසුව එම සිතුවම් මත කෝට්යේ යුගයේදී ද සිතුවම් නිමවා ඇත. වර්තමානයේ දී අපට දක්නට ලැබෙන්නේ කෝට්ටේ යුගයේදී ඇඳි සිතුවම් පමණි. මෙහි ඇති ලී කැටයම් මහනුවර යුගයට හා කෝට්ටේ යුගයට අයත්ය.

    අලුතින් ඉදිකරන ලද ධර්ම ශාලාව කේන්ද්‍ර කොට ගෙන ඇති ලෙනෙහි වෙස්සන්තර ජාතකය නිරූපණය කරන චිත්‍ර දක්නට ලැබේ. එය තීරුවලට බෙදා අඛණ්ඩ කථන ක්‍රමයට මහනුවර ශෛලියෙන් රේඛා භාවිතා කොට එම රේඛා මැද වර්ණ ගන්වා අදින ලද සිතුවම් රැසකි. ඇම්. සාර්ලිස් නම් චිත්‍ර ශිල්පියාගේ ආභාෂය ඔස්සේ අඳින ලද නූතන යුගය නියෝජනය කරන සිතුවම් උඩ මළුවේ විහාර ගෙය තුළ දක්නට ඇත.

    සීතාවක රාජධානි සමයේ දී හා පෘතුගීසි කාලයේ දී මෙම විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වු නිසා විහාරය වල් බිහි වී පැවතිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය නොමදව ලබා විහාරය ඉතා දියුණු තත්ත්වයකට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

    රුක්ෂිලා වෙත්තමුණි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here