ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙඩ වාට්ටුවකට යෑම පරාජයට හේතුවයි

0
23
Author(s): 
ෆවුස් මොහොමඩ්

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් අත් විඳීමට සිදු වූයේ ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීම නිසා බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

පෙරේදා දකුණු අප්‍රිකානු පිල සමග සෙන්චූරියන්හිදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් පසු දිමුත් කියා සිටියේ තමා කිසි දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොමැති බවකි.

‘මම කවදාවත් මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා නෑ. සමහර විට කිසිම නායකයෙක් මේ වගේ එක තරගයකදී පන්දු යවන්නන් තුන්දෙනෙක් අහිමිවීමේ සිදුවීමකට මුහුණ දීලා නැතිව ඇති. ’ ඔහු කනගාටුවෙන් යුතුව එසේ කීවේය.

‘අපි තරගය ආරම්භ කරන විට සමබර පන්දු යැවීමේ කණ්ඩායමක් වුණා. ඒ පන්දු යවන්නන් මට විවිධ ආකාරයට පාවිච්චි කිරීමේ අවස්ථාව තිබුණා. නමුත් පළමු ඉනිම අතරතුරදීම අපිට ඔවුන්ගේ සේවය අහිමි වුණා. අපි සිටියේ තරගය ජයගැනීමට තරම් හැකියාවක් ඇතිවයි. පසුගිය වතාවේ අපි තරග දෙකම දිනා ගෙන සමස්ත තරගමාලාවම ජයගත්තා. දැන් තත්ත්වය ඊට වඩා බරපතළයි. පළමු ටෙස්ට් තරගය ඉනිමකින් පරාජය වීම විශාල වේදනාවක්. ’ දිමුත් කරුණාරත්න පැවැසීය.

මේ තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිල මෙතෙක් දකුණු අප්‍රිකානු භූමියේ ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායම බවට පත් වූ බවත්, දෙවැනි ඉනිම ඊට වඩා බැරෑරුම් වන බවත් දැන සිටි බව කී ශ්‍රී ලංකා පිලේ නායකයා, පන්දු යවන්නන් පූර්ණ ශාරිරික යෝග්‍යතාවකින් පසුවූයේ නම් යමක් කළ හැකිව තිබූ බව කියා සිටියේය.

‘අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළා. අපි දෙවැනි ඉනිම ආරම්භ කරන විට ලකුණු 200 ගණනක් පසුපසින් සිටියා. අපි එම ලකුණු සංඛ්‍යාව පසු කර දකුණු අප්‍රිකානු පිලට යම් කිසි ඉලක්කයක් ලබා දුන්නත් එය රැක ගැනීමට තරම් ප්‍රමාණවත් පන්දු යැවීමේ ශක්තියක් අපිට තිබුණේ නෑ. ඒක අපි හැමෝම දැනගෙනයි හිටියේ. ’ ඔහු කීවේය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල්ගේ සේවය දෙවැනි ටෙස්ට් තරගයට ලැබෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ. නමුත් දෙවැනි ඉනිම අතරතුර ආබාධයකට ලක්වූ ප්‍රවීණ පිතිකරු දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සැක සහිත වී තිබේ. තවත් මුල්පෙළ පිතිකරුවකු වන ඕෂද ප්‍රනාන්දුගේ තත්ත්වය යහපත් වන අතර, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු වැනි අතිරේක වේගපන්දු යවන්නන් ද සංචිතයේ සිටිති.

‘අපි මේ සංචාරයට එක් වුණේ බලාපොරොත්තු රාශියක් එක්කයි. අපි හිටියේ ඉහළ මානසිකත්වයක. දෙවැනි ටෙස්ට් තරගයට මුහුණ දෙන්න වෙන්නේ අපිට ඉතුරුවෙලා ඉන්න ක්‍රීඩකයන් පිරිසත් එක්කයි. කොහොමවුණත් තරගමාලාව තවම ඉවර නෑ. දෙවැනි ටෙස්ට් තරගයේදී අපේ අතිරේක ක්‍රීඩකයන් සාර්ථකව දස්කම් දක්වයි කියලා මට සහතිකයි.’ දිමුත් කරුණාරත්න බලාපොරොත්තු සහගතව එසේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here