සතාචාර්ය නිසා මිලින්දට වූ ඇබැද්දිය

0
27
රංගන ශිල්පී, හඬ නළු මිලින්ද පෙරේරා
දෙසැම්බර් 31, 2020

මේ දිනවල පණ්ඩිත රාමා නරඹන ඔබට ඔහුගේ කටහඬ ආගන්තුක වන්නේ නැහැ. එම මාලා නාටකයේ සතාචාර්යට හඬ කවන්නෙ මේ අද අපේ කතාවේ නායකයායි. හඬින් වගේම රුවින් ද ඔහු ඔබට සමීපයි. මිලින්ද පෙරේරා ලෙසට මා ඔහු හඳුන්වා දෙන ගමන් මේ සැරසෙන්නේ ඔහුත් එක්ක ටිකක් කතා කරන්න. මිලින්ද කියන්නේ දිගු ඉතිහාසයක් තියෙන නළුවෙක්. ඒ වගේම අති දක්ෂ හඬ කැවීම් ශිල්පීයෙක්. තවත් අන්දමින් කිව්වොත් අත්දැකීම් බහුල කලාකරුවෙක්.

 

පණ්ඩිත රාමා මාලානාටකය නිසා ඔබ ගොඩක් දෙනෙක් හඬින් මේ දිනවල හඳුනනවා ඇති?

මම දිගු කාලයක් හඬකැවීමේ නිරත වුණා. මේ වගේ මිනිස්සු අපිව කටහඬින් හඳුනන කාල වකවානු වෙනවා. ඒක මං අත්දැකීමෙන් කියන්නෙ. පණ්ඩිත රාමා නාට්‍යයේ විශේෂත්වය ගැන කතා කළොත්, මම හඬ කවන චරිතය මේ නාටකය පුරාම තියෙනවා. සතාචාර්ය‍යට රඟපාන ඒ නළුවා නිතරම වේගවත්ව කතා කරන කෙනෙක්. මම කටහඬ වෙනස් නොකළත් ඔහුගේ ශෛලයට අනුගත වෙන්නට මට සිදු වුණා. බොහෝ වෙලාවට ඔහු ඉතා දරුණු අන්දමින් උස් හඬින් බොහෝ වෙලාවක් කතා කරනවා. ඒක කතා කිරීමකටත් වැඩිය කෑගැහිල්ලක් කියලා කිව්වොත් හරි. ඉතිං ඒ විදිහටම අපිත් හඬ උච්චාරණය කරන්න අවශ්‍යයිනේ. වෙනත් හඬකවපු චරිත වලට වඩා මට මේකෙ වෙනමම කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. මේ නාට්‍යයත් හරිම ජනප්‍රියයි. ඒ නිසා යම් යම් තැන්වලදී මම කතා කරද්දි මිනිස්සු මාව හඬින් හඳුනා ගත් අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

 

මේ චරිතය හඬ කවන්න ගිහින් ඔබ නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දුන්නා නේද?

අර කලින් කිව්වා වගේ, අනන්තවත් මම චරිත වලට හඬ කවලා ඇති. මේ වගේ අත්දැකීමකට මම කවදාවත් මුහුණ දීලා නැහැ. ඒක වුණේ මෙහෙමයි. චරිතයට අනුව ඉතා උස් හඬින් කතා කරන්න ඕනේ නිසා මම එහෙම හඬ කවමින් හිටියා. මට දැනුණා මාව කැරකෙනවා වගේ. ඒ වෙලාවේ මම හෙඩ්ෆෝන් දෙකත් කනේ රුවාගෙනයි හිටියෙ. මම ටක් ගාලා හෙඩ්ෆෝන් එක ගලවලා ළඟ තියෙන තැනකින් වාඩි වුණා. මට තේරුනා ඒ දවස තුළ මට මින් ඉදිරියට හඬ කැවීම් කරන්නම බැහැයි කියලා. මගේ ප්‍රශ්නේ දැනගෙන දෙරණේ හඬ කවන මල්ලිලා මගෙ ළඟට ඇවිල්ලා මොනවද අයියේ වෙන්න ඕනේ කියලා ඇහුවා. මම එවෙලෙ කිව්වේ මට ඉක්මනට ගෙදර යන්න ඕනේ, හඬ කවන්න බැහැ කියලා. මගෙන් ඔවුන් ඇහුවා ගිහින් ඇරලවන්නද කියලා. ඒකටත් එපා කියලා මම ආව බයිසිකලේ නැගලා දෙරණ ඔෆිස් එක තියෙන මරදානෙන් පිටත් වුණා. ආමරවීදිය හරියට එද්දි මට කොහෙත්ම යා ගන්න බෑ. මම ඒ කිට්ටුව තිබුණු කඩේකින් මොනවා හරි කාලා යන්ඩ හැදුවා. ඒත් යන්න බැහැ. අන්තිමේ ළඟ තිබුණු රෝහලකට ඇතුළත් වුණා. රෝහලින් කිව්වේ මට කිසිම රෝගාබාධයක් නැහැ කියලයි. පොඩි බේතක් දීලා මාව පිටත් කර යැව්වා. මම ළඟ තිබුණු මගේ සහෝදරයාගේ ගෙදර ගිහිල්ලා ටිකක් රෙස්ට් කරල ගෙදර ගියා. පහුවෙනිදා මම පවුලේ වෛද්‍යවරයා මුණගැහිලා ඇහැව්වා මට මේ මොකක්ද වුණේ කියලා. ඔහු කිව්වේ දිගු වෙලාවක් හෙඩ්ෆෝන් ගහගෙන ඉතා උස් හඬින් කතා කිරීම නිසයි එහෙම වුණේ කියලා. එතකොට කනේ බැලන්ස් එක නැතිව යනවාලු. මම එයින් පස්සේ එක දිගට හෙඩ්ෆෝන් එක ගහගෙන පණ්ඩිත රාමා හඬ කැව්වේ නැහැ. මේ වෙලාවේ මට මතක් කරන්න ඕනේ දෙරණ පණ්ඩිත රාමා ඩබින් ටීම් එක. මම අසනීප වෙච්ච වෙලාවෙ ඉඳල ඔවුන් බොහෝම සුහදව කටයුතු කළා.

ඔබේ මේ දිනවල රංගන කටයුතු කෙරෙන්නේ කොහොමද?

රනිල් කුලසිංහ මල්ලිගේ පානාමංකඩ නාට්‍යයේ විදුහල්පති කෙනෙක් විදිහට මම රංගනයේ යෙදුණා. ඒ නාට්‍යය නම් තාම විකාශය වෙන්න ආරම්භ වුණේ නැහැ. සිරස විකාශය වන දාම් නාට්‍යයේ තාත්තා කෙනෙකුගේ චරිතයක් කරනවා. මහවිරු පණ්ඩු නාට්‍යය මහ සෙනවි හැටියට රඟපානවා. ඔය වගේ වැඩ කටයුතු ටිකක් තමයි කරගෙන යන්නේ.

 

ඔබ බොහෝ අවස්ථාවන්වල දී දුෂ්ට චරිතවලට පමණක් කොටු වුණා?

ඇත්ත… මම කාලයක් දුෂ්ටයාටම විතරක් පණ පෙව්වා. ඒක වුණේ එක චරිතයක් සාර්ථකව කළාම දිගින් දිගටම එවැනි අන්දමේ චරිත වලට කතා කිරීම. මම එකේ වරදක් දකින්නේ නැහැ. අධ්‍යක්ෂවරු හිතනවා අපිට ඒ දුෂ්ට චරිතය වඩාත් හොඳීන් කරන්න පුළුවන් කියලා. ඉතින් අපිත් ලැබෙන ඒ දුෂ්ට චරිතයට උපරිම සාධාරණය ඉටු කරනවා. පසුකාලීනව මම ඒ තත්වයෙන් බොහෝසෙයින් මිදුනා. වර්තමානය වනවිට චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා.

 

දුෂ්ට චරිත කිරීම නිසා සැබෑ ජීවිතයෙත් ඔබ දුෂ්ට චරිතයක් කියලා සමහර අපේ රසික රසිකාවෝ හිතනවා?

ඇත්තටම ඒ අත්දැකීම අනන්තවත් මම අත්වින්දා. අපිත් එක්ක හිතවත් වෙලා මිනිස්සු කතා කළත් හිත යට තියෙනවා මේ අර දුෂ්ට නළුවා නේද කියන කාරණය. ඒ නිසා සමහරක් විට අපි බැන වදී කියල යම් යම් දේවල් කියන්නෙත් නැහැ.

 

මේ තාක්කල් කරපු චරිත අතුරින් වඩාත්ම ප්‍රතිචාර ලැබුණේ මොන චරිතයට ද කියලා මම ඇහැව්වොත්?

මල්ලිට මතක ඇති යුගවිලක්කුව නාට්‍යය. අපේ සුදත් රෝහණ මහත්තයා තමයි ඒක කළේ. මම එහි රඟපෑවේ ගෝපාල් කියලා එල්. ටී. ටී. ඊ. නායකයකුගේ චරිතයක්. මට දමිළ භාෂාවෙන් තමයි බොහෝ වෙලාවල්වලදී කතා කරන්න තිබුණේ. සිංහල නළුවෙක් දමිළ චරිත කරනවා අඩුයිනේ. ඒ හින්දමදෝ මන්දා මම ඒ චරිතය තුළින් එක රැයකින් ජනප්‍රිය වුණා. අදටත් ඒ චරිතය මතක තියෙනවා බොහෝ දෙනෙකුට.

 

අද බොහෝවිට නළු නිළියන් ඉතා අඩු මුදලකට තමයි තක්සේරු කරන්නේ. ඔබත් ඒ තත්ත්වයට මුහුණ දීල තියෙනවා කියලා මම දන්නවා?

ඔව්. චරිතයක් සඳහා අපිට කතා කරද්දි කියනවා, මිලින්ද අයියේ මේ වගේ ගාණක් තමයි ඔයාට දාලා තියෙන්නෙ කියලා. මම ඒ වෙලාවේ කල්පනා කරන්නේ ලැබෙන මුදලට වැඩිය කරන්න තියෙන චරිතය ගැන. මොකද මම ඔය චරිතය අත හැරියොත් ඊට වැඩිය අඩු මුදලකට හෝ නිකම් රඟපාන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. එහෙම දිගින් දිගටම චරිත අත හැරියොත් මට කරන්න චරිත නැති වෙනවා. සමහර විට එහෙම එහෙම වෙලා චරිත වලට අපිට කතා නොකරම ඉන්න වාතාවරණයක් හැදෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳයි අපිට දෙන මුදලට හෝ අපිට චරිතය නිරූපණය කරන එක. මොකද අපිට තියෙන ආර්ථික ප්‍රශ්න ගැන අපි විතරයි දන්නේ. ඒ නිසා ලැබෙන සාධාරණ මුදලට මම ගිහිල්ලා චරිත රංගනයේ යෙදෙනවා

 

ඔබ වෘත්තීය නළුවෙක් ද?

ලංකාව තුළ වෘත්තීය නළුවෙක් වෙන්න මම බොහෝ අවස්ථාවන් වලදී උත්සහ ගත්තා. නමුත් එහෙම ඉන්න අමාරුයි. අපිට පවුලේ ව්‍යාපාරයක් තිබුණා. ඒ නිසා මම සැරින් සැරේ එයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. අද වෘත්තීය කලාකරුවෙක් වීම අසාර්ථක ප්‍රයත්නයක් නිසා වර්තමානයේ දී මම පුංචි බිස්නස් එකක් පටන් අරගෙන තියෙනවා. රටට යම් යම් ව්‍යසන ආවාම මුලින්ම බඩේ පාර වදින්නේ කලාකරුවන්ට. මේ කොවිඩ් කාලේ ඊට තියෙන ළඟම උදාහරණය. ඒ නිසා කාටවත් අත පාන්නේ නැතුව තමන්ගේම කියලා දෙයක් ආරම්භ කරමින් කලාවේ යෙදෙනවා නම් තමයි හොඳ.

 

මේ වන විට ඔබ නිර්මාණ කීයකට පමණ දායකත්වය ලබා දීලා තියනවද?

වේදිකා නාට්‍යය නම් 300ක 400 පමණ රඟපාලා තියෙනවා. චිත්‍රපට දහයක විතර තමයි රඟපාල තියෙන්නෙ. මගෙ හිතේ ටෙලිනාට්‍යය 150 කට අධිකයි.

 

පවුලේ විස්තර කතා කළොත්?

බිරිඳ නිමාලි තමයි මගේ කලා කටයුතුවලට මේ තාක් කල් උපරිම සහයෝගයක් ලබා දුන්නේ. ඇයත් කලාකාරිනියක්. ඔය කලාවේ කටයුතු කරන ගමන් ඉන්නකොට තමයි මට ඇයව මුණ ගැසුණේ. පසුකාලීනව ඇය පවුල් ජීවිතයට මූලිකත්වය දෙමින් කලාවෙන් ඉවත් වුණා. මට එක පුතයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. එක දුවෙක් විවාහ වෙලා ඇයට ළමයින් එහෙමත් ඉන්නවා. එහෙම බලන කොට මම සීයා කෙනෙක්. පුතා විදෙස්ගත වෙලා රැකියාවක් කරනවා. බාල දුව තවම ඉගෙන ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here