සන්දරවලේ නිධානය රකින කරාබුවක් දැමූ ආඳා

    0
    5

    බද්දේගම නගරයට ආසන්න “සන්දරවල” නම් වූ තැන පැරණි නිධානයක් ආරක්ෂා කරමින් සිටින රන් කඩුක්කම දැමූ ආඳා සත්වයා ගැන ඒ ගමේ මිනිස්සු අතර ජනප්‍රවාද රැසක් අසන්නට ලැබේ.

    සන්දරවල ඉතා පැරණි තැනකි. පුරාවිද්‍යාත්මකව සලකා බලන කල එය ක්‍රි.වර්ෂ 1480-1500 අතර කාලයේ ඉදිකරන ලද පොකුණකි.

    සන්දරවල කරවනු ලැබුවේ දුටුගැමුණු රජතුමාගේ පියා වන කාවන්තිස්ස රජතුමා බවට විශ්වාස කෙරේ. එතුමා කීඹී ඇළට සම්බන්ධ කර මේ පොකුණෙන් ජලය බෙදා හැරි බවට මිනිස්සු විශ්වාස කරති. සන්දරවලට රන් දොරක් දමා ඒ සොරොව්වෙන් ජලය බෙදා හැරි නිසා මුලින් “රන්දොර” නමින් ප්‍රචලිත වූ බවත් කාලයක් ගත වූ පසු රන් දොරවල ජනතා උච්චාරණයෙන් “සන්දරවල” වූ බවත් කියවේ.

    දුටුගැමුණු රජතුමා රුහුණෙන් අනුරාධපුරයට සංක්‍රමණය වූ පසු එළාර රජතුමාගේ ප්‍රබල සෙ‍ෙනවියෙක් තම අතවැසියෙක් ද සමඟ රුහුණට පලා ගොස් ඇතැයි තවත් මතයකින් පැවසේ. මේ සෙ‍ෙනවියා ගාල්ල බද්දේගම ප්‍රදේශයේ තමාට සැඟවී ඉන්නට සුදුසු තැනක් ලෙස සලකා පදිංචි වී තිබේ.මේ නිසා බද්දේගම පිහිටි බෞද්ධ විහාරස්ථානවලට දෙමළ මිනිසුන් පැමිණ විහාරවල තිබුණු වටිනා වස්තුව කොල්ලකෑ බවත් කියැවේ. ඔවුන් කොල්ලකෑ විහාරස්ථානයක් අදටත් හඳුන්වන්නේ හැඩිදෙමළ කන්දේ විහාරය නමිනි.

    විහාරය කොල්ලකෑ දෙමළ පිරිස මෙහි සැරිසරන බවට දුටුගැමුණු රජතුමාට ආරංචි වී ඇත. දෙමළ කොල්ලකරුවන්ට තවදුරටත් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට මේ ප්‍රදේශයේ ලැගුම්ගෙන සිටින්නට නොහැකි බව පෙනී ගියේ විශාල සේනාංකයක් ඔවුන්ට පහර එල්ල කිරීමට එන බව ඔවුන් දැනගත්තාට පසුවයි.

    මේ නිසා දෙමළ සේනා නායකයා තමන්ට අයත් සියලු වස්තු සම්භාරය මේ වළට දමා ‘සන්දරා’ නම් වූ තම සේවකයාට පමණක් මේ රහස පවසා සිය අතින්ම ගෙල සිඳගත් බව පැවසේ. ගැමුණු රජුගේ භටයන් අතින් ‘සන්දරා’ ගේ හිස සිඳී ගිය බවත් මරණයෙන් පසු ඔහු ආඳෙක් වී ඉපදී එහි ඇති වස්තූන් ආරක්ෂා කරන බවටත් ගැමියන් අතර මතයක් පවතී. සන්දරා නම් සේවකයා නිසා මේ වළ සන්දර වළ නම් වූ බව පැවසේ.

    නම ඇති වූ අයුරු කෙසේ වුවත් මේ වළේ රන් තෝඩු දැමූ ආ‍ඳෙකු විසින් එහි ඇති නිධානයක් ආරක්ෂා කරන බව අදත් ගැමියන් අතර දැඩි විශ්වාසයක් ඇත. සමහරු පවසන්නේ මේ ආඳා තල් කඳක් තරම් විශාල සතෙක් බවය. ඌ සන්දරවල රන් දොරටුව අසලට වී එහි ඇති මහා නිධානය මිනිසුන් අතරට යෑමට නොදී ආරක්ෂා කරන බවත් කිසිවෙක් ආදාට විපත්තියක් කළහොත් ඒ පුද්ගලයා විනාශ වන බවටත් මතයක් ඔවුන් අතර පවතී.

    තවත් මතයකින් පවසන්නේ එළාර රජු මිය ගිය පසු පරාජයට පත් දෙමළ සේනා ලංකාවේ විවිධ තැන්වල ගොස් සැඟවී සිටි බවයි. ඉන් සන්දරා නම් සෙන්පතියා සමඟ හයදෙනකු ගාල්ලට නුදුරු බද්දේගම ආසන්න උස් කඳු මුදුනකට විත් ගල් ගුහාවක සැඟවී දිවි බේරා ගැනීමට උත්සාහ කළ බවත් එම ගල් ගුහාව ඇත්තේ හැඩිදෙමළ කන්දේ දුටුගැමුණු විහාරයේ බුදුපිළිම වහන්සේ වැඩ සිටින බුද්ධ මන්දිරය සාදා ඇති ස්ථානයේ බවත් පැවසේ.

    එක් සෙබ‍ළකු ජලය ලබා ගැනීමට දැනට සන්දරවල ලෙස හඳුන්වන පොකුණට ගිය අවස්ථාවේ ගම්වැසියකු දැක ඇත. ඔහු මේ පුද්ගලයා ගැන අනෙක් ගම්වැසියන්ට පවසා මේ හැඩිදැඩි සිරුරක් සහිත අමුත්තා නිසා ගම් වැසියන්ට හිරිහැරයක් වේ යැයි සිතා ඔහු අල්ලා ගන්නැයි දුටුගැමුණු රජතුමාට දන්වා තිබේ. රජුගේ සේනාවෙන් පිරිසක් පැමිණ මෙම කඳුගැටය වටකරද්දී. ඒ බව දැනගත් සන්දරා ඇතුළු සෙ‍ෙනවියන් හයදෙනා ඉන් පලා යෑමට උත්සාහ කර ඇත. තුන්දෙනකු එක් පැත්තකට ද අනෙක් තුන්දෙනා අනිත් පැත්තෙන් ද පලායෑමට උත්සාහ ගත්ත ද වැඩි දුරක් යාමට පෙර ඔවුන් ගම්වැසියන්ට කොටුවූහ. ඒ බද්දේගමට නොදුරු ‘දිවිතුර’ ප්‍රදේශයේදීය.

    ඔවුන්ට තවදුරටත් ජීවිතය ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඔවුන්ගේ කඩුවලින් තම ජීවිත තුරන් කරගෙන තිබේ. ඔවුන් ජීවිත තුරන් කර ගත් නිසා එම පෙදෙස “දිවිතුර” වූ බව විශ්වාස කෙරේ. පලා ගිය සන්දරා නම් සෙන්පතියා සමඟ සෙබළුන් දෙදෙනකු උමගකින් පලා යෑමට උත්සාහ කර තිබේ. එම උමග හැඩිදෙමළ කන්ද විහාරයේ කඳුගැටය උඩට යන විට එක් පැත්තකින් ඇති දසමහ යෝධයන්ගේ අවසාන පිළිරුවේ ගලක් කරපින්නාගෙන සිටින යෝධයා පසුපස ඇති ගල් ද්වාරය ආරම්භක ස්ථානය ලෙස සැලකේ.

    මෙම උමගින් පලා යන අතරතුර අනෙකුත් සෙබළුන්ට සන්දරා සෙන්පතියා මඟහැරී ඇත. ගම්වාසීන් ඔහු දුටු බව දැනගත් පසු ඔහු විසින් ගෙන එන ලද රත්තරන් හා ධනය හා ආභරණ එම පොකුණට දමා ඔහු විසින් ම හිස සිඳගත් බව පැවසේ. උමගේ අනිත් පැත්තෙන් ගමන් ගත් සෙබළුන් දෙදෙනා පිටවීමට මාර්ගයක් සොයාගත නොහැකිව කුසගින්නේ මියගිය බවත් කියැවේ. සන්දරා නම් සෙන්පතියා මියගිය ස්ථානය නිසා සන්දරවල නම් වූ බවත් තවත් මතයකින් පැවසෙයි.

    මේ හේතු නිසා ගමේ මිනිස්සු සන්දරවළෙහි මසුන් ඇල්ලීමට හෝ වෙනත් දෙයකට හෝ නොයන්නට පරිස්සම් වී ඇත. ‘ආඳා’ පිළිබඳව පැතිර ඇති කතා විශ්වාස නොකළ එක් ගැමියකු කනගාටුදායක ඉරණමකට ලක් වූ බවත් කියැවේ. පුර පසළොස්වක පෝදාට මේ ආඳා සඳරැස් බිබී ගොඩබිම සැරිසරන බවට ගැමියන්ට දැකගන්නට ලැබී ඇත. ඉහත ගැමියා එවැනි දිනයක රැක සිට ආඳා ගොඩබිමට ආ පසු වල වටා අළු ඉස උගේ ගමනට බාධා කර කඩුවකින් කොටා තිබේ. ආඳාගේ හිස කොටස වළට වැටී ඇති අතර, ඉතුරු කොටස ගැමියා විසින් ගෙදර ගෙන ගොස් අසල්වැසියන්ට ද දී අනුභව කර තිබේ. මේ ආඳාගේ මාළු අනුභව කළ අය ලේ අතීසාරය වැලඳී මිය යන්නට පටන්ගෙන තිබේ. දියට වැටුණු ආඳාගේ හිස කොටස අදටත් එහි තිබෙන බව ගැමියන්ගේ විශ්වාසයයි.

    වරින්වර එළඹෙන නියං කාලවලදී කුඹුරු පාළු වෙන්නට පටන් ගත්තාම මේ සන්දරවල ඉසීම පුරුද්දක් වශයෙන් කරන්න ගොවියන් පෙලඹී ඇත. එය ඉසින්නට පටන්ගත් පසු ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන බව ගැමියෝ විශ්වාස කරති.

    වරක් මහා නියඟයකින් ප්‍රදේශයම පාළුවට ගිය අවස්ථාවක මේ සන්දරවලහි ජලය අඩු වැඩි නොවී තිබීම කාගේත් විමතියට හේතුවක් විය.

    ‘‘සන්දරවළ ඉස්සොත් වහී වී’’ යන විශ්වාසය ගැන කල්පනා කළ ගැමියන් එකතු වෙලා වළ හිස් කර තිබේ. ඔවුන්ට එසේ කරන්නට හැකිවී තිබෙන්නේ ටික වේලාවකි. රන් දොර අසල ආඳා රැක සිටි බවත් ‘කඩුක්මක්’ පැලඳි ආඳා දැකීමෙන් ගැමියන් තැතිගෙන හිස් ලූ ලූ අත දුව ගිය බවත් පැවසේ. ඉන් පසු ගම් නියම් ගම් සෝදා යන තරමට මහා ධාරානිපාත වර්ෂාවක් ඇති වී ඇළ දොළ පිරී ඉතිරී දෙගොඩතලා ගිය බවත් ගම්වැසියෝ පවසති.

    මේ සන්දරවළෙන් වටිනා වස්තූන් ලබාගත් අයත් සිටින නමුත් ඔවුන්ට ඒ වස්තුව ප්‍රයෝජනයට ගත නොහැකි වූ බවත් ඒ වස්තූන් ලැබුණු අය බලවත් විපත්තීන්ට භාජනය වූ බවත් ගැමියන්ගේ තොරතුරුවලින් හෙළි වෙයි.

    මෙහි නිධන් රකින ආඳා නිකම්ම ආ‍ඳෙකු නොවේ. ඌ කඩුක්කමක් පැලැඳි සතකු බවයි කියවෙන්නේ. නමුත් මේ ආඳාට කඩුක්කමක් පැලඳ වූයේ කවුද යන්න ප්‍රශ්නයකි. නමුත් මේ කතාව නිකම්ම මතයක් ලෙස අහක දැමිය නොහැකි බව සිතිය හැක්කේ ඉතිහාස සිද්ධීන් ද මෙයට මුල් වී තිබෙන බැවිනි. හැඩිදෙමළ කන්ද, දුටුගැමුණු විහාරය පිහිටා ඇත්තේ සන්දරවළ සිට මීටර් දෙසීයක් පමණ දුරකිනි.

    ප්‍රභාත් විතානාච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here