සෝමසිරි මැදගෙදරගේ පුතා විදිහට මම මාධ්‍ය ඉදිරියට ආවේ නැහැ

0
24
යසස් මැදගෙදර
දෙසැම්බර් 31, 2020

තාත්තගෙ නම කිව්වා නම් මට මීට වඩා ජනප්‍රියත්වයක් ලැබෙන්න තිබුණා

මියුසික්වලදි මට වාරණ නැහැ

මම සාර්ථකත්වය මනින්නේ ප්‍රතිචාරවලින්

සංගීතය නිසා උසස් පෙළ අතහැරියා

 

සංසාරිනී මගේ – නන්නාඳුනන්නියේ

මේ මවනා හීනයේ – ඔබ ඉන්නවා වගේ

 

මේ පදවැල් ඔබට හුරුපුරුදු ඇති. ඒත් සමඟම ඔබට ඒ ළයාන්විත හඬ සිහිපත් වෙනවා ඇති. සිතසනහන නාදරටා ඇසෙනවා ඇති. ඔහු යසස් මැදගෙදර. ප්‍රවීණ ගායකයෙකුගේ පුත් උරුමය ලද ඔහු සිය පියාගේ නම කිසිවක සඳහන් නොකරමින් ස්වාධීනව ක්ෂේත්‍රය තුළ තමන්ට අවැසි ගමන යන තරුණයෙක්. බටහිර ආරේ විවිධ ශෛලීන් සහ ශාස්ත්‍රීය සංගීතය මුසු කරමින් තමන්ටම ආවේණික අනන්‍යතාවක් තරඟකාරී සංගීතය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගන්නට සමත් ඔහු මේ වනවිට සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනඟාගෙන හමාරයි.

 

යසස් දැන් තරුණ පරපුර අතර හරි ජනප්‍රිය කෙනෙක්?

එහෙම කියනවා ඉතින්. ඒත් මම හිතන්නෙ නෑ මම ඒ තරම් ගොඩක් ජනප්‍රියයි කියලා.

 

ආපු ගමන් මඟ ගැන කිව්වොත්?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු දහයකට වැඩියි. මම හිමින් ගමනක් ආවේ. පොඩි කාලේ ඉඳන්ම මට සංගීත වටපිටාවක් තිබුණා. මගේ තාත්තා සෝමසිරි මැදගෙදර. තාත්තා නිසා මගේ ගෙදර හැමවෙලේම සංගීත වටපිටාවක් තිබුණේ. අපේ ගෙදරට ක්ෂේත්‍රයේ තාත්තගෙ යාළුවො එනවා. තාත්තගේ සංගීත පන්තියක් තිබුණා. පොඩි කාලේ ඉඳන්ම මට සර්පිනා සද්දෙයි රාගවල සද්දෙයි තමයි ඇහුණේ. මගේ පාසල මහරගම ජනාධිපති විද්‍යාලය. මම පොඩි කාලේ ඉඳන්ම සංගීතය හැදෑරුවා. පාසලේ හැම උත්සවයකදීම මම ගීත ගායනා කළා. ඉස්කෝලේ පන්ති කාමරයට වඩා මම හිටියේ සංගීත කාමරේ. තාත්තා නිතරම රෙකෝඩින්ග්වලට මාව ස්ටුඩියෝවලට එක්කන් යනවා. ලංකාවෙ හොදම ශබ්දාගාරවලට මාව එක්කන් යද්දි පොඩි කාලේ මට හිතුණේ ඒවා හරි ලොකු දේවල් කියලා. ඒ කාලේ මම මවපු සිහිනය තමයි ඒ වගේ ලොකු ශබ්දාගාරයක සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන එක.

 

ඒ හීනේ හැබෑ වෙන්නේ කොයි කාලේද?

අවුරුදු පහළොවක් විතර වෙනකොට මම තනියම සින්දු කරන්න පටන් ගන්නවා. මගෙ ගෙදර තියෙන දේවල්වලින් පොඩි පොඩි මියුසික් කෑලි හැදුවා. ඕලෙවල් කාලෙදි මම ඉස්කෝලෙ හිටපු යාළුවො එක්ක මගේ පළවෙනි ගීතය නිර්මාණය කළා. ඒකේ සංගීතය මගේ. ඒක පටිගත කරපු ස්ටූඩියෝ එකේ හිටියේ මාධව හේවාවසම්. “අපි මචං” සංගීත කණ්ඩායමේ හිමිකරු ඔහු. ඔහුව දැකලා මට සංගීතය සහ ඒ හා බැඳුන තාක්ෂණය පිළිබඳව තව තවත් ආශාව වැඩි වුණා. ටික කලකින් තාත්තා මාව නිසල් ගංගොඩගේ අයියා ළඟට යොමු කළා. එයාගේ “ඒභඤඪධ ඹ්චඡ” කියන ආයතනයේ මම ඉගෙනගන්නවා. ඒ කාලේ දැන් වගේ ඉගෙනගන්න තැන් නැහැ. තිබුණේ දෙක තුනක් විතරයි. නිසල් අයියා තමයි මියුසික් හා බැඳුණු තාක්ෂණය මට කියලා දීපු පළවෙනි ගුරුවරයා.

 

යසස් වෘත්තියක් විදිහට සංගීතය ආරම්භ කරන්නේ?

මේ අතරවාරයේ නිසල් අයියා මාර්ගයෙන් ටෙහාන් පෙරේරා මට ආරාධනා කරනවා එයාගේ ශබ්දාගාරයේ ශබ්ද ඉංජිනේරුවරයා හැටියට වැඩ කරන්න. එතකොට මම කලා විෂයන්වලින් උසස් පෙළ හදාරමින් සිටියේ. මම උසස් පෙළ කරන එක නතර කරනවා. මම දන්නවා උසස් පෙළ කරලා මට ඇති වැඩක් නැහැ කියලා. මට යන්න ඕනේ තැන එතැන නෙවෙයි කියලා මට දැනුණා. මම හැමවෙලේම කල්පනා කළේ කොහොමද සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ කියන එක. මම තාත්තාට මේ ගැන කිව්වාම තාත්තත් ඒකට කැමති වුණා. ළමයෙක් උසස් පෙළ නතර කරනවා කියන එක අවදානම් වැඩක්. ඒත් ඒ වගේ අවදානමක් තාත්තා මට ගන්න දුන්නා. ඒ වගේම ලොකු සහයෝගයක් තාත්තා මට ලබා දුන්නා. ටෙහාන් ළඟ වැඩ කරද්දි ඔහුගේ “උණුහුම” ඇල්බමයේ ගීත හතරකට මම සංගීත අධ්‍යක්ෂණය කරනවා. මේ අතරේ මට “ඩැඩී” සංගීත කණ්ඩායමයි, ළහිරු පෙරේරායි, ජිප්සීස් කණ්ඩායමයි මුණගැහෙනවා. ළහිරු පෙරේරාගෙන් සහ විරේෂ් කුරේගෙන් (චිකා) මම සෑහෙන්න දේවල් ඉගෙනගන්නවා. එයාලා තමයි ගීතවල ශබ්දය වෙනස් මඟකට අරගෙන ගියේ. ගුණාත්මක නිර්මාණයක් කරන හැටි මම එයාලගෙන් ඉගෙනගත්තා.

 

සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත නිර්මාණ ටික පෙළ ගස්වමු?

මම වර්ල්ඩ්කප් එකට ගීතයක් නිර්මාණය කළා. ඒක ගායනා කරන්නෙ ටෙහාන් පෙරේරා සහ ශනුද්‍රි ප්‍රියසාද්. මේ අතරේ ශිහාන් මිහිරංගගේ “හතර කේන්දරේ” ගීතය චරිත අතලගේ එක්ක හැදුවා. ඒක 2009 වසරේ ගොඩක් ජනප්‍රිය වුණා. මේ කාලයේ මම ගෙදර මගේම කියලා ශබ්දාගාරයක් ආරම්භ කරනවා. මේ කාලේ මම විවිධ ගීත නිර්මාණය කළා. දිමංක වෙල්ලාලගේට “පාර කියන තාරුකාවී” කියලා ගීතයක් කළා. සුපර් ස්ටාර් වුණු ගයාන් අරෝෂට “මගෙ ඇස් පියෙන තුරා” සහ “සෑමදා මම ඔබේ” කියලා ගීත කළා. ටික කාලයක් යද්දි මට තේරුණා මම කරන්න ඕනේ මේවා නෙමෙයි, මම වෙන කවුරුත් හදන සින්දු වගේ සින්දු හදන්න අවශ්‍ය නැහැ කියලා. ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවන් ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සන්නාමයක් රඳවලා තියෙනවා වගේ මටත් ඕනෙ වුණා යසස් මැදගෙදර කියන කෙනා ඒ වගේ තැනකට ගෙනයන්න. මට ඕනේ වුණේ මාවම හොයාගෙන යන්න. මේ වකවානුවේ මම හර්ෂ විතානගේට “සඳනාරි” කියලා ගීතයක් නිර්මාණය කරනවා. මේ ගීතය සෑහෙන්න ජනප්‍රිය වුණා. යූටියුබ් එකේ මිලියන හයකට වැඩිය ඒ ගීතය බලලා තියෙනවා. ඉන්පසුව ටික ටික ප්‍රේක්ෂකාගාරය යසස් මැදගෙදරව හොයන්න ගන්නවා. ඉන්පසුව මම ළහිරු ලියනගේට නිර්මාණය කරනවා “ශාරධා” කියන ගීතය. මේ නිර්මාණ මම බටහිර සංගීතය සහ පෙරදිග සංගීතය එකට මුසු කරමින් හැදුවේ. “ශාරධා” ගීතය කරද්දි තමයි මට වාසව බදුගේ කියන නිර්මාණ අධ්‍යක්ෂවරයාව මුණගැහෙන්නේ.

 

වාසව බදුගේගේ හමුව එක්තරා හැරවුම් ලක්ෂයක්?

ඇත්තටම ඔව්. වාසවට සහ මට තියෙන අරමුණ එක්තරා විදිහකින් සමානයි කියලා තේරෙනවා. වාසවට හොඳ නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ. මටත් එහෙමයි. ඉන්පස්සෙ මගෙ හැම නිර්මාණයකම පාහේ රූප රචනා අධ්‍යක්ෂණය කරන්නේ වාසව. ඔහු මට සහෝදරයෙක් තරමටම සමීපයි.

 

ෂෙහාන් ගලහිටියාවගේ වචන ඔබට අමතක කරන්න බැහැ.

අනිවාර්යයෙන්ම. මේ හැම ගීතයකම පද රචනා කළේ ෂෙහාන් ගලහිටියාව අයියා. ෂෙහාන් අයියා කියන්නෙ ලොකු දැනුමක් තියෙන කෙනෙක්. එයා විවිධ ආරවල ගීත රචනා කරලා තියෙනවා. “කෛලාෂිනී” කියලා ගීතයක් අපි එරංග අබේවර්ධනට නිර්මාණය කරනවා. ඒකත් තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වුණා. මේ අතරේ ශාස්ත්‍රීය ගීත ශෛලියෙන් බැහැරව ටිකක් වෙනස් විදිහේ ගීතයක් මම නිර්මාණය කළා. මේ ගීතය ෂෙහාන් අයියා කිව්වා භාතිය සන්තුෂ්ට හොඳයි කියලා. භාතිය අයියා සින්දුව අහලා මට කතා කරලා කිව්වා “මල්ලි, මේක මාර සින්දුවක්.මේක අපි කරමු, ඔයා හෙටම එන්න මුණගැහෙන්න” කියලා. ඒක මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. පොඩි කාලේ ඉඳලා එයාලගේ ඇල්බම් අරගෙන අහපු මට එයාලගේ අලුත් ඇල්බම් එකේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. “රූසරා” ගීතයට භාතිය අයියා සෑහෙන්න කැමති වුණා. ඒක ඕදඉලගේ “ඔබ නිසා” ඇල්බමයේ ජනප්‍රිය ගීතයක්.

 

එතකොට යසස් සින්දු කියන්න පටන් ගත්තේ කොයි කාලේද?

මම සින්දු කිව්වේ නැහැ ඇත්තටම. මම සින්දුවට මගේ සංගීතය දීලා මඟ පෙන්නලා දෙනවා විතරයි. වාසව මට ලොකු හයියක් වුණා, මොකද සින්දුවට රූප රචනාව කරන්න පුළුවන් නිසා. “සංසාරිනි” කියන්නෙ බිරිඳගේ පෙරැත්තයට මම 2017 කියපු ගීතයක්. ඒක ලිව්වේ සජිත් අක්මීමන. මීට කලින් ඔහු රොමේෂ් සුගතපාලට “මන්දාකිණි” වගේ ගීත රචනා කරලා තිබුණා. මටත් ඒ වගේ ලස්සන නමක් තියෙන සින්දුවක් ලියා ගන්න ඕනේ වුණේ. සජිත් දැනට ලියපු ලස්සනම සින්දුව “සංසාරිනී”. ඒත් ඒකට රූපරචනාවක් කළේ නැහැ. 2019දී වාසව බදුගේ මට කිව්වා එයාට ඵඩධපබ ටඪතථ එකක් කරන්න ඕනේ, ඒකට සින්දුවක් කරමු ලියලා. මම “සංසාරිනි” ගීතය අහන්න දුන්නම ඔහු ඒකට ගොඩක් කැමති වෙනවා. මටම ඒ ඵඩධපබ ටඪතථ එකේ රඟපාන්නත් කිව්වා. රංගනය කියන එක මට නුහුරු දෙයක්. වාසවගේ පෙරැත්ත කිරීම මත දෙගිඩියාවකින් මම ඒකට සම්බන්ධ වෙන්න කැමති වුණා. “සංසාරිනී” ගීතයේ ගිටාර් වාදනය කරන්නෙ බුද්ධික පෙරේරා. බටනළා වාදනය තුෂාර වෙදගේගෙන්. රූපරචනාවට රංගනයෙන් දායක වුණු රාහුල් සහ සම්මානිව මතක් කරන්න ඕනේ. ඉතාමත්ම සාර්ථකව ඒ රූගත කිරීමේ වැඩකටයුතු අපි අවසන් කළා. ඒ ගීතය දවසක් ඇතුළත ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලලා තිබුණා. මේ අතරතුර චන්දන සිල්වාගේ “මනරම්ම රාධා” ගීතය හැදුවා. සංසාරිනී ගීතයෙන් පසුව මගේ දෙවැනි ගීතය “චන්ද්‍රපානී” කළා. ඒකත් රචනා කරන ෂෙහාන් ගලහිටියාව අයියා. ඒ ගීතයේ රූපරචනාව කරන්නෙත් වාසව බදුගේ. මේ ගීතය මම මට හදපු ගීතයක් නෙමෙයි. මේ ගීතය මම දෙමළ නිෂ්පාදකවරයෙක් හදපු ගීතයක්. ඔහුගේ හඬට මේ ගීතය හරි ගියේ නැහැ. මේ අතරේ වාසව සින්දුවක් කරමු කියලා කිව්වාම මම “චන්ද්‍රපානී” ගීතය පෙන්නුවා. අද පෙන්නුවා නම් එයා ඒක හෙට වීඩියෝ එක කළා. ඉශංකායි මමයි ඒකෙත් රඟපාන්නේ. දවස් හතරක් ඇතුළත ඒ සින්දුව අපි ඉවර කරනවා. වාසව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒකේ නම “ආදරණීය ප්‍රාර්ථනා”. ඒකට කරපු ගීතයක් මෑතකදී එළිදැක්වුවා. ඒකේ නම “මධුරභානී”. ඒ ගීතයත් දැන් ගොඩක් ජනප්‍රියයි. අපිට ඕනේ වුණේ ගීත රූප රචනා ඇතුළේ දෙයක් කළා වගේ සිනමා ක්ෂේත්‍රයේත් ඒ වගේ වෙනස් දෙයක් කරන්න.

 

අනිත් ගායකයන්ගේ පුත්තු තාත්තගේ ගීත ගයලා ජනප්‍රිය වෙනවා. ඔබ කිසිම තැනක තාත්තාගේ නම භාවිතා කරන්නේ නැහැ?

මම කැමති මාව හොයාගෙන යන්න. මට විවිධ ඇරයුම් ආවා. සමහරු කිව්වා තාත්තගේ ගීතයක් ආයිමත් අලුතෙන් ගායනා කරන්න කියලා. මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මට එහෙම ගායකයෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ලංකාවට හොඳ සින්දු ටිකක් කරන්නයි මට ඕනේ වුණේ. සෝමසිරි මැදගෙදරගේ පුතා විදිහට මම මාධ්‍ය ඉස්සරහට ආවෙත් නැහැ. තාත්තාගේ වැඩසටහන්වලට මම ලොකුවට සම්බන්ධ වුණෙත් නැහැ.

 

තාත්තාගෙන් (සෝමසිරි මැදගෙදර) ලැබෙන සහයෝගය ගැන කතා කළ යුතුමයි.

තාත්තා මට ගොඩක් උදවු කරනවා. තාත්තාත් කැමති මම ස්වාධීනව වැඩ කරනවාට. මාධ්‍යවල මම තාත්තගේ නම කියලා ජනප්‍රිය වුණ කෙනෙක් නෙමෙයි. තාත්තගෙ නම කිව්වා නම්, එයාගේ ගීත ගැයුවා නම් මට මීට වඩා ජනප්‍රියත්වයක් ලැබෙන්න තිබුණා. ඒත් මට එහෙම ජනප්‍රිය වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මට ඕනේ වුණේ මගේ නිර්මාණවල දක්ෂතාව පෙන්වන්න. තාත්තා නිතරම කියනවා මට හොඳ දක්ෂතාවයක් තියෙනවා, එකෙන් මටම අනන්‍යතාවයක් හදාගන්න පුළුවන් කියලා. තාත්තා මගේ ගීත අහනවා, රසවිඳීනවා. එයාගේ යාළුවන්ට පෙන්වනවා. තාත්තා මට හැමවෙලේම කියන්නෙ “ඔයා ඔයාට කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් මහන්සි වෙලා හැම නිර්මාණයක්ම කරන්න” කියලා. තාත්තා මට මේ මේ ආරවල ගීත විතරක් ගයන්න ඕනේ කියලා වාරණ දාලා තිබුණේ නැහැ. එයා මට සම්පූර්ණ නිදහස දීලා තිබුණා මගේ සංගීත ගමන මට ඕනේ විදිහට යන්න.

 

එතෙක් පැවතුණු රැල්ලෙන් බැහැරව හැදුණු යසස්ගේ ගීත ගොඩක් අය ආදරයෙන් වැලඳ ගත්තා නේද?

මගේ සංගීත භාවිතයේ ශාස්ත්‍රීය පැත්ත තාත්තාගෙන් එන්නේ. මට පොඩි කාලේ ඉඳන්ම ඇහුණු සංගීතය ඒක. ඒත් මම හැම සින්දුවක්ම අහන කෙනෙක්. එකම වගේ ගීතවලට විතරක් ආසා කරන කෙනෙක් නෙමෙයි. විවිධ ශෛලීන්වල ගීත අහලා ගත්ත දැනුමත් මගේ ගීත නිර්මාණවලට බලපෑවා. ඒ නිසා මගේ නිර්මාණවල වෙනසක් රසිකයන්ට දැනෙන්න ඇති කියලා හිතෙනවා.

 

යසස් ඇතුළු තවත් කීපදෙනෙක් පැවතුණු ගීත රැල්ල වෙනතකට හැරවුවා නේද?

මගේ පරපුරේ කලාකරුවන්ගෙ දරුවන් අතිවිශිෂ්ටයි. ඔවුන් තනියම නිර්මාණ කරන්න උත්සහ කරනවා. අපිට කලින් පරපුරේ කලාකරුවන්ගේ දරුවන් ගායනා කළේ මව්පියන්ගේ ගීත. අලුත් පරපුරේ අය දැන් වෙනස්. හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ නිර්මාණ කරන්න. ඒ වගේම අනිත් තරුණ නිර්මාණකරුවොත් අනුකරණය නොකර හොඳ වැඩ ටිකක් කරන්න උත්සාහ කරනවා. මේ හැමෝටම ඕනේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ ටිකක් බිහි කරන්න. මේ හැමෝම අතර තියෙනවා හොඳ සුහද තරගයක්. ඒකෙන් වෙන්නේ ගීත ක්ෂේත්‍රය තිබුණු තැනට වඩා ඉදිරියට යන එක. අපි හැමෝම හොඳ යාළුවෝ. හැමෝම තමන්ගේ උපරිමයෙන් කලා ක්ෂේත්‍රයට වැඩ කරනවා. ඒක තමයි සංගීත ක්ෂේත්‍රයේ වෙන්න ඕනේ. ඒ නිසා ගීත ක්ෂේත්‍රය එකම තැනක තියෙන්නේ නැහැ. රැල්ලක් වුණත් හැමදාම තියෙන්නේ නැහැ.

 

යසස්ගේ ගීතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. වයස් භේදයක් නැතුව හැමෝම මගේ ගීතවලට ආදරය කරනවා. ප්‍රවීණයන් පවා මට කියලා තියෙනවා මගේ ගීත හරිම ලස්සනයි කියලා. විවිධ අවස්ථාවලදි, මඟතොටේදී මුණගැහෙන හැමෝම මගේ ගීත අගය කරනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. මම මගේ සාර්ථකත්වය මනින්නේ ඒ ප්‍රතිචාරවලින්.

 

යසස් මැදගෙදර කියන ගායකයාටද නැති නම් සංගීත අධ්‍යක්ෂණවරයාටද වඩා කැමති?

මම වැඩිපුර කැමති යසස් මැදගෙදර කියන සංගීත අධ්‍යක්ෂවරයාට.

 

යසස්ගේ පවුල ගැනත් කියමු?

මම විවාහකයි. මගේ බිරිඳ හරින්දි ද සොයිසා. එයා වෘත්තියෙන් නීතීඥවරියක්. මට මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. මල්ලි සහන් මැදගෙදර. මල්ලිට තමයි තාත්තාගේ කටහඬ හරියටම තියෙන්නේ. ඒත් එයා වැඩිය ගීත ගායනා කරන්නේ නැහැ. එය වෘත්තියෙන් සූපවේදියෙක්. නංගි යශෝධා මැදගෙදර. එයා තවම ඉගෙන ගන්නවා. එයාට තමයි හොඳටම සින්දු කියන්න පුළුවන්.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

ඉදිරියට එන්න තියෙන ලොකුම වැඩේ තමයි අපේ චිත්‍රපටිය. නම ආදරණීය ප්‍රාර්ථනා. ප්‍රධාන චරිත රඟපෑවේ ශනුද්‍රි ප්‍රියසාද්, රාහුල් වරාවිටගේ, නෙත්මි රොෂෙල්. ඒක ලස්සන ආදර කතාවක්. වාසව බදුගේගේ අධ්‍යක්ෂණයක්. මේක ගීතමය චිත්‍රපටයක්. ගීත හතක් අන්තර්ගතයි. චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම. ලබන වසරේ මුල චිත්‍රපටය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මමයි රන්දීර් විතානගේයි සින්දුවක් කළා. ඕදඉලාගේ අලුත් ඇල්බම් එකේ ගීත තුනක් කළා. මගේ තව ගීතයක් ඉදිරියේදී එන්න තියෙනවා.

 

මියුසික් පිස්සුව තියෙන තරුණ පරපුරට මොකක්ද කියන්න තියෙන්නේ?

වෙන අයව අනුකරණය නොකර තමන් තමන්ව උරගා බලන්න. තමන් තමන්ව හොයාගෙන යන්න. ඔබට එතැනදි ඔබව හමුවෙයි. හැමෝම එකම විදිහේ මියුසික් කරන්න ඕන කියලා නීතියක් නැහැ. තමන්ට කැමති විදිහට තමන්ගේ ගමන යන්න පුළුවන්. ඒ ගමනේ යන අතරතුරේදි විවිධ කඩාවැටීම එනවා. ඒවාට නොසැලී හොඳට අධ්‍යයනය කරමින් ගමන යන්න කියලා කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here