සෞභාග්‍යයේ දැක්මෙන් කොළොන්නාව කොළඹ හොඳම නගරය කරනවා ඇමැති සරත් වීරසේකර

0
33

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන’ යටතේ කොළොන්නාව නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම නගරයක් බවට පත් කිරීම තම අරමුණ බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති හා කොළොන්නාව සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙසේ කීවේ කොළොන්නාව සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් තමා පත් වීමෙන් අනතුරුව පැවැති මංගල සභා රැස්වීමට සහභාගීව රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් අමතමිනි.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ටී.බී. ඉලංගරත්න ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

සංවර්ධන කමිටුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ග්‍රාමීය මට්ටමින් පළාත් මට්ටමින් වගේම ජාතික වශයෙන් රටේ සංවර්ධනය මෙන්ම ර‍ටේ සම්පත් රැකගෙන ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමයි.

රටක් ගොඩනඟන්න නම් ඒ රට හැම අතකින්ම දියුණු තත්ත්වයක පැවැතිය යුතුයි. ඒ සඳහා තමයි මේ සංවර්ධන කමිටු ආරම්භ කරලා ගමෙන් ගම පවතින අඩු පාඩුකම් සොයා බැලීම් ආරම්භ කොට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට රජය ක්‍රියා කරගෙන යනවා. ඒකටම කැපවෙච්ච රාජ්‍ය නිලධාරීන් ඉන්න ඕනේ. ජනතාවක් ඉන්න ඕනේ. ඒ වගේම දේශපාලනඥයන් පිරිසක් ද ඉන්න ඕනේ.

අපේ ජනාධිපතිතුමාට සෞභාග‍්‍යයේ දැක්මක් ඉදිරිපත් කරන්න සිදුවුණේ මේ රට සෞභාග්‍යමත් රටක් ‍හැටියට පසුගිය කාල පරිච්ඡේදය තුළ කිසිදු අයුරකින්වත් දියුණුවට පත් වෙලා නොතිබුණු නිසයි.

එතුමා එදා මේ රට බාරගත්තේ ර‍ටේ සම්පත් සියල්ල විදේශිකයින්ට විකුණා දමන්න සූදානම්ව තිබුණු යුගයකයි. දේශීයත්වයට කිසිම තැනක් දුන්නේ නැහැ. එම්.සී.සී. ගිවිසුම යටතේ අමෙරිකානුවන්ට රට විකුණා දමන සූදානමක් ද තිබුණා. රණවිරුවන් අවතක්සේරුවට ලක් කළා. රටම අරාජික තත්ත්වයකයි තිබුණේ. දැන් මේ රට පුරා සිදු කරගෙන යන්නේ ජනාධිපතිවරයා වශයෙන් එදා එතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවලියයි.

ශ්‍රී ලංකාව අපේ මේ රට පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ හරි මැද එපිටින් කිලෝමීටර් 2000ක් තුළ මැලකා සමුද්‍රසන්ධිය අපට බටහිරින් පිහිටා තියෙනවා. පෝක් සමුද්‍ර සන්ධිය ඒ බටහිරින් කිලෝමීටර් 2000යි. ඒ දෙක අවහිර කළොත් කිසිම නැවකට ඉන්දියන් සාගරයට එන්න බැහැ. ඒකයි අපේ රටේ තියෙන වැදගත්කම. කන්ටේනර් 70%ක් ගමන් කරන්නේ ඉන්දියන් සාගරය හරහායි. 55%ක් බලශක්තිය එහාට මෙහාට යන්නේ මේ හරහායි. මේ නිසා විදේශිකයන්ට අපේ රට ග්‍රහණයට ලක් කළහොත් එම බලවතාට පුළුවන් මුළු ඉන්දියන් සාගරයම පාලනය කරන්න.

ඒ වගේම අවුරුදු 2500ක් ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන වාසනාවන්ත රටක් මේක. අපි උත්සාහ කළොත් මේක ලෝකයේම උතුම් රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසාම තමයි බටහිර රටකින් ආපු තාරකා විද්‍යාඥයා ආතර් සී ක්ලාක් ජීවිතාන්තය දක්වාම මේ රටේ ජීවත්වෙලා අවසානයේ කිව්වේ නැවත වරක් උපදිනවා නම් මේ රටේම උපදින්න වාසනාව ලැබේවායි කියලා.

මින් පසු කො‍ළොන්නාව ආසනය පාතාලයටත්, කුඩු කාරයින්ටත් අවශ්‍ය ලෙස පාලනය කරන්නට ඉඩ තබන්නේ නැති බවද කී ඇමැතිවරයා එම රැස්වීමට සහභාගීව සිටි ප්‍රදේශවාසීන් විසින් හා දේශපාලනඥයින්ගෙන් ලැබුණු යෝජනා රැසක් ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවට ද ප්‍රතිඥා දුන්නේය.

කොළොන්නාව පොදුජන පෙරමුණු (පොහොට්ටු) සංවිධායක හා කොළොන්නාව සංවර්ධන කමිටුවේ උපසභාපති අජිත් රෝහණ සුබසිංහ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති රංගජීව ජයසිංහ හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් වන ප්‍රින්ස් ගුණසේකර, ජගත් කුමාර, රත්නමාලි විදානපතිරණ හා කොළොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන යන මහත්ම මහත්මීහු ද රැස්වීම ඇමතූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here