හලාවතින් වැඩමවූ සුවිසල් බෝධියක් රස්නායකපුර රෝපණය කෙරේ

0
43

සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලක් දිවට ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම කරවූ උඳුවප් පුන් පොහොය යෙදුණු ඊයේ (29) හලාවත, රස්නායකපුර විහාරස්ථානයේදී අසිරිමත් බෝධි රෝපණයක් සිදු කිරීම සඳහා සුවිසල් බෝධීන් වහන්සේ නමක් වඩමවන ලදි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති ඕමල්පේ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශ­ාසනා පරිදි මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරිම සිදුකෙරුණි.මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ විශේෂත්වය වන්නේ මේ තරම් විශාල බෝධීන් වහන්සේ නමක් පිහිටි පොළොවෙන් ආරක්ෂිතව ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන ගොස් රෝපණය කළ ප්‍රථම අවස්ථාව මෙය විමයි. මෙලෙස රෝපණය කෙරුණු බෝධීන් වහන්සේගේ උස අඩි 110ක් පමණ වන අතර,කඳෙහි වට ප්‍රමාණය අඩි 22කි.එහි මූල පද්ධතියෙහි වට ප්‍රමාණය අඩි 28කි.

මේ දැවැන්ත කාර්යය සිදුකරනු ලැබුවේ ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පියෙකු වූ සූරියවැව වැලිවැව පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකු වන ඈපා ජයවර්ධනගේ ජනක ජයලාල් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් යටතේය.අසිරිමත් බෝධි රෝපණය සිදුකිරීමේ කාර්යයයේ නිරත වූ සුරියවැව ජනක ජයලාල් මහතා මෙලෙස අප සමඟ අදහස් දැක්වීය.

පසුගිය ජුනි මාසයේ දිනක් ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන් මා හමුවිමට මගේ ගෙදරට පැමිණියා.ඒ ඇවිත් උන්වහන්සේ මගෙන් ඇහුවා ජනක මහත්තයා හලාවත කර්මාන්ත ශාලාවක් තුළ බෝධීන් වහන්සේ නමක් ඉන්නවා.ඒ බෝධීන් වහන්සේ හලාවත විහාරස්ථානයකට රැගෙන ගොස් රෝපණය කරන්න ඕනේ.පුළුවන්ද කියලා ඇහුවා.මං කිව්වා අපේ හාමුදුරුවනේ පළමුවෙන්ම බෝධීන් වහන්සේ බලන්න ඕනේ කියලා.ඒ අනුව උන්වහන්සේ මාව හලාවත බෝධීන් වහන්සේ පිහිටි කර්මාන්ත ශාලාවට එක්කගෙන ගියා.ඒ ගිහින් මම මේ බෝධීන් වහන්සේ බලලා මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ කටයුත්ත බාරගත්තා.ඉතා විශාල දැවැන්ත බෝධී රුක්ෂයක් නිසා වැසි කාලෙට කලින් මෙම බෝධීන් වහන්සේ මෙම ස්ථානයෙන් ගලවා ගෙන ගොස් නැවත රෝපණය කිරිම දැවැන්ත අභියෝගයක් වුණා.ඒ අනුව මම මගේ සේවකයන් එක්ක දින 08 ක් එකදිගට බෝධීන් වහන්සේගේ මුල පද්ධතිය එළියට මතුකරගැනිම සිදුකළා.

මෙම බෝධීන් වහන්සේ අපි රූට් බෝල් හෙවත් මූල භාජනය ක්‍රමයට තමයි සිටුවීම සිදුකරන්න කටයුතු කෙළේ.ජුනි මාසයේ මැද වගේ අපි බෝධීන් වහන්සේ රූට්බෝල් කර මුලික සැකසිම් කටයුතු කළා.පසුගිය ජූලි මාසේ මැද පමණ වන විට එය රෝපණ කිරීමට සුදානම් කරගෙන සිටියත් කොරෝනා වසංගත තත්ත්වය නිසා එය කරගන්න බැරි වුණා.පසුව උඳුවප් පෝය දවසේ මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමට කටයුතු සංවිධානය කෙරුණා.මම දන්න ඉතිහාසයේ කවුරුවත් මේ විදියට මේ තරම් විශාල රුක්ෂයක් තැනකින් තැනකට රැගෙන ගොස් සිටුවිම සිදුකරලා නෑ. මගේ මේ වෘත්තීය ජීවිතය තුළ මේක මටත් විශේෂිත අවස්ථාවක්.

මේ දැවැන්ත කාර්යයෙහි නියමුවාණන් හා උපදේශකයාණන් ලෙස කටයුතු කළ ඕමල්පේ සෝභිත නාහිමියන් වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.

මේ පුන් පොහෝ දිනයේ සිදුවන්නේ අසිරිමත් බෝධි රෝපණයක්.ලොව පළමු වතාවට තමයි මෙවැනි සිදුවිමක් මේ වෙන්නේ.මේක අසිරිමත් බෝධි රෝපණයක් යැයි කියන්නේ අන් කිසිවක් නිසා නොව කිසි කලෙක අපි අසා නැති ලෝක ඉතිහාසයේ කවදාවත් අප දැක නැති විශේෂිත අවස්ථාවක් නිසයි.ගසේ උස අඩි 110යි,කදේ මහත අඩි 22යි.මූල පද්ධතියේ වටප්‍රමාණය අඩි 28යි.හලාවත, මාරවිල,හාල්පන්විල ග්‍රීන් ෆාම් ආයතන පරිශ්‍රයේ තමයි මෙම බෝධීන් වහන්සේ තිබෙන්නේ.එහි සිදුවෙන සංවර්ධන කටයුත්තක් සදහා මෙම බෝධින් වහන්සේ ඉවත් කළ යුතුවුණා.ඒ අනුව එම ආයතනයේ අධිපති තුමන් මගෙන් උපදෙසක් ඉල්ලුවා මෙම බෝධීන් වහන්සේ කපන්නේ නැතිව වෙනත් ස්ථානයක රෝපණය කිරීමට.ඒ අනුව තමයි මම සුරියවැව ජනක මහතා වෙත මෙම කාර්යය පැවරුවේ.

විශේෂයෙන්ම මෙහිදි කියන්න ඕනේ මෙය හුදෙක්ම බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරිමක්ම විතරක් නෙමෙයි.සමස්ත රට වැසියාටම හා පාලකයාටම හොද ආදර්ශයක් පාඩමක් කියාදෙන කටයුත්තක් ලෙසයි මෙය සිදුකරන්නේ.මෙය හුදු ජාතික අවශ්‍යතාවයක්.ගහක් කියන්නේ අසීමිත වටිනාකමක් ඇති මිනිස්සුන්ගේ කල්‍යාණ මිත්‍රයෙක්.ඒකට හේතුව තමයි මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ඔක්සිජන් ලබා දෙන්නේ මේ ගස් මගින් විම.ඒ නිසා මේ තුරු ලතා ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගේම පාලකයන්ගේත් පරම වගකිමක්.

.අපි රජයට අවධාරණය කරනවා මෙවන් සුවිසල් ගහක් කියන්නේ අමිල වස්තුවක්.මිල කළ නොහැකි දෙයක්. ඒ නිසා සංවර්ධන කාර්යන්වලදි හැකි තරම් ගස්කොළන් කැපීම අවම කරන ලෙස හා හැකි සෑම අවස්ථාවකම සංවර්ධනයේදී ඉවත් කිරීමට සිදුවෙන ගස් වෙනත් ස්ථානයක සිටුවිම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලනවා.

තුරු ලතා අපි රැකගත යුතුයි කියන පාඩම තමයි මේ අපි රටට කියා දෙන්නේ.ඒ නිසා සමස්ථ ජනතාවගෙන්ම මම ඉල්ලනවා මේ බෝධීන් වහන්සේ වගේම රට පුරා ඇති සියලුම ගස් වැල් මේ බෝධීන් වහන්සේ රැකගත් අයුරින්ම රැකගැනිමට කටයුතු කරන්න කියා යැයි උන්වහන්සේ පැවැසූහ.

 

සුරියවැව විශේෂ නුවන් ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here