2021 මගේ පැතුම සැමගේ සුව සම්පත වැඩේවා!

0
10
දෙසැම්බර් 31, 2020

මට දරාගන්නම බැරි දේ තමයි කරන වංචා දූෂණ අපහාසය.

අපේ පරපුර සිනමාවෙන් ලබාගත යුතු සියලු දේ ලබාගෙන ඉවරයි.

කොරෝනා වසංගතය නිසා සම්පූර්ණයෙන්ම අඩාල වුණු කර්මාන්තයක් ඇත්නම් ඒ සිනමාව.

 

‘රවීන්ද්‍ර රන්දෙණිය’ නාමය දුටු පමණින් තවත් අටුවා ටීකා කුමටද? හෙළ සිනමාවේ අද්විතීය රංගධරයකු ලෙස දශක පහක් පුරා නව නළු රසයෙන් සහ සතර අභිනයෙන් ඔබ රසවත් කළ ඔහු පිළිබඳ කොපමණ වර්ණනා කොට නිම කරම්ද? සරසවියගේ ඇල්ම බැල්ම සීමා වූ වසරක නිමාව සනිටුහන් කරන හෝරාවට ළං ළංව, නැවුම් බලාපොරොත්තු පොදිබැඳගත් නව වසරක බිහිදොර අභියස සිටින අපට, හෙළ සිනමාවේ හෙට දවස කෙබඳුවේදැයි ඔහුගෙන් විමසීම වැදගත් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු‌ ලෙසද ඔහු කටයුතු කරන බැවිනි. ඒ ඔස්සේ එකිනෙකට කිසිසේත් නොගැළපෙන මුත් ගළපා කතා කළ යුතුව ඇති කොරෝනා සහ සිනමාව පිළිබඳ ඔහු සරසවියට මෙසේ පැවසුවේය…

 

අදින් 2020 වසර අවසන්. අපේ ජීවිත කාලයේ කිසි දිනක නොවිඳී අත්දැකීම් ගොන්නක් ලබා දෙමිනුයි මේ වසර ගෙවී යන්නේ. අපේම සිත් මහ පුදුමාකාර විදිහට අවස්ථානුකූලව වෙනස් වන ආකාරය මේ අවුරුද්දේ අපි දැක්කා. පසුගිය මාර්තු මාසයට කලින් අපේ සාමාන්‍ය ජීවිතය අදට වඩා හරි වෙනස්. මහා තරගකාරී බවකින් යුතුව, සියල්ල බදාගෙන, ස්වභාව ධර්මයේ අන් සියලු දේ මිනිසාට යටත් යැයි හිතුවාට විදුලි බුබුලක් නිවී දැල්වුණා වගේ මොහොතින් අප සියලු දෙනා සොබාදහමට යටත් බව ලෝකයටම පසක් කර දුන්නා. මිහිතලයම මහා නිශ්ශබ්දතාවක ගිලිලා තියෙද්දි අපි ඒ නිහඬබවට මුහුණ දුන්නා. පැහැදිලි නිල් අහසේ ලස්සන මම ප්‍රීතිටයි දුවටයි කතා කරලා පෙන්නුවා. ගස් කොළන්වල සැබෑ නිල්ල අපි දැක්කා. කැලණි රේල්ලුවට උඩින් යන මඟේ වෙනදාට බොඳව පෙනුණු නෙළුම් කුලුනේ කොළපාටත් රෝස පාටත් පැහිදිලිව පේන තරමට වාතලය පිරිසුදු වුණා. අපි එහෙම කියද්දි රටේ බහුතරයක් දෙනා දැඩි අපහසුවට පත්ව දුක් වින්ද බව අමතක කරන්න බැහැ. හැබැයි මොන දුකක් විඳගෙන හෝ අපි හැමෝම සොබාදහමට ළං වුණා. යටත් වුණා, අවනත වුණා. හුදෙකලාව අත්වින්දා. අපේ ඇතුළාන්තයට යොමු වුණා. මිනිසුන් මියැදෙන හැටි දැක්කා. ජීවිතේ හරය අවබෝධ කරගත්තා. මේ සියල්ල ලෝකයම අත් විඳීද්දී අපේ රටේ කොරෝනා නිසා ලොකුවට දැනෙන ප්‍රශ්නයක් නොවී යථා තත්ත්වයට පත් වුණා. අපි ආයෙත් පරණ විදිහට යන්න ගත්තාම කලින් ඇනපු ටොක්ක වෙනුවට සොබා දහම අපට පොල්ලකින් ගැහුවා වගේ දෙවැනි රැල්ල ඇති කළා. මුල් අවස්ථාවේ වගේ නෙවෙයි සුමානයක් දෙකක් ඇතුළත අපට මේ ඉඳීල්ල එපා වුණා. ඇත්තෙන්ම මාස හයක් වගේ කාලයක් තුළ අපේ සිතිවිල ඉඳුරාම වෙනස් වුණා. මම හැමදාම කියනවා වගේ සියලු සංස්කාර ධර්මයන් වෙනස් වනසුලුයි නම් අපේ ආකල්පත් වෙනස් වන සුලුයි නම් කවුරුන් හෝ අපට එහා මෙහෙයවන්නෙක් ඉන්නවා. ඒ තමයි සොබාදහම.

සුනාමි, ගංවතුර, සුළි කුණාටු වැනි ඇහැට පෙනෙන කිසිම දෙයක් නිසා පරිසරයට කරන හානිය නොනවත්වා කැලෑ එළි කිරීම්, පොළොව සූරා කෑම් කරද්දි ‘මහපොළොව සියල්ල දරා සිටිනකීවාට මිහිකතටත් මේ වේදනා දරාගෙන ඉන්න බැහැ. අපි භාවිත කරන දේවලින් අංශු මාත්‍රයක් පිටසක්වළින් ගේනවාද? නෑ, සියල්ල ගන්නේ මහපොළොවෙන්. ඒ නිසා අපි තවමත් තේරුම් ගෙන නැහැ අපේ කුදුබව, අල්ප මාත්‍රබව. ඒකයි මේ සියල්ලට හේතුව.

 

ඔහු පවසන්නේ සංවේදී හඬිනි.

ඒත් අදත් හවසට රූපවාහිනිය නැරඹුවොත් දකින්න ලැබෙයි මසුරුබව, ආත්මාර්ථය පිරුණු අදහස්.

මේ තමයි ලෝක ඉතිහාසයේ දරුණුම වසංගතය. අපට ඉදිරියෙදි ඉතිරි වන්නේ මහ විශාල වශයෙන් තැලී පොඩි වුණු ක්ෂේත්‍රයක් වගේ ලෝකයක්. ආර්ථිකය, ආදායම් මාර්ග බිඳ වැටුණු, ප්‍රියයන්ගෙන් වෙන්ව ඉන්න සිදු වුණු කාලයක්. කතෝලිකයකු හැටියට නත්තල් කාලයේ පවුලේ අය එකතු වන්නේ අපේ ගෙදර. ගිය අවුරුද්දේ නත්තලට ගත්ත පවුලේ පින්තූරේ 31දෙනයි. මේ වතාවේ මල්ලියි එයාගේ බිරියයි ප්‍රීතියි මායි අපි හතර දෙනා විතරයි. නව සාමාන්‍යය මේකයි කියලා අපට පිළිගන්න වෙනවා. පසුම්බියට වඩා මුහුණු ආවරණය අනිවාර්ය කාලයකට අපි හැඩ ගැසිය යුතුව තිබෙනවා. එන්නත ආවත් අවුරුදු තුනකට එහි පසුවිපාක කියන්න බැරිබව වෛද්‍යවරු කියනවා. ලෝකයා පිස්සු නටනතාක් සොබාදහම අපේ කනෙන් අල්ලලා නවත්වයි.

 

එහෙත් ලෝකය එයට ඔරොත්තු දිය යුතුයි?

ඔව්. අපේ සිනමාව ආදි එදිනෙදා ජීවන රටාව ගත්තාම අපට තවමත් නුහුරු රටාවකට යන්න වෙයි. අපේ මානව සබඳතා ආදිය වෙනස් වෙයි. අන්‍යෝන්‍ය හිත මිත්‍ර සබඳතා ආදියෙන් ඈත්වන විට නොදැන ඇතිවන ආතතියක් අපට තිබෙනවා. අපටම අප ගැන සිතද්දි සමහර දේවලට ප්‍රතිචාර දක්වන විදිහ, සංවේදී වන විදිහ එදිනෙදා ප්‍රවෘත්තිවලට පවා අකමැත්තක් දක්වන තත්ත්වයට වර්ධනය වෙලා. අපි දොර ජනෙල් ඇරගෙන ඉන්න ජාතියක් නිසා මේ තරමින් ඔරොත්තු දුන්නත්, ගෙට ගොඩ වෙද්දිම අත පසුපසට හරවා දොරවහන ආකාරයේ බටහිර රටවල මිනිසුන් අපටත් වඩා වැඩි පීඩනයකින් පසුවන්නේ. අවිනිශ්චිතතාව, හුදෙකලාව නිසා දැනුම සොයා යන පිපාසාව පවා නැති වෙලා මොකටද මේවා කියලා හිතෙනවා.

 

මේ වෙලාවේ නව තාක්ෂණය සහනයක් නොවේද?

තාක්ෂණය අපව ග්‍රහණය කළා. ජංගම දුරකථනයේ අලුත් දේ වසරක් ඇතුළත ඈත ගමක අත්තම්මලාට පවා ඉගෙන ගන්න සිදු වුණා. ඒ වගේම පවුලේ සම්බන්ධතාවත් හීන කළා.

 

විනෝදාස්වාදයටත් තාක්ෂණය සහාය වෙනවා?

ටෙලි නාට්‍යවල නම් වෙළෙඳ ලක්ෂ්‍යය විවෘත්ත වුණා. සිනමාවේ නිෂ්පාදන කටුයුතු කළත් වෙළෙඳ කවුළුව විවෘත කරගන්න බැහැ. නෙට්ෆ්ලික්ස් වැනි ක්‍රමවේද ඔස්සේ සිනමාවේ මුල් යුගයේ කෘති පවා නරඹන්න පුළුවන්. ඒ සමඟම අද ලොකු රූපවාහිනී යන්ත්‍රයක් සමඟ අඟල් තිස් දෙකේ යන්ත්‍ර නොමිලේ දෙන නිසා බහුතරයක් නිවෙස්වල අඟල් හතළිහට වැඩිය විශාල තිර සහිත රූපවාහිනී යන්ත්‍ර පොදු දෙයක් වෙලා. මෙහි රූපවල පැහැදිලිකම අද බොහෝ ශාලාවල 2ම් වෙනුවට ඊසිනමා ක්‍රමයට ප්‍රදර්ශනය කරන චිත්‍රපටවලට වඩා කීප ගුණයකින් හොඳයි. අද ජංගම දුරකථනයයි, දුරස්ථ පාලකයයිමඟින් ලොව ඕනෑම චිත්‍රපටයක් තමන්ගේ ආලින්දයට කැඳවන්න පුළුවනි.

 

එය සිනමා ශාලාවලට අභියෝගයක්?

අපි උත්සාහ කළා සිනමා ශාලා විවෘත කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට කරදරයක් වන තරමට කතා කළා. ඒත් රටේ සෞඛ්‍ය නීතිවලට අනුව ශාලා විවෘත්ත කරන්න දෙන්න බෑ කියා එවූ ලිපි අප ගාව තිබෙනවා. එහි පැහැදිලිව කියා තිබෙනවා විශාල සෙනඟක්, පැය දෙකකට ආසන්න කාලයක්, එකම වායුව සංසරණය වන ස්ථානය රැඳී සිටීම දැඩි අවදානමක් බව. අනෙක් කර්මාන්තවලින් සියයට 10ක හරි ආදායමක් තිබුණත් චිත්‍රපට කර්මාන්තය පහළ වැටුණු තරම කොපමණද කීවොත් සම්පූර්ණ අකර්මණ්‍ය වුණා. ඒ නිසා සංස්ථාවට ලොකු අවශ්‍යතාවක් තිබුණා වගේම විශාල උත්සාහයක් ගත්තා කොරෝනාවේ මුල් යුගයේ රජයෙන් ලක්ෂ තුනක ආර්ථික පහසුකමක් ශාලා හිමියන්ට ලබා දෙන්න එය සාහසික ලෙස කඩාකප්පල් කළා කීවොත් වැරැදි නැහැ.

ලෝකය තාක්ෂණයෙන් සුරුකම් කරන්න ගත්තාම අනාගතයේ සිනමාව ප්‍රේක්ෂකයා අතරට ගෙනයෑම අර්බුදකාරී වනවා. මේ වසරේ වෝනර් බ්‍රදර්ස් පවා තමන්ගේ චිත්‍රපට 17ම අන්තර්ජාලය ඔස්සේ පමණක් මුදාහරින්න තීරණය කරලා. ප්‍රේක්ෂකයාට ලෝකෙ ඕනැම චිත්‍රපටයක් තමන් කැමැති වෙලාවක බලන්න පුළුවන්. මේ ක්‍රමය ලෝකයේ ස්ථාපිත වුණොත් ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් බෙදා හැරීම ඉතා වෙනස් තත්ත්වයක් ගන්නවා. සිනමා ශාලාවේ විසිල් එක සහ අඳුරු කුටියේ ප්‍රෙක්ෂාගාරය කියන කරුණු දෙක හැරුණාම නිවෙසේ සිනමා නැරැඹීම ඉතා තීව්‍ර දසුන් සමඟ කරගැනීමට හැකියාව අද තිබෙනවා. ඒනිසා වසංගත තත්ත්වය තුරන් නොවී කලක් සිනමා ශාලා වැසී තිබුණහොත් සිනමාව යථා තත්ත්වයට පත් නොවී විශාල අනතුරකට යනවා.

 

හෙට සිට සිනමා ශාලා විවෘත කරන බවට ආරංචියක් ලැබුණා?

හෙට සිට සිනමා ශාලා විවෘත කිරීම ගැන සතුටුයි ඒත් අමාත්‍යාංශයෙන් අපට නිකුත් කළ නිවේදනය අනුව බැලුවොත් මේ ලබන නිදහස නිවැරැදි ලෙස භාවිත කරමින් රට වෙනුවෙන් කළ යුතු සේවය කරන්න අදිටන් කරගත යුතුයි. සිනමා ශාලා හිමියන් දිගින් දිගටම කළ ඉල්ලීම නිසා දුන් අවස්ථාව නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිපදිමින් ප්‍රයෝජනයට ගැනීමට පියවර ගත යුතුයි.

කොරෝනා වසංගතය නිසා සම්පූර්ණයෙන්ම අඩාල වුණු කර්මාන්තයක් ඇත්නම් ඒ සිනමාව.

අපි යෝජනා කළා සිනමා ශාලා විවෘත්ත කරන්න, 4% පොළී අනුපාතයට ණය දෙන්න, විශේෂ පැකේජක් තෝරාගන්න, ප්‍රදර්ශනය කරලා කොවිඩ් නිසා නැවැත්වූ චිත්‍රපට වෙනුවෙන් හෝ නිෂ්පාදකයන් 10-15කට වත් අවස්ථාව ලබා දෙන්න. ඒත් චිත්‍රපට කර්මාන්තයට කිසිම සහනයක් ලැබුණේ නැහැ, ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත් වූ සිනමා ශිල්පීන් වෙනුවෙන් අර 5000/-වත් ලැබුණේ නැහැ. සිනෙස්ටාර් පදනමෙන් 10000/-බැගින් ලක්ෂ හතරක් වෙන් කළා. සිනමාවට හා කලාවට මීට වඩා අවධානයක් රජයෙන් යොමු විය යුතුයි.

 

චිත්‍රපට සංස්ථාවට චෝදනා රැසක් එල්ල වනවා?

සංස්ථාවේ කටයුතුවලට මැදිහත් වෙලා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස මම කටයුතු කරනවා. මම හිතන්නේ නැහැ රංගනයත් පැත්තක තියලා සංස්ථාව වෙනුවෙන් මේ තරම් බැණුම් විවේචන අහගෙන වැඩකරන තව එක ශිල්පියකුවත් ඇති කියලා. අවුරුදු විස්සක් තිස්සේ මේ සංස්ථාව පෞද්ගලික අංශයට බාර කරනවාට විරුද්ධව කටයුතු කළකෙනෙක් මම. ඒ වෙනුවෙන් මගේ මන්ත්‍රීධුරය පවා පරදුවට තැබූවා. වත්මන් ජනාධිපතිතුමා මට බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය බාර ගැනීමට යෝජනා කළ එක ගැන ඇත්තෙන්ම මම එතුමාට අනෙක වාරයක් ස්තුතිපූර්වක ගෞරවය පුද කරනවා. ඒ අවස්ථාවේ මම එතුමාගෙන් ඒ තනතුර නොගෙන සිටීමට ගෞරව පූර්වකව අවසර ලබාගත්තා. ඒ මොහොතේ මම කීවේ ඒ තනතුර මට වැඩියි කියායි. එවැනි තනතුරක් අතහැරිය මට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකත්වය මහා ලොකු දෙයක් නෙවෙයි. සමහරු ස්වයං කේන්ද්‍රියව කරන දේවල් නිසා දේශීය සිනමා කර්මාන්තය බිඳ වැටීම ගැන මට විශාල කනගාටුවක් තිබෙනවා. සංස්ථාව නැති වුණොත් දේශීය සිනමාවක් ගැන බලාපොරොත්තුවක් තියන්න බැහැ. ලංකාවේ සිනමාවක් තියෙයි. පෞද්ගලික අංශය ආනයනය කරන විදේශීය කෘති නරඹන්න පුළුවන් වෙයි. හැබැයි දේශීය සිනමාවක් නැතිව දේශීය කලාකරුවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා 2021දී වත් සිනමාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් එකතුවෙලා අපේ සිනමාව ගොඩගන්න කටයුතු කරමු කියන ඉල්ලීම කරන්න මම කැමැතියි.

 

ඔබටත් පෞද්ගලිකව චෝදනා එල්ල වුණා?

මට දරාගන්නම බැරි දේ තමයි මේ වංචා දූෂණ අපහාසය. මගේ පනස් වසකට ආසන්න චිත්‍රපට ජිවිතේ කිසිම මොහොතක අහපු දෙයක් නෙවෙයි එය. අකාර්යක්ෂමයි වගේ කීවා නම් ඔරොත්තු දිය හැකියි. මේ සංස්ථාව නිවැරැදි මගට ගන්න යද්දි ඉහළ මට්ටමින් කරන චෝදනාව අපරාධයක් කියලා කියන්නම ඕනේ. අප පත්වෙලා ගතවුණේ වසරයි. ඒ කාලය තුළ එක් වංචනික ක්‍රියාවක් හෝ කර ඇත්නම් ඔප්පු කරන්න. අධ්‍යක්ෂ මණ්ඩලයේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, සංස්කෘතික අධ්‍යක්ෂිකා, භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයෙක්, ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වැනි රජයේ උසස් නිලධාරීන් ඉන්නවා. අපේ අධ්‍යක්ෂ මණ්ඩලය පොදුවේ ගත් තීරණ හැර කිසිදු තීරණයක් ක්‍රියාත්මක කර නැහැ. එනිසා අපේ එකම ඉල්ලීම ඔය කියන චෝදනා නිශ්චිතව ඉදිරිපත් කරලා ඔප්පු කරලා පෙන්වලා අපිව පන්නලා දාන්න. නැත්නම් අපි ඉල්ලා අස් වෙන්නම්. ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේත් එකඟත්වය තිබෙනවා. අනෙක සභාපතිතුමා ඇතුළු අපිව නැවත-නැවත පත් කරන්නේ දූෂිත නිසාද?

 

මේ හැමදෙයින්ම නවකයන්ට වන්නේ පාඩුවක්?

මම කතා කරන වි‌ට දැක තිබෙනවාද කවදාවත් අලුත් පරපුර අදක්ෂයි, හැකියාවෙන් තොර අය කියා කියනවා? ඔවුන්ට මම වැරැදි කියන්නේ නැහැ. සමහර අය කීපදෙනෙකු ඉන්නවා රංගනය කියන්නේ හරි පහසු කාර්යයක් කියා හිතන. ඒත් නව පරපුරේ දක්ෂතා ඇති හොඳ වගකීමෙන් කර්මාන්තය දිහා බලන අය ඉන්නවා. මම මා ගැන කතා කරද්දි පවා මාව බින්දුවට දාලා අහන්නේ ඒකනේ මම රඟ පෑ චිත්‍රපට නොවෙන්න රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ කවුද කියලා. මොකක් හෝ හේතුවක් නිසා දැන් හොඳ තිරකතා බිහිවීම සහ අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක් දැනෙනවා. මේ නව පරපුර සිනමාව රැකගත යුතුයි. ඒ වෙනුවෙන් ඔවුන් මැදිහත් විය යුතුයි. ඒත් ඉදිරිපත්වන කෙනෙක් දකින්න නැහැ. ඇත්තෙන්ම කලාකරුවකු‌ට සමාජයේ විශාල සිවිල් බලයක් ලැබෙනවා. පිළිගත් මතය තමයි චිත්‍රපට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබෙන බව. එනිසා අධ්‍යයනය කරන්න දෙයක් නෑ. පේනවා නේ ඒ අයටම තමන් රඟපාන චිත්‍රපට පයින්ගහලා එළියට දාද්දි තමන්ට අසාධාරණයක් වෙනවා කියලා. එයට විරුද්ධව කතා කරන්න ඒ අය ඉදිරිපත් වෙන්න ඕනෙ. අය්යලා කරනවානේ අපි ඕනෙ නෑ කියලා ඉන්නේ නැතිව.

ඇත්තෙන්ම අපේ පරපුර සිනමාවෙන් ලබාගත යුතු සියලු දේ ලබාගෙන ඉවරයි. අපි මේ මහා අරගලයක යෙදෙන්නේ ඔවුන් වෙනුවෙන්. දේශීය සිනමාව වෙනුවෙන්. ඇත්තම කතාව දැන් අපට සිනමාව රැකුණත් එකයි නැතත් එකයි. ඒ අය කැමැති නැද්ද ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මානනීය ශිල්පීන් විදිහට ඉදිරියට යන්න. ඒ සඳහා දේශීයකර්මාන්තය රැකෙන්න ඕනෙ නැද්ද? මෙහෙම වෙන්නේ අපේ අය කර්මාන්තයකට අයිති පොදු කණ්ඩායමක් ලෙස නොහිතා තම තමන්ගේ න්‍යාය පත්‍රවල ඉඳන් කටයුතු කරන නිසා කියලයි මට සරලවම කියන්න තියෙන්නේ.

‘අපි වෙනුවෙන් අපි’ නෙවෙයි ‘අපි වෙනුවෙන් තොපි’ කියලා ඒ අය ඉන්නේ.

 

එකමුතු නොවන්න හේතුව?

ඉස්සර අපි කණ්ඩායම ගිහින් සුමාන දෙකතුනක් දර්ශන තලයේ ඉන්නවා. ඒ කාලේ හෝටල් කාමරයක තියාගන්න එක ලාබයි කොළඹ එවලා ආයේ ගෙන්වාගන්නවාට වඩා. අද ඒක අනෙක් අතට වෙන්නෙ. ඒ දවස්වල එකටම ඉන්න ලැබෙද්දි හවසට මූණකට හෝදගෙන එක තැනකට එකතුවෙලා කාලා පොඩි මධුපානෝත්සවයක් සමඟ සතුටු සාමිචියේ යෙදෙද්දි සහෝදරත්වය බැඳීම ඇතිවෙනවා. ප්‍රශ්නයක් වුණත් එතැනදි කතා වෙනවා.

ඉස්සර දිවා රූපගත කිරීම් ඉවරවෙලා ඩේ ඕෆ් එකක් දීලා තමයි නයිට් ෂූටින් පටන්ගන්නේ. එතකොට දවල් වරුවේ නිදහස තිබෙනවා අපි කර්මාන්තය වෙනුවෙන් කළයුතු යමක් ගැන හෝ කතා කරන්න. දැන් ක්‍රමවේදය‌ උදේ පාන්දර ගියාම රෑ දහය වෙනකල් ෂූටින් කරලා ඇවිත් නිදාගෙන ආයේ උදේ යනවා. කර්මාන්තයේ ඇතිවුණ ඒ වගේ වෙනස්කම් වුණත් මේ එකමුතුබව අඩුවෙන්න බලපානවා.

 

වත්මන් නළු නිළියන්ගේ රංගනය ගැන ඔබ තෘප්තිමත්ද?

රංගනය ඉතාම ගැඹුරු පූර්ණ කාලීනව කැපවීමෙන් කළ යුතු දෙයක්. එහෙම නැතිව වෙන වැඩ අතර සති අන්තයේ නුවර එළියේ ගිහින් එනවා වගේ රඟපෑම ගැන හිතුවොත් අමාරුයි ඒ රංගනය ප්‍රේක්ෂකයන්ට දනවන්න. අපිත් මුල් කාලේ සාමාන්‍ය මිනිස්සු, නළුවෝ වෙන්න ආසාවෙන් හිටපු. නොකරපු දුෂ්කර වැඩක් නෑ ඒ වෙනුවෙන්. අද තිබෙන පහසුකම් යටතේ නෙවෙයි ‘පිටගැස්ම ටුවර්ස්’ වගේ පොඩි වෑන්වල වන්දනා නඩ වගේ වහලේ ඇඳුම් බෑග් බැඳගෙන අධ්‍යක්ෂවරයාගේ සිට ටීබෝයි දක්වා සියලු දෙනා ඒකේ ගියා. එරල් කෙලීලා, හේමපාලලා වගේ අයත් ගියේ ඒවායේ. අයුතු විදිහට මඩවනවා නෙවේ නම් අපේ කර්මාන්තයේ වත්කමයි, හැකියාවයි අනුව දිය හැකි පහසුකම් ගැන හිතලා අපි වැඩ කළා, උපරිමයෙන් කැප වුණා. තමන්ගේ කාර්යභාරය වෙනුවෙන් දුක් විඳීන්න වද වෙන්න වුණ තරම කොච්චරද කියන්න බෑ. මම වසන්ත ඔබේසේකරගේ ගෙදරට බඩගාලා ඇත්ද කොයි තරම් පිටපත ගැන සාකච්ඡා කරන්න ඕනෙ වුණාම.

ගාමිණි (ෆොන්සේකා) මහත්තයා ගැන කීවාම එයාගෙ අධ්‍යයනය, දැනුම වර්ධනය කරගෙන චරිතයක් කරන ආකාරය ගැන වෙනම කතා කරන්න පුළුවන්. සරුංගලේ නඩරාජා, හුලවාලි ධාරා කොයිතරම් වෙනස් මිනිසුන්ද?

ළඟදි රිදී නාළිකාවේ සරසවිය සම්මාන දිනූ චිත්‍රපට පෙළ සඳහා ප්‍රදර්ශනය කළ දඩයම බැලුවා. ඒ අය චිත්‍රපටයේ නරක් වූ කොටස් වෙන්න ඇති පොඩි සංස්කරණයක් කරලා තිබුණා. ඒත් මම ඒක බලද්දි ජයනාත් ගැන පුදුම වෛරයක් මටම එනවා මේ මොනවගේ මිනිහෙක්ද කියලා. ඇත්තටම මට ඒ දේ වුණා. අන්තිමට මමම තේරුම් ගත්තා දෙවියනේ මේ කතාව ඇත්ත කතාවක්නේ. ඒක ඒ විදිහට කරන්න එපැයි කියලා. ඇත්තෙන්ම එතැන හිටියේ මමවත් ස්වර්ණාවත් (මල්ලවාරච්චි) නෙවෙයි. ස්වර්ණාගේ ඉංගිතයන් ගැන මට කියන්න තියෙන්නෙත් බොහොම අමාරු සිම්ෆනි එකක එක ස්වරයක්වත් වරද්දන්නේ නැතිව වාදනය කළා වගේ කියලයි.

ජෝ (අබේවික්‍රම) මහත්තයාගේ චරිත නිරූපණවල වෙනස ගත්තොත් පුරහඳ කළුවර චිත්‍රපටයේ ඔහු හැරමිටියෙන් මිනීවළ හොයද්දි අපට දැනෙන්නේ ඒ වයස්ගත පුද්ගලයාගේ ඇස්දෙක හැරමිටියේ කෙළවර පිහිටලා තියෙනවාද කියලා වගේ. ඇස්දෙක පේන කෙනකුගෙන් එහෙම රංගනයක් ගන්න කොයිතරම් නිරූපණයේ දක්ෂ වෙන්න ඕනෙද? සිරි මැදුරේ සිරියා – අනෝජා (වීරසිංහ) කියලා හිතෙන්නේ නෑනේ. අපේ යුගයේ සාර්ථක වුණ හැම කෙනෙක්ම රංගනය ගැන ඒ විදිහට හිතපු අය.

ඒ වෙනස අද තරුණ ළමයින්ගෙන් දකින්න නෑ. ඒ අයත් චරිතාංග කරන අයනේ. සමහරු ශෙක්ස්පියර් නාට්‍ය ගැන කතා කරද්දි හැම්ලට්ගේ චරිතය ලැබුණා හා සමාන චරිත ලැබිලත් හරියට කරගන්න බැරි වෙන්නේ ඒ කැපවීමේ අඩුව නිසා කියලයි මට නම් හිතෙන්නේ.

අපිත් දර්ශන තලයේදී සිල්ගත්තා වගේ චරිතය ගැනම හිතලා වෙන අය එක්ක කතා නොකර ඉන්නේ නැහැ. සාමාන්‍ය විදිහට විනෝදෙන් කතාබහ කරලා තමයි ඉන්නේ. හැබැයි අපේ අධ්‍යයනය නිසා හිත ඇතුළේ අදාළ චරිතය රූපගත කිරීම් කාලය පුරාම ඉන්නවා. අපට ඒ කාලේ රස කතාවකුත් තිබුණා. එක නළුවෙක් දර්ශන තලයට ආවාම කිසිකෙනෙක් එක්ක කතා බහ නැතිව තමන්ගේ චරිතය විතරක්ම හිතාගෙන පැත්තකට වෙලා ඒ දෙබස් කියමින් ඉන්නවා. එයාගේ රූපගත කිරීම් තිබුණේ හාමුදුරු කෙනෙක් හැටියට. දායකයකු දන් පිරි නැමුවාම සුවපත්වේවා! කියලා ගන්න. ඉතින් රූපගත කිරීම් ඉවර වුණාට පස්සේ අපි එතැන හදලා තිබුණු කූඩාරමට ගිහින් සතුටු සාමීචියේ යෙදෙමින් හිටියා. ටී බෝයි ගෙනත් අපි හැමෝටම තැඹිලි දුන්නා. අර නළුවා කොච්චර චරිතයේ කිඳා බැස්සද කිව්වොත් ටීබෝයිට බර හඬින් සුවපත්වේවා! කිව්වානේ.. ඉතින් එහෙම වෙන්න කියලා නෙවෙයි අපි කියන්නේ. හැබැයි, අලුත් අයට මුහුණු පොතේ ඉඳලා ඇවිත් අනෝජා සිරියා වුණා වගේ වෙන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් වෙන්නේ දර්ශන තලයේදීත් මුහුණු පොතේ චරිතය රඟපාන එකනේ. හැබැයි ජෝ මහත්තයා මළ ගෙදරක දර්ශනය ගන්න සූදානම් වෙද්දි පුළුවන් තරම් අපිවත් හිනස්සන කතා කිය කිය ඉඳලා, අන්තිමට සහාය අධ්‍යක්ෂවරයා ඇවිත් ඉල්ලීම් කරනවා අනෙක් අයව හිනස්සන්න එපා කියලා. ඒ තරමට වෙනස් ස්වරූපයකින් ඉඳලා ඇක්ෂන් කියද්දි කැමරාව පැත්තට හැරෙන්නේ ප්‍රේක්ෂකයන්ට කඳුළු එන තරම් ශෝකී මූණක් හදාගෙන. අන්න ඒකයි නළුකම කියන්නේ.

 

හෙටින් උදාවන වසර ගැන ඔබේ පැතුම?

ගාඩි එන්න තියෙනවා. ඩිස්ටන්ට් ටියර් ඩ්‍රොප් මගේ සිනමා ගමන් මඟේ අවසන් දායකත්වය හැටියට එළි දකිනවා නම් ඒ තරමට මම කැමතියි. පරාක්‍රම නිරිඇල්ලගේ චිත්‍රපටයේ මාලනී (ෆොන්සේකා) සමඟ මට චරිතයකට ආරාධනා ලැබී තිබෙනවා. කොවිඩ් ප්‍රශ්නය නිසා රූපගත කිරීම් කල් ගියත් ලබන මාර්තු අප්‍රේල් වෙද්දි වසංගත තත්ත්වය හොඳ අතට හැරුණත් නැතත් චිත්‍රපටයක් කරන්න පුළුවන් පසුබිම ඇති වුණොත් එහි රූපගත කිරීම් අරඹනවා.

කවුරුන් හෝ චිත්‍රපටයක් කරන්න යනවා කියද්දි ඉස්සර ඉඳන්මත් හඹා යෑමේ පුරුද්ද නම් මට ජීවිතේට තිබුණේ නැහැ. හැබැයි ඒ වගේ චරිතයක් කරන්න තිබුණානම් කියන හැඟීම හිතට එනවානේ. ඒත් දැන් පිරිසක් අලුත් නිර්මාණයක් කරනවා කිව්වත් මටත් කතා කරයිද, මම දැන් තව චිත්‍රපට කළ යුතුයි නේද කියන හැඟීමක නාමයක්වත් හිතට එන්නේ නෑ. මොන ප්‍රශ්න තිබුණත් මම සැහැල්ලුවෙන් පහසුවෙන් මගේ සාමාන්‍ය හැසිරීමෙන් ජීවිතය දිහා සුන්දරව බලමින් ජීවත් වෙනවා. අපි මේ යථාර්ථය දකින්න ඕනෙ. අපි බොරු සුබවාදයක් හිතන එකේ තේරුමක් නෑ. හැබැයි අපි අපේ සෞඛ්‍යාරක්ෂණය, එහි වගකීම තේරුම් ගෙන ජීවත්වන රටාව හසුරුවා ගත යුතුමයි. 2021 වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය සැමගේ සුව සම්පත වැඩේවා කියන එකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here