2021 වසරේ ස්වයං රැකියා 200,000ක්

0
36

ග්‍රාමීය නිපැයුම්  සඳහා නව  වෙළෙඳසල්  25,000ක්

ජනතාවගේ  ජීවනෝපාය  සවිමත් කිරීම අරමුණයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සවිමත් කිරීමේ අරමුණ ඇතිව එළඹෙන 2021 වසරේදී ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කරයි. ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙඳසල් 25,000ක්ද අරැඹීමට නියමිතව තිබෙන අතර සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත පැවරීමට ද ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන් ජීවනෝපාය මාර්ග වෙත යොමුකිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. සමෘද්ධි කළමනාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පෙරේදා(28) පැවැති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාන්තා ව්‍යවසායකයන් තෝරාගෙන, ව්‍යපාර පවත්වා ගෙන යාමේ පුහුණුව සහ පහසුකම් සලසා දී ග්‍රාමීය කාන්තාව බලගැන්වීමටත් තරුණ විරැකියා ගැටලුවට විසදුම් ලබාදීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, සත්ව පාලන, ධීවර, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ගෘහ ආශ්‍රීත කර්මාන්ත, ආදී ස්වයං රැකියාමය අවස්ථා 200,000 සඳහා මෙලෙස පහසුකම් සැලසීම සඳහා රජය අපේක්ෂා කරන බව පෙන්වා දුන්නේය. මෙම වැඩපිළිවෙළ හරහා බිහිවන ග්‍රාමීය නිපැයුම් සඳහා අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කිරීම කෙරෙහි ද අයවැයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් නව වෙළෙඳසැල් 25,000ක් ඇරඹීමට ද නියමිතයි.

මේ නිසා දිවයිනම ආවරණය වන ශක්තිමත්ම දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ වගකීමක් පැවරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය. සමෘද්ධිලාභීන් සහ ඔවුන්ගේ පවුල් ගොඩනැංවීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට මසකට බිලියනයක් පමණ වැයවෙයි. විරැකියාවෙන් පෙළෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට යොමුකර, ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමඟ එක්වෙමින් කටයුතු කරන ලෙස ද ඒ මහතා සමෘද්ධි කළමනාකරුවන්ට උපදෙස් දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, සීතා අරඹේපොළ, අජිත් නිවාඩ් කබ්රාල් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here