ආණ්ඩුව නැති වී තනි ආසනයට අලියා වැටුණු හැටි

    0
    9

    එක්සත් ජාතික පක්ෂය බිහි කෙළේ නිදහස් සටනේ පෙරමුණ ගත් ඩී.එස්. සේනානායක මහතා විසිනි. එම පක්ෂය 1947දී ඩොමිනියන් තත්ත්වයක් ලබා ගැනීමේ අරමුණ යටතේ මැතිවරණයට තරග කළේය. මන්ත්‍රීවරු 95 දෙනෙක් ඡන්දයෙන් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලබන මන්ත්‍රීවරුන් 6 දෙනෙක් සමඟ පාර්ලිමේන්තුවට තේරීපත් කර ගන්නා සංඛ්‍යාව 101ක් විය මෙම මුල්ම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර හතළිස් දෙකක් ජයගනැනීමට හැකියාව ලැබුණි. ලංකා සමසමාජ පක්ෂයෙන් 10ක් හා ස්වාධීන මන්ත්‍රීවරුන් 21ක් ද සෙසු පක්ෂවලින් මන්ත්‍රීවරුන් 22ක් ද එහිදී තේරී පත් විය. එක්සත් ජාතික පක්ෂයෙන් අත්තනගල්ලට තරග කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර එම සංඛ්‍යාව 31,463කි. මීරිගමින් ඩී.එස්. සේනානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 26,762කි. බෙලිඅත්ත ආසනයෙන් ඩී. ඒ. රාජපක්ෂ මහතා ඡන්ද 14,007ක් ලබා ගත්තේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා ගැනීමට නොහැකි වීම නිසා සුළු පක්ෂ කිහිපයක් සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවිය.

    එහෙත් එක්සත් ජාතික පක්ෂය බලය ලබා අවුරුදු තුනක් ගෙවෙද්දී පක්ෂයේ මුල්ම බෙදීම ඇති විය. එහිදි පක්ෂයේ සිටි ජනප්‍රිය නියෝජිතයන් වූ බණ්ඩාරනායක , ඩී ඒ රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් වෙනව විපක්ෂයේ අසුන් ගත්තේය.

    1951 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1952දී එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 54 ක් ලබා ගත් අතර, ස්වාධීන කණ්ඩායම් ආසන 12ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ද හිමි කර ගන්නා ලදී. එහෙත් වසර හතරකට පහකට පසු පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට 1947 ට වඩා වැඩි ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

    1956 අ‍ප්‍රේල් මස 5,7, හා 10 තෙදින පැවැත්වූ එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මහජන එක්සත් පෙරමුණ නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් පක්ෂ කිහිපයක් එක්ව කටයුතු කළ අතර, එහිදී එක්සත් ජාතික පක්ෂය විශාල පසුබෑමකට ලක් විය. මහ මැතිවරණයේදී සිවුවන ස්ථානයට ඇද වැටීම ගැන එදවස විශාල කතාබහක් ඇතිව තිබුණි. එහිදී මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් ද ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් ද පෙඩරල් පක්ෂය ආසන 10ක් ද ලැබූ අතර, එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්නට හැකි වූයේ ආසන 8ක් පමණි.

    1960 මාර්තු 19 වැනිදාය. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 50ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 46ක් ද පෙඩරල් පක්ෂයට ආසන 15ක් ද මහජන එක්සත් පෙරමුණට හා ලංකා සමසමාජ පක්ෂයට ආසන 10ක් ද හිමි විය. අස්ථාවර ආණ්ඩුවක් වූ එජාප ආණ්ඩුවේ ඊළඟ පරාජය ආරම්භ වූයේ ඒ මැතිවරණයෙන් පසුවය. බහුතරයක් නොමැතිව සිටි එජාපය රාජාසන කතාවේදී පරාජය වූ අතර එහි ප්‍රතිඵලය වූයේ තවත් තෙමසකින් තවත් මහ මැතිවරණයක් වෙත රට තල්ලු වී යාමය.

    1960 ජූලි 20 වැනිදා හදිසි මහ මැතිවරණය පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 75 ඉක්මවා දිනා ගැනීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය ආසන 30ක් හා පෙඩරල් පක්ෂය ආසන 16ක් ද සමසමාජ පක්ෂය ආසන 12ක් ද හිමි කර ගත්තේය.

    එමෙන්ම 1965 මහ මැතිවරණයට ද එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන්නේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන විශාල මැතිවරණ ව්‍යාපාරයක් හරහාය. එම මැතිවරණයෙන් ශ්‍රිලංකා නිදහස් පක්ෂය පහසුවෙන් පරාජය කළේය.

    1970 මහ මැතිවරණය වන විට එහි තවත් ගැටලු අර්බුද මතු විය. පක්ෂය හා එක්ව කටයුතු කළ පෙඩරල් පක්ෂය හා ජාතික විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම සිදු වුණේ එම පක්ෂ හා ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධව අවධානය යොමු නොකිරීම සහ කොන්දේසි කඩ කිරීම නිසාය. 1970 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල පරාජයක් අත්වූ අතර, සමඟි පෙරමුණු සන්ධානයට තුනෙන් දෙකක වාර්තා ගත බලයක් අත්පත් විය.

    1977 වසර වන විට ආසන සංඛ්‍යාව 168ක් දක්වා ඉහළ දමා තිබුණු අතර, එක්සත් ජාතික පක්ෂය ආසන 140ක් ලබා ගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එම උපායශීලී ප්‍රතිපත්තිය නිසාය. අමිර්තලිංගම්ගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් ලැබූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූයේ ආසන 8ක් පමණි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයට 5/6ක බලයක් හිමි වු අතර, ශ්‍රීලංකා නිදහස් පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි විය.

    1982 ප්‍රථම ජනාධිපතිවරණයෙන් 52.91%ක් ලබා ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ලැබූ අතර, එම විධායක ජනාධිපති ධුරයේ සිට මහ මැතිවරණයක් නොපවත්වා පැවතුණු ආණ්ඩුවම තවත් වසර 6කට දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණයක් පැවැති අතර මෙය මෙරට ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බලවත්ම තර්ජනය ලෙස සැලකේ. එම ජනමත විචාරණය ද ප්‍රචණ්ඩත්වය මුල් කරගෙන බලහත්කාරී මැතිවරණයක් ලෙස පැවැත් වුවද විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට සියයට හතළිස් පහ ඉක්මවන ප්‍රතිශතයක් හිමිවීම සැලකිය යුතු ජයග්‍රහණයක් විය.

    1988 වසරේ පැවැති දෙවන ජනාධිපතිවරණයේදී ආර්. ප්‍රේමදාස මහතා ජයගත්තේ භීෂණකාරී යුගයකදීය. ඔහු 50.43%ක ප්‍රතිශතයක් ලැබීය. ඒ අනුව යමින් 1989 වසරේ ආසන 225ක් උදෙසා මෙරට ප්‍රථම සමානුපාතික ඡන්ද ක්‍රමය පවත්වන ලද අතර, එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් ආසන 125ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණේ ආසන 67කි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 10ක් හිමිවුණු අතර, පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය සිදුවීම නිසා ජනාධිපතිවරයා ලෙස ඩී.බී. විජේතුංග පත් විය.

    1994 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පොදුජන එක්සත් පෙරමුණට පරාජය වුවද මැතිවරණ දිස්ත්‍රික්ක ගණනාවක් ජය ගැනීමටත් ආසන අනූ හතරක් ජය ගැනීමටත් ඔවුනට හැකියාව ලැබුණි.

    එම වසරේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 62.28%ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ලැබුවේ ශ්‍රීමා දිසානායක මහත්මිය සියයට තිස් පහේ සීමාවට කොටු කරමිනි. නැවතත් 1999 මහ ජනාධිපතිවරණයක් සහ 2000 දි මහ මැතිවරණයක් පැවැති අතර, එම මැතිවරණවලදී ද එජාපයට උරුම වූයේ පරාජයයි. 2001 වසරේදී පැවැති හදිසි මහ මැතිවරණය ජය ගැනීමට එජාපයට හැකි වුවද ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ මන්ත්‍රීවරු දිනා ගැනීමේ ක්‍රමවේදයකි. 2001 වසරේ පැවැති එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 109ක් හිමි වූ අතර, පොදු පෙරමුණට ආසන 77ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 16ක් හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 15ක් ද හිමි විය.

    2004 වර්ෂයේදී හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එවකට සිටි ජනපතිනිය කටයුතු කළ අතර, 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් මැතිවරණයට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් කණ්ඩායම ජයග්‍රහණය කෙළේ ආසන 105ක් දිනා ගනිමිනි.

    2005 වසරේදී පවත්වන ලද 5 වන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වුණේ 50.29%ක ප්‍රතිශතයක් ලබා‍ෙගන වන අතර, ප්‍රධාන ප්‍රතිවාදියා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ මහතා ආසන්නයටම පැමිණියේ සියයට හතළිස් අට ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.2010 ජනාධිපතිවරයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ 57.88%ක ප්‍රතිශතයකිනි. එජාපයේ සහාය ලැබූ සරත් ෆොන්සේකා මහතාට ලබා ගැනීමට හැකි වූයේ සියයට හතළිහ ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයකි.

    · 2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 60ක් හිමි කරගෙන තවත් පසුබෑමකට ලක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144ක් ලබා ගත්තේය. ඒ තුනෙන් දෙකකට කිට්ටු බලයක් ලබා ගත්තේය.

    2015 ජනාධිපතිවරණයෙන් ජය ගැනීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් කරළියට ගෙන ඒමට මූලික වූයේ එජාපයට ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයේදී ආසන 106 දිනා ගැනීමට හැකි වූ අතර ශ්‍රීලනිපය හා එක්ව ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීම මේ සමඟ ආරම්භ විය.එහෙත් එම ජාතික ආණ්ඩුවේ ගමනද සිදු වූයේ විවිධ බාධා මැදය.

    2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා 52.25%ක් ලබා ජයග්‍රහණය කෙළේ සජිත් ප්‍රේමදාස මහතාව (41.99%) පරාජයට පත් කරමිනි.

    එම පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය දරුණු ලෙසින් දෙකඩ වී ජනාධිපති අපේක්ෂක සජිත් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තේය. එය පක්ෂයේ විශාලම දෙදරා යාම විය. මෙහිදි සජිත් පිල සමඟි ජන බලවේගය ලෙස තරග කරන අතර, එජාපය වෙනම අලියා ලකුණෙන් තරග බිමට පිවිසුනි. එහිදි එක්සත් ජාතික පක්ෂයට හිමිවූ සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව 249,435ක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙසින් 2.15%කි. පක්ෂයට ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. 5/6ක බලයේ සිට එක් මන්ත්‍රී ආසනයක් දක්වා එක්සත් ජාතික පක්ෂයට සිදුවූ ඉරණම පසක් කරන්නේ ජනතාවගෙන් දුර්ස්ථව දේශපාලනය කිරීම සහ ජන මතය තේරුම් ගැනීමට පක්ෂයට නොහැකි විමය.

     උදිත ගුණවර්ධන

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here