ආර්ථිකය සහ අභියෝග

    0
    12

    2020 වර්ෂය සඳහා ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ ප්‍රථම වතාවට සියයට 1.5 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කොටතිබේ. සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, තොග හා සිල්ලර වෙ‍ෙළඳාම, භාණ්ඩ හා මගී ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ සේවය, මූල්‍ය හා රක්ෂණ සේවා, දේපළ වෙළඳාම්, වෘත්තීය සේවා සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ඇතුළු බොහෝ සේවා ක්‍රියාකාරකම් 2019 වසරේ තුන්වන කාර්තුව සමඟ සසඳන විට 2020 තෙවන කාර්තුවේ දී ධනාත්මක ආර්ථික වර්ධන අනුපාතයක් වාර්තා කර තිබේ.

    මේ ගෙවෙමින් පවතින්නේ 2020 වසරේ කොවිඩ් 19 වයිරසය සමඟ ගෙවෙන දස වන මාසයයි.මාර්තු මස සිට ආරම්භ වු මෙම වසංගතය ඉක්මනින් අවසන් වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසංගතයේ අවසානයක් පිළිබදව දැනුම් දීමක් සිදු කර නොමැත. එහෙත් කොවිඩ් 19 පළමු රැල්ලේ සිට දෙවන රැල්ල තෙක් අප රට වසා දමමින් සහ නැවත විවෘත කරමින් ඉදිරියට ගමන් කරමින් තිබේ. කෙසේ වුවද පවතින රජය කොවිඩ් 19 පළමු රැල්ල සාර්ථකව මර්දනය කළ අතර දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ විවිධ අර්බුද රැසකට මුහුණ දීමට සිදු විය. එහි ප්‍රබලම අර්බුදය වුයේ ආර්ථිකය කඩා වැටිමේ අර්බුදයයි. රටේ සිදු වු ආදායම් ඉපයීම් සඳහා වූ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් ඇණ හිටීමත් රාජ්‍ය බදු ආදායම් නොලැබියාමත් නිසා ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක් වී තිබේ. ඒ අනුව පළමු කාර්තුවේ සෘණ 1.6 ක වර්ධනයක් සහ දෙවන කාර්තුවේ දී සෘණ 16.3 ක ආර්ථික වර්ධනයක් ද වාර්තා වී ඇත. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ආර්ථිකයේ විශාලතම කඩා වැටීමයි. නමුත් තුන්වෙනි කාර්තුවේ සිට නැවත ධන ආර්ථික වර්ධනයක් වාර්තා කීරිම ආරම්භ කරයි. ඒ අප්‍රේල් සිට ජුනි දක්වා වසා තිබු රට තුන් වැනි කාර්තුව හෙවත් ජුලි සිට නැවත විවෘත කිරීම නිසාය. රට වසා තැබීම ආර්ථිකය තවත් කඩා වැටීමට හේතුවක් වන නිසා නැවත රට විවෘත කිරීමට රජය පියවර ගැනීමත් සමඟ තුන්වැනි කාර්තුවේ 1.5ක ධන ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමට හැකි වී තිබේ. ඒ බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020දෙවන කාර්තුව හා (අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා) 2020තෙවන කාර්තුව (ජූලි01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා වු දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන යටතේ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබේ.

    සමීක්ෂණ වාර්තා

    ඒ අනුව මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත මීට පෙර නිකුත් කළ යුතුව තිබුණ ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දෙවන හා තුන්වන කාර්තු දෙකේම දළ දේශීය නිෂ්පාදිත දත්ත පසුගිය දෙසැම්බර් 15 වැනිදා එකවර නිකුත් කළේය. කෙසේ වෙතත්, දෙවන කාර්තුවේ දී කෝවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නියෝජනය කරන ආර්ථික කටයුතු වැඩි ප්‍රමාණයක් පසුබෑමට ලක් වී ඇති අතර දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමට පෙර මෙම වසංගත කාලය තුළ ආර්ථිකයේ සෑම අංශයකම හැසිරීම වඩාත් සැලකිලිමත් ලෙස නිරීක්ෂණය කිරීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කඩිනම් සමීක්ෂණයක් සිදු කර ඇත. ඒ අනුව ව්‍යවසාය ආයතන හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ කර්මාන්ත, ඉඳිකිරීම්, වෙළෙඳ හා වෙනත් සේවා අංශ කෙරෙහි කොවිඩ් – 19හි බලපෑම පිළිබඳ සමීක්ෂණය ජුනි මස මැද භාගයේ සිට 2020 ජූලි මස අවසානය දක්වා පවත්වා තිබේ. සමීක්ෂණය මගින් එක් එක් ආයතනයේ 2019 හා 2020 වසරවල ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා සිදුකරන ලද ආර්ථික කටයුතු පිළිබඳ තොරතුරු රැස් කර ඇත. එම සමීක්ෂණය රටේ කර්මාන්ත හා සේවා අංශයේ විශාල, මධ්‍ය, කුඩා හා ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාර ආවරණය වන පරිදි ආයතන 18,000ක පමණ නියැදියකින් සමන්විතය.

    2020 දෙවන කාර්තුවේ ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කර ඇති අතර 2019 දෙවන කාර්තුවේ වාර්තා වූ සියයට 1.1 ධන වර්ධනය හා සසදන විට මෙතෙක් වාර්තා නොවූ ලෙස සියයට16.3 කින් පහත වැටී ඇත. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පහත වැටීමයි. 2020 දෙවන කාර්තුවේදී, ඉතා සුළු රටවල් සංඛ්‍යාවක් හැර (උදා: චීනය හා වියට්නාමය) මුළු ලෝකයේම බොහෝමයක් ආර්ථිකයන් හි (උදා:මාලදිවයින,ඉන්දියාව,සිංගප්පූරුව, තායිලන්තය,මැලේසියාව ආදී) විශාල පසුබැසීම් වාර්තාවී ඇත. මෙම දෙවන කාර්තුව පිළිබදව සලකා බලන විට, මාර්තු 19 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ මුළු රටම සම්පුර්ණයෙන් වසා දමා තැබිණ. ඉන් පසුව දිස්ත්‍රික්ක වෙත පැනවූ ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් කළද මැයි 26 වන දින දක්වා ප්‍රධාන කාර්මික කලාප සහ ව්‍යපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක වන කොළඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මක විය. මෙම තත්ත්වය රටේ ආර්ථික කටයුතු වැඩි ප්‍රමාණයකට අහිතකර ලෙස බලපා ඇති අතර විශේෂයෙන් නිෂ්පාදන, ඉදිකිරීම්, මගී ප්‍රවාහනය (ගොඩබිම සහ ගුවන් ), පතල් හා කැණීම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, වෙනත් පුද්ගලික සේවා, වෘත්තීය සේවා, සිල්ලර වෙළඳාම යන ආර්ථික කටයුතු සහ සමුද්‍රීය මසුන් ඇල්ලීම වැනි කෘෂි කර්මාන්තයේ සමහර ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කරමින් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    ඒ අනුව 2020 දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2020 දෙවන කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 16.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2019 දෙවන කාර්තුව සඳහා මෙම අගය සියයට 1.1ක් ලෙස ධන වර්ධන වේගයක් වාර්තා විය. 2020 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල අනුව රු. මිලියන1,936,273ක් දක්වා පහත වැටී ඇති අතර 2019 දෙවන කාර්තුවේ දී එම අගය රු. මිලියන 2,312,078 ක් ලෙස වාර්තා විය. මීට අමතරව, 2019 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතය පවත්නා මිලට අනුව රු. මිලියන 3,589,246 ක් වූ අතර එය 2020 දෙවන කාර්තුවේ දී රු. මිලියන 3,012,013ක් දක්වා පහළ බැස තිබේ. එය සියයට 16.1 ක පහළ යාමකි.

    2020 දෙවන කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධාන අංශ වන කෘෂිකර්මාන්ත සඳහා සියයට 9.7ක් ද , කර්මාන්ත සඳහා සියයට 24.8ක් ද, සේවා සඳහා සියයට 61.2ක් ද භාණ්ඩ සඳහා සියයට 4.3 ක් ද වශයෙන් ලබා දුන් සහනාධාර සහ දළ දේශීය නිෂ්පාදිතය කෙරෙහි දායක වී ඇත. කොවිඩ් -19 වසංගතයේ බලපෑම, ආර්ථික ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් කෙරෙහි අහිතකර ලෙස බලපෑම හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකය මන්දගාමී විය. 2020 දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව කෘෂිකාර්මික අංශය සඳහා සියයට 5.9ක් ද, කාර්මික අංශය සදහා සියයට 23.1 ක් ද, සේවා ප්‍රධාන ආර්ථික අංශය සඳහා සියයට 12.9 ක් ද, ලෙස පසු බැසීම් වාර්තා වී තිබේ. මීට අමතරව, 2020 දෙවන කාර්තුවේදී, ”භාණ්ඩ මත ලබාදුන් සහනාධාර අඩු කරන ලද බදු” 2019 දෙවන කාර්තුව හා සසඳන විට 30.1%ක අඩුවීමක් වාර්තා කර ඇත. ඊට හේතුවී ඇත්තේ බදු ප්‍රතිපත්ති සංශෝධනය ‍කිරීම හේතුවෙන් බදු අනුපාත සහ බදු අය කරනු ලබන ආදායම් සීමා වෙනස් වීම මත බදු ආදායමේ විශාල ලෙස පහත වැටීමයි. රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය මන්දගාමී වීම සඳහා මෙය බලපා තිබේ.

    ධනාත්මක වර්ධනය

    එහෙත් 2020 වර්ෂයේ තුන්වන කාර්තුව තුළදී කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලෙන් පසුව ව්‍යාපාරික ක්‍රියාකාරකම් නව සාමාන්‍යකරණය වීමත් සමග ජනතාවගේ එදිනෙදා ජීවන රටාව යථා තත්ත්වයට පත් විය. මෙම වාසිදායක තත්ත්වය විශේෂයෙන් තුන්වන කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ඇති අතර එම තත්ත්වය මත පදනම්ව 2020 වර්ෂය සඳහා ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ ප්‍රථම වතාවට සියයට 1.5 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට හේතු වී තිබේ. සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, තොග හා සිල්ලර වෙළඳාම, භාණ්ඩ හා මගී ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ සේවය, මූල්‍ය හා රක්ෂණ සේවා, දේපළ වෙ‍ෙළඳාම්, වෘත්තීය සේවා සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ඇතුළු බොහෝ සේවා ක්‍රියාකාරකම් 2019 වසරේ තුන්වන කාර්තුව සමඟ සසඳන විට 2020 තෙවන කාර්තුවේ දී ධනාත්මක ආර්ථික වර්ධන අනුපාතයක් වාර්තා කර තිබේ. 

    ඒ අනුව 2020 තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2020 තෙවන කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2020 තුන්වන කාර්තුව සඳහා ස්ථාවර මිල අනුව ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,545,863 ක් වූ අතර එය 2019 තුන්වන කාර්තුවේදී රු. මිලියන 2,509,418ක් ලෙස වාර්තා විය. එසේම 2020 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය පවත්නා මිලට අනුව රු. මිලියන 4,085,213 වන අතර එය 2019 තුන්වන කාර්තුවේ දී රු. මිලියන 3,833,960 ක් ලෙස වාර්තා වී තිබේ. එය පවත්නා මිල අනුව දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 6.6ක වෙනස් වීමක් පෙන්නුම් කරයි.

    2020 තෙවන කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධාන අංශ වන කෘෂිකර්මාන්ත සදහා සියයට 8.2 ක්ද , කර්මාන්ත සදහා සියයට 27.7 ක් ද, සේවා සදහා සියයට 56.8 කද , භාණ්ඩ සදහා සියයට 7.4 ක් ද, මත ලබාදුන් සහනාධාර දළ දේශීය නිෂ්පාදිතය කෙරෙහි දායක වී ඇත. තුන්වන කාර්තුවේදී කොවිඩ් – 19 වසංගතයේ පළමු රැල්ල අවසන් වීමත් සමඟ එම සමස්ත වාසිදායක තත්ත්වය බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් ධනාත්මකව සිදු කිරීමට සහාය වූ අතර එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය යම් තාක් දුරකට වේගවත් කිරීමට හේතුවී තිබේ. ඒ අනුව, 2020 වර්ෂයේ පළමු වතාවට කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වයම 2020 තුන්වන කාර්තුවේදී ධනාත්මක වර්ධන අනුපාතයන් වාර්තා කර ඇත.

    කෙසේ වුවද මේ ‍ගෙවෙමින් පවතින්නේ සිව්වැනි අර්ථික කාර්තුවය.ඊට අදාළ වාර්තා 2021 වර්ෂයේ ජනවාරි මාසය වන විට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ඇත. වත්මන් රජය නොබියව ගත් තීන්දු තීරණ මත සෘණ ආර්ථික වර්ධනයක් තිබු ආර්ථිකය ධන ආර්ථික වර්ධනයක් කරා පැමිණ තිබේ. ඊට හේතුව වන්නේ රට වසා තබමින් කොවිඩ් 19 මර්දනය කිරීම වෙනුවට රට විවෘත කර සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට මේම රජය විසින් ගත් පියවරය. ආණ්ඩු විරෝධි මත ප්‍රකාශ කරන්නන් රට විවෘත්ත කිරීම පිළිබඳව කුමන දොස් නැඟුවද රටේ යහපත වෙනුන් නිව­ැරදි තින්දු තීරණ ගැනීම නිසා මෙසේ තුන් වැනි කාර්තුවේ ආර්ථිකය ධන අගයක් ගෙන තිබේ. ඒ අනුව ඉදිරියට ගුවන් තොටුපළ සහ අනෙකුත් වසා තැබු සියලු ආයතන හා සේවා විවෘත කිරීම මත සිව්වැනි ආර්ථික කාර්තුවේ දී තෙවැනි කාර්තුවට වඩා ඉහළ ධන ආර්ථික වේගයක් කරා ළඟා වීමට හැකියාවක් ඇත.

    නුවන් හෙට්ටිආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here