ඉන්දියාවට ලැබෙන ICCයේ ශකයේ සහතිකය

0
13
2 ජනවාරි, 2021

පසුගිය දශකය තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 පිටියේ දස්කම් දැක්වූ විශිෂ්ටයන් අතරින් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය නම් කළ ටෙස්ට්,එක්දින,සහ විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම් ත්‍රිත්වයේ නායකත්වය ඉන්දියාවට හිමි ව තිබේ. ඒ විස්සයි විස්ස හා එක්දින නායකත්වය මහේ්න්ද්‍ර සිං දෝනිටත් ටෙස්ට් ක්‍රිකට් නායකත්වය විරාට් කෝලිටත් හිමිවන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට පිතිකරුවකු වන කුමාර සංගක්කාර ද දශකයේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර ඇත. ලසිත් මාලිංග නම් කර ඇත්තේ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් ද්විත්වයටය. මෙම කණ්ඩායම් ත්‍රිත්වයම නියෝජනය කරන පසුගිය දශකයේ ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන්නේ විරාට් කෝලි ය.

දශකයේ විශිෂ්ට ම එක්දින කණ්ඩායම

පසුගිය දශකය තුළ දැක්වූ දක්ෂතා පදනම් කොට ගනිමින් නම්කර ඇති දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්කර ඇත්තේ එම කණ්ඩායමේ ප්‍රධානතම දකුණත් වේගපන්දු යවන්නා වශයෙනි. එම කාලසීමාව තුළ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා ද වන ලසිත් ඉනීම 158 කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 248 කි. එහි කඩුල්ලක සාමාන්‍යය 28.74 ක් වීම ද කැපී පෙනේ.

දශකයේ ටෙස්ට් කණ්ඩායම

ඉහත ආකාරයෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පසුගිය දශකයේ දැක්වු දක්ෂතා අනුව දශකයේ ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කරද්දී කෝලිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර සංගක්කාර කඩුලු රකින්නා වශයෙන් එම කණ්ඩායමට කැඳවා ඇත.

ඉකුත් දශකයේ වසර හයකටත් අඩු කාල සීමාවක් තුළ ටෙස්ට් ඉනිම් 71කට ක්‍රීඩා කර ඇති කුමාර සංගක්කාර එහිදී රැස්කළ ලකුණු ප්‍රමාණය 4851 කි. එම කාල සීමාව තුළ ශතක 17ක් රැස්කළ සංගක්කාර සිය පිතිකරණ සාමාන්‍ය 68.32ක් වැනි ඉහළ අගයක් වශයෙන් පවත්වා ගැනීමට සමත්ව ඇත. ඔහු සිය ටෙස්ට් දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ද මෙම කාල වකවානුවේ වන අතර ඒ 2014 දී බංග්ලාදේශයට එරෙහිව චිතගොංහිදිය. එම ඉනිම දැක්වෙන්නේ ලකුණු 319 ක් වශයෙනි.

විස්සයි විස්සේ විශේෂිතයන් අතර මාලි ඉදිරියෙන්

ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණියකින් සැදුම්ලත් දශකයේ විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රබල පන්දුයවන්නකු සේ නම්ව ඇත්තේ ලසිත් මාලිංගය. දෝනිගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් සිවුදෙනෙකුගේ සේවය හිමි ව තිබේ.

එම දශකය තුළ දී ජාත්‍යන්තර විස්සයි20 ඉනිම් 63කට ක්‍රීඩා කළ මාලිංග කඩුලු 83ක් දවාගෙන ඇත්තේ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ දෙවන වැඩිම කඩුලුලාභියා බවට පත්වෙමිනි.

දශකයේ එක්දින කණ්ඩායම –

රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාත් කෝලි, ඒ.බී.ඩි විලියර්ස්, ශකිබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්. ඉම්රාන් තාහිර්, ලසිත් මාලිංග

දශකයේ ටෙස්ට් කණ්ඩායම

ඇලිස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාත් කෝලි (නායක), ස්ටීව් ස්මිත්, කුමාර සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජිමී ඇන්ඩර්සන්

දශකයේ විස්සයි විස්ස කණ්ඩායම –

රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඇරොන් ෆින්ච්, විරාත් කෝලි, ඒ.බී.ඩි විලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායක), කිරන් පොර්ලාඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රිට් බුම්රා, ලසිත් මාලිංග

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here