ගෙවුණු වසර නව වසර

    0
    9
    Author(s): 
    ධනුෂ්ක ගොඩකුඹුර

    හැට නව ලක්ෂයක ආශිර්වාදයෙන් සුබවාදී අයුරින් රාජ්‍ය පාලනයට පිවිසෙන නමුත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය පළමු වර්ෂය ගත කිරීමට සිදු වූයේ අභියෝග රැසක් මැදය. කොවිඩ් වසංගතය මෙන්ම ඊටත් වඩා දරුණු දේශපාලන අභියෝග රැසකට මුහුණදීමට ජනාධිපතිවරයාට සිදු විය. පළමු වර්ෂයේදී ලැබූ අත්දැකීම් සමඟ සිය පාලන සමයේ ඉතිරි වර්ෂ හතර කළමනාකරණය කරගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

    නව වසර උදා වූයේ ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම බලපාන කොවිඩ් වසංගතය තවදුරටත් පාලනය නොවූ වාතාවරණයක් තුළය. චීනයෙන් ආරම්භ වී ලොව පුරා ශ්‍රීඝ්‍රයෙන් පැතිරුණු කොවිඩ් වසංගතය සෑම රටකටම විවිධාකාර බලපෑම් එල්ල කළ අතර, ශ්‍රී ලංකාවට ද එහි බලපෑමෙන් මිදීමේ හැකියාවක් තිබුණේ නැත. මෑත ඉතිහාසයේ ලෝකය මුහුණදුන් දරුණුතම වසංගතය ලෙස කොවිඩ් වසංගතය සැලකේ. එවැනි වසංගතයක් හමුවේ වුව ද මෙරට මෙන්ම ලෝක දේශපාලනයේ ද තීරණාත්මක කඩඉම් කිහිපයක්ම පසුගිය වසරේ වාර්තා විය.

    දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය මෙන්ම අමෙරිකාවේ ජනාධිපතිවරණය ද පැවැත්වුණේ කොරෝනා වසංගතය මැදය. පසුගිය අගෝස්තුවේ පැවැති මෙරට මහ මැතිවරණය ද ජාතික සහ අන්තර්ජාතික වශයෙන් දැඩි කතාබහට ලක්වූවක් විය. මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව සුබදායී ප්‍රවේශයකට යොමුවුව ද විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් සෑමවිටම සිටියේ මැතිවරණය නොපැවැත්විය යුතුය යන මතයේය. වසංගත තත්ත්වයක් පැවැතිය ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මැතිවරණයක් පැවැත්වීමේ බාධාවක් නැති බව මැතිවරණ කොමිසම නිවේදනය කළ ද විපක්ෂය ඊට එකඟ වූයේ නැත.

    විපක්ෂයේ චෝදනාව වී තිබුණේ නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම නුසුදුසු බවය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ කරුණු කාරණා රාශියක් හේතුවෙනි. 2019 වසරේ නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර ද්වන්ධ සටනක් විය. එහෙත් කවුරුත් බලාපොරොත්තු වූ පරිදි ජයග්‍රහණය ලැබුණේ ගෝඨාභය රාජපක්ෂටය. ලක්ෂ 69ක ඡන්ද ලබා ගනිමින් ජනාධිපතිවරයා බවට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ඵෙතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී නොවැම්බර් මස 18 වැනිදා දිවුරුම් දුන්නේය.

    ස්ථාවර ආණ්ඩුවක්

    ගෝඨාභය රාජපක්ෂ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ තරමක ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් මැදය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ද ඒ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබුණේ පැවැති ආණ්ඩුවටය. ජනාධිපති ධුරයට පත් වුවත් රාජපක්ෂ හට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලැබුණේ නැත. ජනාධිපතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ යහපාලන ආණ්ඩුවට එක්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක් කරගත් පසුව ද ජනාධිපති රාජපක්ෂ හට පාර්ලිමේන්තු බහුතරයක් හිමි නොවීය.

    මේ කරුණු කාරණා නිසා ජනාධිපතිවරණයේදී ජනතාව හමුවේ තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කළ නොහැකි වාතාවරණයක් මතුව තිබිණි. කලින් පැවැති යහපාලන ආණ්ඩුව 2020 වර්ෂය සඳහා අයවැයක් සම්මත කර ගැනීමට පියවර නොගත් හෙයින් ගැටලුව තවත් උග්‍ර වී තිබුණේය. 2019 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නිසා සුපුරුදු පරිදි අයවැය යෝජනාවක් ඉදිරිපත් නොකොට අතුරු සම්මත ගිණුමක් මඟින් මුදල් වෙන් කර ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය. එහෙයින් 2019 නොවැම්බර් මස 18 වැනි දින හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්න ද ජනාධිපති රාජපක්ෂට සිය ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ ගැටලුවක් පැන නැඟී තිබිණි.

    සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා මුදල් සොයා ගැනීමේ ගැටලුවකට ජනාධිපතිවරයා මුහුණ පා සිටින අතරේ බොරදියේ මාළු බෑමට විපක්ෂය උත්සහ දරමින් සිටින බව පැහැදිලි වූයේ ආණ්ඩුවේ කටයුතුවලට සහය නොදෙන තිරණයකට විපක්ෂය එළැඹීම නිසාය. අයවැය හෝ අතුරු සම්මත ගිණුමක් හෝ සම්මත කරගැනීමට සහය දෙන බවක් පෙන්වමින් අවසන් මොහොතේදී ඊට එරෙහි වීමේ සූදානමක විපක්ෂය සිටින බව රටට රහසක් නොවීය. එබැවින් ජනාධිපති රාජපක්ෂ හට ඉතුරුව තිබුණේ විකල්ප දෙකක් පමණි. පළමු විකල්පය වූයේ අවදානමක් ගෙන අයවැය හෝ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. දෙවැන්න පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමය.

    ඒ මොහොතේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වශයෙන් දෙවැනි විකල්පයට ගිය ජනාධිපතිවරයා තීන්දු කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටය. වසර හතරහමාරක් ගෙවෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වන ලෙසට දහනව වැනි සංශෝධනයෙන් සීමා පනවා තිබූ හෙයින් මාර්තු මස 02 වැනි දින වන තෙක් ඉවසා සිටීමට ජනාධිපතිවරයාට සිදු විය. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 25 වැනිදාය. මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද අපේක්ෂා කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය රට ආක්‍රමණය කිරීම නිසාය.

    මෙරට පළමු කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයා මාර්තු මස 11 වැනිදා හඳුනාගනු ලැබිණි. මහ මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමේ ආරම්භක දිනය ඊට පසුදිනට යෙදී තිබුණු අතර, කොවිඩ් අවදානම මැද නාමයෝජනා බාර ගැනීමේ කටයුතු අවසන් කෙරිණි. එහෙත් මැතිවරණ කොමිසම මාර්තු මස 19 වැනිදා නිවේදනය කළේ අප්‍රේල් 25 වැනිදාට නියමිතව තිබූ මහ මැතිවරණය රට තුළ පවතින වාතාවරණය හේතුවෙන් තාවකාලිකව කල්දැමූ බවය. මාර්තු මස 20 වැනිදා රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති රාජපක්ෂ පියවර ගත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිවය. රාජපක්ෂ ජනාධිපතිවරයා කොවිඩ් මර්දනය කෙරෙහි සිය පූර්ණ අවධානය යොමු කරන අතරතුරේ තාවකාලිකව කල්දැමුණු මහ මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම අප්‍රේල් මස 20 වැනිදා නිවේදනය කළේය.

    තාවකාලිකව වසා දැමුණු රට නැවත විවෘත කෙරුණේ මැයි මස 04 වැනිදා ය. එහෙත් බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය එලෙසම ක්‍රියාත්මක විය. කොවිඩ් වසංගතය හේතුවෙන් එල්ල වූ බාධා මැද දෙවරක් කල්දැමුණු මහ මැතිවරණය අවසානයේදී පැවැත්වුණේ අගෝස්තු මස 05 වැනිදාය. මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි වූ අතර, මහින්ද රාජපක්ෂ සිවුවැනි වතාවටත්අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නේය. නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 20 වැනිදා පැවැත්විණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා බහුතර බලයක් ලැබෙනුයේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දී මාස දහයකට ආසන්න කාලයක් ගෙවී ගිය පසුවය. පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණු වහාම රාජපක්ෂ ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ එතෙක් ක්‍රියාත්මක වූ 19 වැනි සංශෝධනය බලරහිත කරනු පිණිසය. 19 වැනි සංශෝධනය රට පාලනය කිරීමේදී බාධා එල්ල කරන බව ජනාධිපති රාජපක්ෂ මුල සිටම දැරූ මතය විය. 20 වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මතවීමත් සමඟ 19 වැනි සංශෝධනය බල රහිත විය.

    පස් අවුරුදු සැලැස්ම

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු එකිනෙක ඉටුකරලීම ජනාධිපති රාජපක්ෂ ඒ වන විටත් ආරම්භ කර තිබුණි. ඔහුගේ පස් අවුරුදු සැලැස්ම පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන 2021 අයවැය යෝජනාවලිය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වූයේ නොවැම්බර් මස අගදීය. ඒ වන විටත් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරක කාලයක් ගෙවී ගොස් අවසන්ය.

    පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක බහුතර කැමැත්තකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත්වනුයේ පස් අවුරුදු සැලැස්මක් අතේ තබාගෙනය. හැට නව ලක්ෂයක ආශිර්වාදයෙන් සුබවාදී අයුරින් රාජ්‍ය පාලනයට පිවිසෙන නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය පළමු වර්ෂය ගත කිරීමට සිදු වූයේ අභියෝග රැසක් මැදය. කොවිඩ් වසංගතය මෙන්ම ඊටත් වඩා දරුණු දේශපාලන අභියෝග රැසකට මුහුණදීමට ජනාධිපතිවරයාට සිදු විය. පළමු වර්ෂයේදී ලැබූ අත්දැකීම් සමඟ සිය පාලන සමයේ ඉතිරි වර්ෂ හතර කළමනාකරණය කරගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුව තිබේ.

    විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් බිඳ වැටුණු ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩනැංවීම රාජපක්ෂ හමුවේ ඇති ප්‍රබල අභියෝග බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අභියෝග ජයගැනීම තවදුරටත් දුෂ්කර විය හැක්කේ රට ගොඩනැඟීමට සහාය වීම නොව කෙසේ හෝ පාලන බලය හිමිකර ගැනීමේ පටු අරමුණෙන් පසුවන විපක්ෂයක් රට තුළ ක්‍රියාත්මක වීම නිසාය. මිලියන 22ක ජනතාවක් සමඟ නව වර්ෂයට පියනැඟීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. අභියෝග මැද ආපසු නොහැරුණු නායකත්වය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයට සාධාරණයක් ඉටුකරලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීම වනු නොඅනුමානය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here