දකුණු අප්‍රිකාව දෙවැනි සටනට බියුරන් – රබාඩා කැඳවයි

0
14

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක බියුරන් හෙන්ඩ්‍රික්ස් කැඳවා තිබේ.

මිගේල් ප්‍රිටෝරියස් උරහිසේ ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහු වෙනුවට බියුරන් එක්කර තිබේ.

30 හැවිරිදි වියේ පසුවන බියුරන් පසුගිය වසරේ ජනවාරි 24 වැනිදා ජගත් ටෙස්ට් පිටියට පිවිසියේ එංගලන්තයට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදීය. ඒ ඔහු ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගයයි.

බියුරන් මුලින් නම් කළ තරගාවලියේ පළමු සංචිතයට ඇතුළත්ව සිටිය ද කොරෝනා හේතුන් මත ඉන් ඉවත් කර තිබිණි.

මින් පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නා වන කගීසෝ රබාඩා ද සංචිතයට එක් කළේය. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි විය. ජගත් ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටි රබාඩා නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි තැන සිටී. ඔහු ද අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස ටෙස්ට් තරගයකට එක්ව තිබිණි.

මේ සමඟින් දෙවැනි තරගය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය වේග පන්දු යවන්නන් 8 දෙනකුගෙන් සමන්විත වී තිබේ. ඒ පළමු තරගයට ක්‍රීඩා කළ ලුන්ගි එන්ගිඩි, ඇන්රිච් නොර්ටේජ්, ලුතෝ සිපම්ලා සහ වියාන් මුල්ඩර් සමඟ ග්ලෙන් ස්ටුවර්මන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, බියුරන් සහ රබාඩාය.

කෙසේ වෙතත් දඟ පන්දු යවන්නකු නැතිව තරගයට යෑමට තමා බලාපොරොත්තු නොවන බවත්, එබැවින් කේෂව් මහරාජ්ගේ ස්ථානය සුරක්ෂිතව තැබිය යුතු බවත් දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බවුචර් පවසා තිබේ. දෙරට අතර, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 3 වැනිදා ජොහැනස්බර්ග්හිදී ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here