නවසීලන්තය ටෙස්ට් ඉතිහාසයේ පළමු තැනට

0
12
Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

අයිසීසී ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වෙයි.

1930 වසරේ ජනවාරි 10 වැනිදා ජගත් ටෙස්ට් තරග බිමට පිවිසි නවසීලන්තය මේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගත්තේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.

පාකිස්තානය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 101කින් ජය ගැනීමත් සමඟ නවසීලන්තය ප්‍රසාද ලකුණු 117ක් සමඟ මේ ස්ථානය අත්කරගත් අතර, පළමු ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව (116) ඉන්දියාව හමුවේ දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ දෙවැනි ස්ථානය දක්වා පහතට වැටිණි. මේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව (115) තෙවැනි ස්ථානයේ පසු වෙයි. 5 වැනි තැන සිටි ශ්‍රී ලංකා (87) පිල 6 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව හමුවේ ලද ඉනිමක පරාජයත් සමඟින් 6 වැනි තැනට වැටුණු අතර, දකුණු අප්‍රිකාව (94) 5 වැනි තැනට පිවිසියේය. නවසීලන්තය හමුවේ පරාජය වූ පාකිස්තානය (84) 7 වැනි තැනම රැඳී සිටී.

මේ සියලු තරග අයිසීසීය හඳුන්වා දුන් ලෝක ටෙස්ට් ශූරතාවලියට ද ඇතුළත් බැවින් පාකිස්තානය පරාජය කිරීමත් සමඟ එම ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට ද නවසීලන්තයට හැකි විය.

නවසීලන්තය පාකිස්තානය සමඟ පැවැත්වෙන දෙවැනි තරගයත් ජය ගතහොත් ඔවුන්ට අයිසීසී ලෝක ශූරතාවලියේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව හිමිවීමට වැඩි ඉඩ පවතී.

ඔස්ට්‍රේලියාවේදී සත්කාරකයන් ඉන්දියාව හමුවේ දෙවැනි තරගයෙන් පරාජය වුවද ඔවුන් තවමත් පෙරමුණේ පසුවන අතර, ඉන්දියාව දෙවැනි තැන සිටී. පාකිස්තාන පිල නවසීලන්තය හමුවේ පරාජය වුවද 5 වැනි තැන රැක ගෙන සිටින අතර, එම ශූරතාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ජය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකා පිල 7 වැනි තැනට ඇද දමා දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. තරගාවලිය පෙර දකුණු අප්‍රිකාව 8 වැනි තැන පසු වූ අතර, ශ්‍රී ලංකාව 6 වැනි තැන රැඳී සිටියේය.

මේ අතර, නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත්වීම ද විශේෂත්වයකි. විලියම්සන් ස්ථාන 2කින් ඉදිරියට පිවිසි අතර, පළමු ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් තෙවැනි තැන දක්වා පහතට වැටී ඇත්තේ ඉන්දියාව සමඟ දෙවැනි තරගයේ අසාර්ථක පිතිකරණය (8 සහ 0) හේතුවෙනි. විලියම්සන් අවසන් වරට පළමු ස්ථානයට පත් වූයේ 2015 වසරේදීය.

ඉන්දීය පිලේ නිත්‍ය නායක විරාට් කෝලි දෙවැනි ස්ථානයේම පසුවන අතර, අජින්ක්‍යා රහානේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5ක් ඉදිරියට එමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here