පෑලියගොඩ නව කැලණි පාලම මේ වසරේ ජූලි මාසයේදී විවෘත කිරීමට හැකි බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “දිනමිණ“ට ඊයේ (31) ප්‍රකාශ කළේය. අධිතාක්ෂණික කේබල් මත දිවෙන පළමු පාලම වන පෑලියගොඩ නව කැලණි පාලම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 4148. 9කි.
රටේ කොරෝනා තත්ත්වයක් පැවතියද වැඩ අවසන් කිරීමට නියමිත කාලසීමාව ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ජනතාවට ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බවත් නව කැලණි පාලමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (31) නිරත වීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කොළඹ නගරයට ඇතුළු වන සහ පිට වන වාහනවලට කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් මේ නව පාලම ඉදිකිරීමට සැලසුම් කෙරිණි.
2014 වසරේදී නව කැලණි පාලම් ව්‍යාපෘතියට මූලික සැලසුම් සකස් කොට ගිවිසුම් අත්සන් තබන ලද්දේ එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මේ නව කැලණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුක්ත වන මේ පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් ඉදිකෙරේ.
සුභාෂිණී සේනානායක සහ ක්‍රිසාන්ති විතාරණ