නව පක්ෂ ලියාපදිංචිය ලබන මස සිට ඇරඹේ

0
35
Author(s): 
අනුර ප්‍රේමලාල්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කරනු ලබන අතර, ඊට අවශ්‍ය නිර්ණායක සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කමිටුවේ නිර්දේශ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එකී නිර්ණායක අදාළ පාර්ශ්ව වෙත දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කිරීමට ද කොමිසන් සභාව ඊයේ (31) රැස් වී තීරණය කෙරිණි.

කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම හා ඒ අනුව විධිමත් කිරීම සඳහා විශේෂඥ දැනුම ඇති ආයතනයක් වෙත පවරා සම්පූර්ණ වාර්තාවක් කෙටිකාලයක් තුළ ලබා ගැනීම හා ඒ අනුව අවශ්‍ය ව්‍යූහාත්මක සංශෝධන කිරීමට ද කොමිසම තීරණය කර ඇත.

රටේ ව්‍යාප්ත කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය මත පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට වීම නිසා එම මැතිවරණයේදී අපේක්ෂකයන් ලෙස තරග කිරීමට ඉදිරිපත් වූ රජයේ නිලධාරීන්ට මුළු මැතිවරණ කාල සීමාව තුළම වැටුප් රහිතව සිටීමට වූයේ ඔවුනගේ පාලනයෙන් බැහැර කාර්යයක් වීම හේතු කොටගෙන බැවින් හා ඔවුන්ට එයින් අහිත කර බලපෑමක් සිදු වී ඇති බවට පැමිණිලි කර ඇති හෙයින් එම කාලසීමාව සඳහා වැටුප් ගෙවීමට අවශ්‍ය සුදුසු පියවර ගැනීමට කටයුතු කරන ලෙස දන්වා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැන්වීමට ද කටයුතු සූදානම් කෙරේ.

පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් ලබන 11 පෙරවරු 10.00ට කැඳවීමටත්, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිලධාරීන්ගේ රැස්වීමක් එදින සවස 2.30ට පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.

කොමිෂන් සභාවේ එක් එක් සාමාජිකයා වෙත කොමිෂන් සභාවේ පවතින කාර්යභාර්ය හා ඊට අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඒ ඒ කාර්යන්වල නිශ්චිත වගකීම් හා අධීක්ෂණය පැවරීමට ද තීරණය කෙරුණු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here