නීතියට ගරු කරමින් මරුවා සමඟ ගිය පිලිපීනයේ පුංචි සුරංගනාව

    0
    6
    2 ජනවාරි, 2021

    රටක නීතිය විසින් අලුත උපන් බිළිඳා තම මවගෙන් වෙන් කරන්නේ නම්, ඒ හේතුවෙන්ම ඒ බිලිඳා මිය යන්නේ නම් ඒ නීතිය කා සඳහාදයි පැනයක් නැගෙන්නේ හද කකියවන වේදනාවක්ද සමඟිනි. පිලිපීනයේ මැනිලා නුවර නාගරික සිර කඳවුරේ සිරගතව වෙසෙන, දරු දුකින් පීඩාවට පත් විසි තුන් හැවිරිදි රයිනා මේ නසිනෝද මුළු ලෝකයෙන්ම එම පැනය අසන්නීය.

    මේ වන විට ඇයගේ බිලිඳු දියණිය මළවුන් අතරය. ඇයගෙන් එම කුඩා බිලිඳිය වෙන් කරනු ලැබුවේ පිලිපීන නීතිය විසිනි. ‘මේ නීතිය කා වෙනුවෙන්දැයි?” ඇය ප්‍රශ්න කරන්නීය.

    පිලිපීනය යනු මීට වසර කිහිපයකට පෙර සිට පුවත් මැවූ රටකි. එහි පත් වූ නව පාලකයා විශ්වාස කර සිටියේ දැඩි නීති මඟින් රටවැසියන් ‘විනය ගත කළ යුතු’ බවත්, එය රටේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සපයන බවත්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ඔහු දැඩි නීති අනුගමනය කළ අතර නඩු ඇසීමකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, භාවිත කරන්නන් පමණක් නොව ළඟ තබාගත් පිරිසද මහමග මරාදමනු ලැබීය. මත්ද්‍රව්‍ය සම්බන්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීම ඉතා යහපත් වුවද මේ කැළෑ නීතිය හේතුවෙන් මරණයට පත්වූ අහිංසකයන් සංඛ්‍යාවද ඉතා ඉහළ විය.

    පිලිපීනය තුළ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ක්‍රියාත්මක වන්නේ මෙවන් පසුබිමක් තුළය. ඔවුන්ට ජීවිත අහිමි වීමේ, සිරගත වීමේ දැඩි අවදානමට මුහුණ දීමට සිදුවිය. එහෙත් ඔවුහු ජීවිත අයිතිය ඉල්ලා සිටියහ.

    රයිනා මේ නසිනෝද අයත් වූයේ එම පිරිස අතරටය. දේශපාලන සිරකරුවකු ලෙස අැය සිරගතවන විටත් ගැබිනියක්ව සිටියාය. පසුගිය ජූලි මාසයේදී ඇය කුඩා රිවර් ප්‍රසූත කර සිටියේ ‘අඩු බර දරුවකු’ වශයෙනි. ඇතැම්විට සිරගත ජීවිතය හේතුවෙන් මවට ප්‍රමාණවත් පෝෂණය නොලැබෙන්නට ඇත.

    තම ‘නොවැඩුණු දරුවා’ සමඟ සිටිමින් ඇය පෝෂණය කිරීමට නසිනෝ අවසර ඉල්ලා සිටියාය. එහෙත් උසාවිය සලකා බැලුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ නිර්දේශ මත පමණි. බන්ධනාගාරයේ කාන්තා රැඳවි අංශයේ ප්‍රධානියාගේ නිර්දේශය වී ඇත්තේ අලුත උපන් දරුවකු රඳවා තබා ගැනීමට තරම් පහසුකම් බන්ධනාගාරය තුළ නොමැති බවයි. එහෙත් නසිනෝ උසාවියෙන් ඉල්ලා ඇත්තේ අවම තරමේ මසක පමණ කාලයක් තමාට දරුවා සමඟ රෝහලේ නැවතී සිටීමට හෝ අවම තරමේ තම සිර කුටියේ දරුවා තබා ගැනීමට හෝ අවසර ලබා දෙන ලෙසයි. එහෙත් මේ සියලු ඉල්ලීම් ඉවත දැමූ අධිකරණය නිර්දේශ කර ඇත්තේ දරුවා තම මිත්තණිය වෙත යැවීමටය.

    නසිනෝගේ සැමියා ද දේශපාලන සිරකරුවකු වන අතර හැත්තෑ හැවිරිදි ඔහු මේ වන විටත් පසුවන්නේ මැනිලා නාගරික බන්ධනාගාරයේ සිරමැදිරියක් තුළය. ඒ අනුව දරුවාගේ බාරකාරීත්වය පැවරෙන්නේ නසිනෝගේ මවට හෙවත් රිවර්ගේ මිත්තණියටය.

    මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රමාණවත් පෝෂණය නොලැබීමෙන් කුඩා රිවර් තම ජීවිතය අත්හැර යෑමය. දුකින් පීඩාවට පත්වූ නසිනෝ තම මාස තුනක් වයසැති කුඩා දියණියගේ සිරුර දැක බලා ගැනීමට ඉල්ලා සිටියද ඇයට ඒ සඳහා ලබා දුන් කාලය පැය තුනක් පමණක් විය.

    මෙහිදී පිලිපීනයේ දරුණු ලෙස පැතිරී යන කොවිඩ් වසංගතයද උසාවියේ සැලකිල්ලට ලක්ව තිබේ. කෙසේ වුවද නසිනෝ හඬා වැලපී ඇත්තේ තමාට ජීවත්ව සිටින දියණිය සමඟ පමණක් නොව මිය ගිය දියණිය සමඟද ප්‍රමාණවත් කාලයක ගත කිරීමට නොලැබුණු බව පවසමිනි.

    සුන්දර සුරංගනාවක් සේ සරසා තිබූ තම දියණියගේ සිරුර වැලඳ කඳුළින් ඇයට සමුදුන් නසිනෝ වහාම පිලිපීන අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. ඒ දැනට සිරගතව සිටින මවුවරුන් සඳහා වන නීතියේ සංශෝධන සිදුකරන ලෙසයි. මේ වන විට පවතින පිලිපීන නීතියට අනුව සිරගතව සිටින මවකට ඇයගේ අලුත උපත ලබන බිලිඳා ළඟ තබා ගත හැකි වන්නේ මසක කාලයක් පමණි.

    ඉන් පසුව දරුවා සහ මව වෙන්විය යුතුය. එහෙත් නසිනෝ ඉල්ලා සිටින්නේ මාසයක් යනු කුඩා දරුවකු මවගෙන් වෙන් කළ යුතු තරම් ප්‍රමාණවත් කාලයක් නොවන බවයි. මේ නීති සංශෝධනය විය යුතු බවට ඇය ඉල්ලා සිටින අතර මැනිලා නාගරික බන්ධනාගරයේ සිටිමින් මුළු මහත් ලෝකයෙන්ම අවධානය ඒ වෙත යොමු කරවා ගැනීමට ඇය සමත්ව සිටින්නීය.

    සැබවින්ම ඕනෑම රටක නීති පැවතිය යුතු වන්නේ ජනතාව වෙනුවෙනි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. ජනතාවගේ හිත සුව වෙනුවෙනි. සැබවින්ම නීතිය ජනතාව පීඩාවට පත් කළ යුතු නැත. එම නීතියම, නීතිය පසිඳලන, ආරක්ෂා කරන අයම නීතියම අකුරට ක්‍රියාත්මක කරමින් මව දරු සෙනෙහසට පවා, අලුත උපන් බිලිඳුන්ගේ ජීවිතයට පවා බාධක පනවන්නේ නම් එම නීතිය කා සඳහා දැයි යළිත් විමසා බැලිය යුතු නොවේද?

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here