පවුල හා සාමය

    0
    7

    සමාජයේ කුඩාම ඒකකය පවුලයි. මානව සමාජයේ ප්‍රගමනයට පවුල තුළින් ඉටුවන මෙහෙවර අසීමිතය. සියලු ආගම්වලට අනුව ආධ්‍යාත්මික ගුණවගාවෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනැඟීමට පවුල තරම් කේන්ද්‍රීය වූ ඒකකයක් තවත් නොමැත්තේය. පීතෘ මූලික සමාජයක වෙසෙන අප වැනි රටක පියාගේ පෞරුෂත්වය මුළු පවුල් සංස්ථාව වටාම ඒකරාශී වී ඇත. ඒ අනුව පියා පවුලේ ප්‍රධාන මෙහෙයුම්කරුවා විය. මේ තත්ත්වය ක්‍රමයෙන් අද මවත් භාරගෙන පවුලේ ප්‍රධාන මෙහෙයුම්කාරිනිය බවට පත්ව ඇත්තේය.

    දරුවෙකු බිහිවන්නේ හිරු එළියෙන් හා මව්කිරිවලින් බව මැක්සිම් ගෝර්කි වරෙක පවසා ඇත. ඒ අනුව පවුලකට මවගෙන් ඉටුවන මෙහෙවර සමාන කිරීමට කිසිවක් නොමැත. මව්පිය දෙපළ සිය දරුවන් පෝෂණය කරමින් ශිල්ප ශාස්ත්‍ර මැනවින් උගන්වමින් සාර්ථක පුරවැසියකු කිරීමට අසීමිත කැප කිරීම් කරන්නේ පවුල නැමැති කුඩා ඒකකයෙනි. බිලිඳාගේ සිට මියයනතුරාම ඕනෑම අයෙකුගේ ජීවිතය හා පවුල අතර ඇති සබැඳියාව එකම දම්වැලක පුරුක‍් මෙන් එකිනෙකට බැඳී පැවතීම අප වැනි රටක දක්නට ලැබෙන සුලබ දසුනකි. විශේ‍ෂයෙන් ආසියාතික රටවල මේ ගුණාංගය බෙහෙවින් ඉහළ මට්ටමක පවතියි. බොදු දහම අනුව ගත් කල හෝ හින්දු දහම අනුව ගත් කල සිංහල අලුත් අවුරුද්දට පවුලේ සියලු දෙනාම එකට එකතු වී මව්පිය ආශිර්වාදය මැද එය සැමරීම අගය කළ යුත්තකි. කතෝලික ජනයා පවා එලෙසය නත්තල සමරන්නේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සුවිශේෂ බවකිනි. උපන්දින සැමරුම් ආදි විවිධ උත්සව මෙන්ම විවිධ දුක් පීඩාවලදී පවා පවුලේ සාමාජිකයන් අතර පවතින සාමූහික බව පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

    බටහිර රටවල මේ තත්ත්වය බෙහෙවින් වෙනස්ය. දරුවන් සහ මව්පියන් අතර පවතින සබඳතාවය කෙමෙන් කෙමෙන් දුරස් වී යන්නේය. නිතරම මව්පිය සෙවණින් තොරව දරුවන් ඇති දැඩිවීම හේතුවෙන් පවුල නමැති කුඩා ඒකකය අතර තිබෙන අවියෝජනීය සබඳතාවය ගිලිහී ගොස් ඇත. එහෙත් මව්පිය දෙපළ සිය සහකරුවා හා සහකාරිය ලෙස සමගියෙන් ජීවත්වෙන පවුල් නැතුවා ද නොවේ. නමුත් පවුල් ආරවුල් වැඩිපුරම ඇත්තේ බටහිර රටවල්වල බව සමාජ විද්‍යාඥයින්ගේ නිගමනය වී ඇත.

    පවුල් දිවියක් සාර්ථක වීමට හේතු සොයා බැලීමේදී ලැබෙන සාර්ථකම පිළිතුර වී ඇත්තේ දෙදෙනකු අතර පවතින නොගැළපීම් ගැළපීම් බවට පත්කරගත් කල්හි ඔවුන්ගේ ජීවිත සාර්ථක වී ඇති බවය. විවාහ වූ දෙදෙනා තුළ ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සුහද බව, ඉවසීම ආදි ගුණාංග සාර්ථක පවුල් දිවියක අරුත පැහැදිලි කරන්නකි.

    සමස්ත ලෝකයම ගත් කල සාර්ථක පවුල් ජීවිත ගත කරන අය නැතුවා නොවේ. එහෙත් අවිශ්වාසය සැකය සේම මත්පැන්, මත්ද්‍රව්‍ය හරහා පවුල් ජීවිතවලට අත් වී ඇති ඉරණම ඉතාම ඛේදනීය තත්ත්වයකි. පවුල් දිවියේ සාමය රඳාපවතින්නේ මුදල් මත නොව ඔවුනොවුන් තුළ ඇති අවබෝධය, ඉවසීම හා දුරදක්නා බව ආදී හේතුන් නිසා බව පැහැදිලිය. මුළු ලෝ‍කයේම අධිකරණවල දික්කසාද නඩු ගොඩගැසෙන්නේ ඔවුනොවුන් තුළ ඇති අනවබෝධය සහ ඉක්මන් තීරණ ගැනීම වැනි මානුෂික දුර්වලතා හේතුවෙනි. විවාහ වූ යුවළක් දික්කසාදවීම තුළින් ඔවුන්ගේ දූ දරුවන්ගේ ජීවිතවලට පවා එහි බලපෑම තදින් දැනෙන්නේය. අනෙක් අතින් බලන කල එය එක්තරා විදිහක විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජයේ කුඩාම ඒකකය වන පවුල පත්ව ඇති මේ ඉරණමෙන් ගලවා ගැනීමට හැකිවන්නේ ආදරය පූර්ණ වූ ආදරයක් වූ කල පමණකි. සමාජයක් දියුණු සමාජයක් බවට පත්කරලීම සඳහා පවුල නැමැති ඒකකයෙන් ඉටුවන මේ අසීමිත මෙහෙවර රැකගැනීමට හැක්කේ ඉවසීම යන මානුෂික ගුණාංගය පුරුදු පුහුණු කළ අයට පමණෙකි. ලෝක පවුල් දිනය හා සාම දිනය සමරන අද දිනයේ පවුල තුළින් ඇති කරගන්නා සාමය සමාජයට විහිදී ගොස් සමාජයෙන් රටටත් රටින් ලෝකයටත් ඒ ආදර්ශ ලබාදීමට හැකියාව ඇත්තේ අප අප විසින්ම පවුලේ සාමය හා සමඟිය රැකගැනීම තුළින් බව පැහැදිලි සත්‍යයකි.

    මහින්ද ආරියවංශ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here