පීඩනය මාරු කළ ජොහැන්නස්බර්ග් ටෙස්ට් තරගය අද සිට

0
11
2 ජනවාරි, 2021

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අවසන්වූ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 45 කින් ජය ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්වීම පැරැණි ප්‍රවෘත්තියකි. එහෙත් ඔවුන් එම ජයග්‍රහණය හිමිකරගත්තේ සිය වේග පන්දු බල ඇණිය, පිතිකරණ අංශය හා පන්දුයැවීමේ දෙපාර්තමේන්තුව නිසිලෙස සේවයේ යොදවා ගනිමින් වීම පැරැණි නො වන පාඩමකි.

එම තරගයේ මුල් ඉනිමේ ලකුණු 396 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලක් දකුණු අප්‍රිකාව තුළ රැස්කළ ඉහළම ටෙස්ට් ඉනිම වාර්තා කිරීම ද නො සලකා නො හැරිය යුතු ය. එහෙත් නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් අඩු ලකුණු ගණනකට දැවී යාම මෙන් ම ධනංජය ද සිල්වා අගනා ලකුණු 79 ක් ලබා සිටියදී ආබාධයකින් යළිත් අවාසනාවන්ත වීම නොවන්නට එම ඉනිම ඇතැම්විට ලකුණු පන්සියයකට ආසන්න වන්නට හෝ එය ඉක්මවන්නට ඉඩ තිබුණේය.

කෙසේ නමුත් වේගවත් එමෙන්ම පන්දුව ඉහළට ඉපිලී ආ සෙන්චුරියන් තණ තීරුවේ දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා තම කඩුලු මැනවින් රැක ගනිමින් දුර්වල පන්දු පමණක් තෝරා බේරා ගෙන ටෙස්ට් තරගයකට උචිත අන්දමින් පිත්ත හැසිරවීම විශේෂයෙන් අගය කළ යුතු ය. අර්ධ ශතක, ශතක බවට පෙරැළිය යුතු වුව ද දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ටෙස්ට් පිතිකරුවකුට මුහුණදීමට සිදුවන විශිෂ්ට ම පන්දුවකට පරාජය වීමෙනි. එවැනි පන්දුවකට පිතිකරුවකු පරාජය නො වන්නේ නම් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ක්‍රීඩාවක් නොවන තරමට මල්ඩර් යැවූ එම පන්දුව පළමු තරගයේ දැක ගැනීමට ලැබුණු ඉතාමත් හොඳ පන්දුවකි. එම පන්දුව දෙරට අතර 1997-98 තරග මාලාවේ කේප් ටවුන්හි මුල් තරගය වෙත අපගේ මතකය රැගෙන යන්නකැයි කිව හැකිය. මකායා එන්ටිනි විසින් එදා හොඳින් පිත්ත හසුරුවමින් ලකුණු 77 ක් ලබා සිටි අරවින්ද ද සිල්වාට වැටුණු පන්දුව හා සමාන පන්දුවක් මෙදා මල්ඩර් විසින් චන්දිමාල්ට යොමු කළේය. එක් දින හා විස්සයි විස්ස තරග සඳහා ලඝුකර සිටි දසුන් ශානක දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නන් ඉදිරියේ පළමු ඉනිමේ පිත්ත හැසිර වුවේ ටෙස්ට් තරගයකට සුදුසු අයුරින් තම පිති හරඹය වෙනස් කර ගනිමින් වටිනා ලකුණු 66 ක් වාර්තා කරමිනි. මිට අමතර ව නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 49 ද අමතක කළ නො හැක. එහෙත් ටෙස්ට් තරගයක පිතිකරුවන්ට අර්ධ ශතකවලින් ස්වකීය උත්සාහය අත හැරිය හැකි ද යන්න නැවත වරක් සලකා බැලිය යුතු ව තිබේ.

තරගයේ මුල් දිනයේ තරගය වරින් වර දෙපිලටම දෝලනය වුව ද දෙවන දිනයේ ක්‍රම ක්‍රමයෙන් තරගය දකුණු අප්‍රිකාව දෙසට ඇදී ගියේ ඔවුන්ගේ මුල් ඉනිමේ මාක්රාම් (68) හා එල්ගර්(95) අතර මුල් විකට්ටුව වෙනුවෙන් පැවැත් වූ ලකුණු 141 ක සම්බන්ධතාවය හේතුවෙනි. ලකුණු පුවරුව 220 සටහන් කරන විට ඔවුන්ගේ කඩුලු හතරක් දවා ගෙන යලිත් ශ්‍රී ලංකාව තරගය තමා වෙතට හරවා ගැනීමට සමත් වූ නමුත් ප්ලේසිස් (199) හා බවුමා (71) පස් වන විකට්ටුව වෙනුවෙන් එක්වී මුළු ලකුණු සංඛ්‍යාව 399 දක්වා රැගෙන යන්නට සමත්වීම ශ්‍රී ලංකාව වෙතින් තරගය ගිලිහීමට ප්‍රධාන හේතුව විය. එහෙත් ඉන් පසුව පිටියට එක් වූ මල්ලඩර් (36) හා මහරාජ් හට (73) පිටියේ ස්ථාවර වන්නට ලබානොදුන්නේ නම් තරගය පස්වැනි දිනය දක්වා ඇදගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බොහෝ දුරට හැකියාව ලැබීමට ඉඩ තිබුණේය.

එහෙත් ශ්‍රී ලංකා වේග පන්දු හා පිතිකරණ බල ඇණිය ක්‍රීඩක කාමරය රෝහල් වාට්ටුවක් බවට පෙරළා ගත්තේ යෝග්‍යතාවය සම්බන්ධයෙන් දැඩිව සලකා බැලිය යුතු බව නිහඬව ප්‍රකාශ කරමිනි. කසුන් රාජිත, ළහිරු කුමාරගේ ඉණ ආශ්‍රිත ආබාධ, සුරංග ලක්මාල් ආබාධයක් නිසා තරගයට ක්‍රීඩා නොකිරීම හා ධනංජය ද සිල්වාගේ ආබාධය ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගය ම ආබාධයක් කළේ ය.

තම මංගල ටෙස්ට් තරගය නියෝජනය කරමින් වේග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක දඟ පන්දු යවන්නෙකු ලෙස කඩුලු හතරක් දවා ලු වනිඳු හසරංග හට සහායක් වෙමින් පන්දු යැවීමට ධනංජය ක්‍රීඩා පිටියේ සිටියේ නම් දකුණු අප්‍රිකා පිතිකරුවන් හට වැඩි තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තිබිණි.

ලකුණු 225ක් පසු පසින් සිටිමින් හා ගිලන් වූ ක්‍රීඩකයින් රැසක් සමඟින් පසුබැසුම් සහගත මානසිකත්වයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මුල් ඉනිමට වඩා පරීක්ෂාවෙන් පිත්ත හැසිර වූ කුසල් ජනිත් ලකුණු 64 ක් ලැබූ අතර ලකුණු 25 ක් ලැබූ දිනේෂ් චන්දිමාල් දැවී ගියේ මුල් ඉනිමේ මෙන්ම ඉතාමත් හොඳ පන්දුවකට පරාජය වෙමිනි. ඒ වනවිට ඔහු ද යම් ආබාධයකින් පෙළෙන බවක් දැක ගැනීමට තිබිණි.

සමස්තයක් ලෙස ගත් කල දකුණු අප්‍රිකා පිලේ වේග පන්දු යවන්නන්ගෙන් වූ සේවය සුපුරුදු ලෙස තම මව්බිම තුළ ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුවිණි. මෙම තරගය කළු වලාවකට සම කරන්නේ නම් එහි ඇදුණු රිදී රේඛා ලෙස තම පළමු ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් ලබමින් කඩුලු හතරක් දවාලු වනිඳු හසරංග හා මුල් ඉනිමේ අගනා ලකුණු 66 ක් ද සමගින් මද වේග පන්දුවෙන් කඩුලු දෙකක් දවාලු දසුන් ශානක නම් කළ හැක.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අද 03 වන දින ජොහැන්නස්බර්ග් හි වොන්ඩර්ස් පිටියේදී ඇරැඹීමට නියමිත ය.

කලින් ලැබුණු වාර්තාවනට අනුව ධනංජයට අමතරව ක්‍රීඩකයින් කිහිප දෙනකු මෙම තරගයට අවිනිශ්චිතව පැවතිණි. ඒ අතර කසුන් රාජිත, ළහිරු කුමාර වූ අතර දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි ව තිබිණි. මේ අතර අද තරගයේදී ඔහුගේත්, සුරංග ලක්මාල්ගේ සේවයත් ලබාගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා නායකයා විශ්වාසය පල කර තිබිණි. මේ අනුව ඔසඳ ප්‍රනාන්දු, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු අතරින් කීප දෙනෙකු අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

අද තරගය පැවැත්වෙන වොන්ඩර්ස් පිටිය ගැන කතා කරන විට මිට පෙර ශ්‍රී ලංකාව මෙහිදී ටෙස්ට් තරග දෙකකට සහභාගිවී තිබේ. ඒ 2002-03 හා 2016-17 තරග වාරවල වන අතර මෙම තරග දෙකේදී ම ප්‍රතිවාදී වේග පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය ලැබුවේ ඉනිමකිනි. තවද මේ දක්වා ඉනිම් හතරකදීම එහිදී මෙරට පිතිකරුවන් වෙතින් වාර්තා වී ඇත්තේ ද එකම අර්ධ ශතකයකි. ඒ 2016-17 තරග වාරයේ දී වත්මන් නායක දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු 50 පමණි. එමෙන්ම මෙම පිටියේ තවමත් ශ්‍රී ලංකාව එක් ටෙස්ට් ඉනිමක ලකුණු 200 ක් ලබා නොමැත. මේ අනුව සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී අද ඇරැඹෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ වැඩි පීඩනය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව වෙත එල්ල වීමට ඉඩ තිබේ.

 

අනිල් විරසිංහ

*****************

ධනාත්මකව ඉන්න උත්සාහ කරනවා

දිමුත් කරුණරත්න

සෙන්චූරියන් හි සුපර් ස්පෝර්ට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දින හතරක් ඇතුළත ඉනිමකින් සහ ලකුණු 45 කින් පරාජයට පත්වූවත් හැකිතාක් ධනාත්මකව සිටීමට තම කණ්ඩායම සෑමවිටම උත්සාහ කරන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණරත්න පවසයි. ‘අපි මේ තරගයේ මුල් ඉනිමේ හොඳ තැනක හිටියේ ලකුණු 400 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් පසුවයි. “අපි පිතිකරණ අංශයෙන් ඉතා හොඳින් මුල් ඉනිම ක්‍රීඩා කළ නමුත් අපට පන්දු යවන්නන් දෙදෙනෙකු අහිමි වුණා. ජොහැන්නස්බර්ග් තරගයට ඔවුන්ට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නෑ. ඒත් සුරංග ලක්මාල් ක්‍රීඩා කරනවා වගේම දුෂ්මන්ත් චමීර කණ්ඩායමට එක්වන්නට සූදානම්. අපට තවත් අවස්ථාවක් තියෙනවා. මම කණ්ඩායම එකට තබා ගැනීමට උත්සාහ කරනවා. අපි ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගත යුතුයි.’ ඔහු පැවසීය.

 

 

පළමු තරගයේ ජය විශිෂ්ට හැඟීමක් ඇති කළා

ක්වින්ටන් ඩි කොක්

නව දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් පැවසුවේ පසුගිය දෙසැම්බරයේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයෙන් පසු ලැබූ මෙම ජයග්‍රහණය වඩාත් හැඟීම් දනවන්නක් බවයි. ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ආරම්භයේදී දකුණු අප්‍රිකාවේ පන්දු යැවීම පිළිබඳ කලකිරීමට පත්වූ නමුත් ඉනිම අවසන් වන විට හොඳින් තරගයට අවතීර්ණ වී සිටි බව ඩි කොක් පැවසීය.

“විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීම සැමවිටම කණ්ඩායමේ ස්ථාවර ලකුණු ප්‍රමාණයකට යන්න බලපානවා. කඩුල්ලේ ලකුණු ලබා ගැනිමට විශාල පරිශ්‍රමයක් දැරිමට සිදුවු නමුත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලොකු පහරවල් කිහිපයක් ක්‍රීඩා කිරිම අනෙක් පිතිකරණ පෙළට වාසියක් වූ බව ද කොක් පවසයි.

ආදේශ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අයි.සී.සී.ය හා සාකච්ඡා කරනවා

මිකී ආතර්

සෙන්චූරියන්හි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු තරගය අතරතුර ආබාධයන්ට ලක්වීමත් සමඟ ක්‍රීඩක ආදේශයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. ‘ මම ICC ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙක්. මේ ගැන ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගයේදීත් වේගපන්දු යවන්නෙක් ආබාධයකට ලක් වෙනවා. නිරෝධයන නීති සමග කටයුතු කරද්දි ආබාධයන්ට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ලෝකය සාමාන්‍ය අතට පත් වුනාම මෙවැනි තත්වයන් උදා වෙන්නැති වෙයි. නමුත් මේ මොහොතේ පවතින ස්වභාවය අනුව බලද්දී ඒ ගැන සාකච්ඡාවට ලක්විය යුතුයි.

අපිට තරගය අවසන් කරන්න වෙලා තියෙන්නෙ ක්‍රීඩකයන් හය දෙනෙක්ගෙන්. දෙවියන්ට ස්තුති වෙන්න, අපි ක්‍රීඩකයන් 21ක් රැගෙන ආවා. එහෙම නොවුන නම් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට අංක 3 හා මට අංක 4 පිතිකරු වශයෙන් ඉදිරි තරගය ක්‍රීඩා කරන්න වෙනවා’ ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here