මත මැද ගැටෙන භික්ෂු දේශපාලනය

    0
    8

    උපතින් ම දේශපාලනික සත්ත්වයකු ලෙස ඇරිස්ටෝර්ටල් විසින් මිනිසා හඳුන්වන්නේ ඈත අතීතයේදීය. එහි සත්‍යතාව ජාති ආගම් හෝ වෙනත් භේදයකින් තොරව ම අපට පිළිගැනීමට සිදු ව තිබේ. නිර්දේශපාලනික සත්ත්වයකු ලෙස තමන් හඳුන්වා දෙන ඇතැමුන්ගේ එවැනි ප්‍රකාශ තුළ ද ඇත්තේ දේශපාලනයක්ය යන්න අප හැඟීම යි. කෙසේ වෙතත් භික්ෂුන්වහන්සේගේ දේශපාලන මැදිහත්වීම සම්බන්ධව සරල ව සාකච්ඡාවක නිරතවීම මෙහි අරමුණයි. ආගම නමැති සාධකය වුව ද දේශපාලනයෙන් වියුක්ත කිරීම සිදු කළ නොහැක්කකි. අතීතය ඊට සාක්ෂි සපයයි. අතීතයේ වලගම්බා, දුටුගැමුණු, පරාක්‍රමබාහු වැනි රජවරුන් පිළිබඳ සහ සාර්ථක රාජ්‍ය පාලනයන් පිළිබඳ සාකච්ඡවේදී බෞද්ධ භික්ෂුවගේ දේශපාලන මැදිහත්වීමේ සාර්ථකත්වය දැකගත හැකිය. බැමිණිතියා සාය සමයේ ජනතාව වෙනුවෙන් කෑම ඉතිරි කරන්නට සිතුල්පව්වේ සිටි රහතන් වහන්සේලා පිරිනිවන් පෑ බැව් කියවා ඇත්තෙමු. ඒ අතර බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැඟෙන 1818 කැරැල්ලට කුඩාපොළ හිමියන්ගේ දායකත්වය පිළිබඳ අසා ඇත්තෙමු. වාරියපොළ සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි වැනි භික්ෂුන්වහන්සේලාගේ ජාතික නිදහස වෙනුවෙන් කළ කැපවීම් පිළිබඳව ද අසා ඇත්තෙමු. උඩකැන්දවල සරණංකර හිමි, යක්කඩුවේ පඥාරාම හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, ගංගොඩවිල සෝම හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ගලබොඩඅත්තේ ඥානසාර හිමි, මහාචාර්ය දඹර අමිල හිමි, බද්දේගම සමිත හිමි, එල්ලාවල මේධානන්ද හිමි, අතුරලියේ රතන හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, කොටපොල අමරකිත්ති හිමි ආදී හිමිවරු ස්වකීය මැදිහත්වීම දේශපාලනික ව කැපී පෙනෙන ලෙස ලබා දුන්හ. දේශපාලනයේ මැදිහත්වීම මතම භික්ෂුවගේ බෙදීයාම් මෙන්ම කුලය වැනි බෞද්ධ දර්ශනය විසින් ප්‍රතික්ෂේප කරන සාධක ඔස්සේ සිදුවන බෙදීම් ද මෙරට දේශපාලනයේ වෙනස්වීම්වලට සෘජුව බලපෑවේය. බෞද්ධ අන්තවාදය පිළිබඳව ද සාකච්ඡාවක් මෑත කාලයේ ඇති වූයේ රොහින්ග්‍යා සරණාගතයන්ගේ ගැටලුව පිළිබඳ ලොවම කතා කරන්නට ගත් විටය. ඇතැම්විට ඥානසාර හිමිගේ මැදිහත්වීම ද එවැනි ම ඇසකින් දකින්නෝ බොහෝය. ලොව වර්තමානය ද ඊට ඇති තරම් නිදසුන් සපයමින් පවතී. ඒ තුළ භික්ෂුවගේ දේශපාලනික මැදිහත්වීම මිනිසා නමැති ප්‍රධාන කුලකයේ උප කුලකයක් වශයෙන් සලකද්දී කිසිසේත් ම සුළුවෙන් ද තැකිය නොහැකි ය.

    කෙසේ වෙතත් භික්ෂුන්වහන්සේ සමාජයේ වෙසෙමින් සමාජයේ යහපත උදෙසා ක්‍රියාත්මක වීම බුදු දහමෙන් අනුදත්තක් බැව් මහාචාර්ය කපිල අභයවංස සිය ලිපියකින් පෙන්වා දෙයි. ඔහුට අනුව “සමාජයේ යහපත සඳහා වන භික්ෂුවගේ සමාජ චර්යාවට අදාළ මඟපෙන්වීම් බුදුන්වහන්සේගේ ලෝකාර්ථ චර්යාව මඟින් ඉදිරිපත් වී තිබේ. සමාජයේ යහපත උදෙසා ක්‍රියා කිරීමේදී උන්වහන්සේ තුළ අරමුණු දෙකක් පැවතිණ. පළමුවැන්න වූයේ ජනතාවගේ අධ්‍යාත්මික ශාන්තිය උදෙසා මඟ පෙන්වාදීමයි. දෙවැන්න ජනතාවගේ ‍භෞතික සුබසිද්ධියට අදාළ ක්‍රියාමාර්ග පෙන්වාදීමයි.“ අනුසාසනී යන්න නොඑසේ නම් අනුශාසනා කිරීම බුදු දහමේ උන්නතියට භික්ෂුව සිදු කළ යුත්තක් ලෙස හඳුන්වයි.

    විශේෂයෙන්ම බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ම ප්‍රමුඛතාව හිමිකර දී තිබෙන රටක් වශයෙන් එහි අත්‍යවශ්‍යතාව මතු වේ. භික්ෂුව සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක් වන ‘පන්සලේ විප්ලවය‘ පෙර වදන තුළින් ප්‍රවීණ මාධ්‍යෙව්දී වික්ටර් අයිවන් මහතා මෙසේ පවසයි. “..ජනවාර්ගික අර්බූදයක් ලෙස පෙනෙන, රට මුහුණ දී තිබෙන මහා අවුල තුළ ආගම ද වැදගත් භූමිකාවක් රඟපායි. බුද්ධාගම මෙම අවුලට විසඳුම් දෙන ගැලවුම්කරුවකු නොවී මේ අවුලේ කොටස්කරුවකු බවට පත්ව සිටියි. එය බුද්ධාගමේ වරදක් නිසා ඇති වූවක් නොව, බුද්ධාගම සිංහල ජාතිය සමඟ අනන්‍ය වීම නිසා ඇති වී තිබෙන අවුලකි.’’

    දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945 පමණ වන විට ශ්‍රී ලංකාව තුළ වාමාංශික දේශපාලනයේ පිබිදීමක් තිබුණු කාලයක් විය. ලෝක ප්‍රවණතා ද යටත් විජිත ප්‍රතිපත්ති සහ නිදහස් සටන ද ඒ සඳහා බලපෑවේය. එක්තරා අන්දමක රැඩිකල්වාදී එළැඹුමක් වාමාංශික ව්‍යාපාරය තුළ ඇරැඹෙමින් පැවතුණි. උඩකැන්දවල සිරි සරණංකර හිමි වැනි භික්ෂු චරිත ඉදිරියට පැමිණියහ. ඉන්දීය ජාතික ව්‍යාපාරයේ බලපෑම, ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ විප්ලවීය සහ විමුක්ති අරගල ද මේ සඳහා දුරක සිට බලපෑම් කළේ ය. ඒ අනුව 1946 වර්ෂයේදී ‘ලංකා එක්සත් භික්ෂු මණ්ඩලය‘ පිහිටුවා ගන්නා ලද අතර, එහි ආරම්භක ලේකම්වරයා වූයේ උගතෙක් ලෙස මෙන් ම නිර්භය චරිතයක් ලෙස ප්‍රකට යක්කඩුවේ පඥාරාම හිමියන්ය. එම සංවිධානය පවත්වාගෙන ගිය ‘කාලය‘ පුවත්පතේ කර්තෘ වූයේ කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝය. ආචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් ලියූ මේ වන විට ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් වී ඇති ‘භික්ෂුවගේ උරුමය‘ ලිපිය ද යථෝක්ත මාතෘකාව පිළිබඳ කථා කළ, දැඩි ලෙස විවාදයට පාත්‍ර වූවකි. 1946 මහා වැඩවර්ජනයේ දී ඊට සහාය පළ කිරීමට එක් වූ 15 000කට අධික ජනතාව අතර භික්ෂූන්වහන්සේලා 200ක් පමණ සිට ඇති බැව් ‘ඩේලි නිවුස්‘ පුවත්පත වාර්තා කොට තිබුණි. 1947 සැප්තැම්බර් මස පැවති මහ මැතිවරණයේදී වාමාංශික පක්ෂවලට සහාය දෙමින් මැතිවරණ වේදිකාවල ජනප්‍රිය කථිකයන් බවට උඩකැන්දවෙල සිරි සරණංකර හිමි, ආචාර්ය වල්පොල රාහුල හිමි, නාත්තන්ඩියේ පඤ්ඤාසාර හිමි, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි හිමිවරු පත් වූහ. එමෙන් ම පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී හිමි, දරමිටිපොළ රතනසාරි හිමි, තල්පාවිල ශීලවංශ හිමි, බූස්සේ අමරවංශ හිමි, බටපොළ අනෝමදස්සි ආදී හිමිවරු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධ නොවන ධනපති දේශපාලනඥයන්ට විරුද්ධව කථා කළහ.

    1956 මහ මැතිවරණයට පෙර බෞද්ධ මහා සම්මේලනයේදී පත් වූ බෞද්ධ කටයුතු කොමිසමෙහි ප්‍රමුඛත්වය පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ට ලැබිණි. 1956 මහජන එක්සත් පෙරමුණට සහාය ලබා දෙමින් බෞද්ධ පුනරුදය ඉදිරියට ගෙන ඒමට හේන්පිටගෙදර ඥානසීහ, මාපිටිගම බුද්ධරක්ඛිත, යක්කඩුවේ පඥාරාම, බඹරැන්දේ සිරි සීවලී වැනි හිමිවරු පෙරට වැඩියහ. එතැන් පටන් මීටියාගොඩ ගුණරතන, දුම්බර පාලිත, යටිදැරියේ වජිරබුද්ධි, දැවමොට්ටාවේ අමරවංශ ඇතුළු ස්වාමීන්වහන්සේලා විවිධ දේශපාලන මතිමතාන්තර ද සමඟින් මෙරට දේශපාලනයට අවතීර්ණ වූ භික්ෂුන්වහන්සේලා බවට පත් වූහ. බණ්ඩාරනායක මහතාගේ සඝ,වෙද,ගුරු,ගෙවි කම්කරු නමැති පංචවිධ බලයේ ද ප්‍රධානත්වය ලැබුණේ භික්ෂුන්වහන්සේට ය. එමෙන් ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා වෙඩි තබා ඝාතනය කරනුයේ ද චීවරධාරියෙකු විසිනි. ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද වමේ දේශපාලනය කරමින් භික්ෂූන්වහන්සේලා සිය ගණනක් ජීවිත පරිත්‍යාග කළහ. අරන්තලා භික්ෂු ඝාතනය සිදුවන්නේ ද මේ සියලු කරුණු කාරණා අඩු වැඩි වශයෙන් බලපෑමෙන් බැව් විචාරක මතයයි. රට තුළ දැඩි බෞද්ධවාදී මතයක් ඇති කරමින් බහුතර සිංහල බෞද්ධ පදනම කවරාකාර දැ යි අප ඉතා පැහැදිලිව දුටු මැතිවරණය පසුගිය ජනාධිපතිවරණයයි. මහමැතිවරණයට ද එය එසේ ම බලපෑවේය. කෙසේ වෙතත් සිහළ උරුමයත් පසුව හෙළ උරුමයත් මෙරට බෞද්ධ පදනමක් සහිත දේශපාලන පක්ෂයක් ලෙස භික්ෂු සහභාගිත්වය දේශපාලනයේ ලා වඩා වර්ධනය කළේ ය. එහි කූටප්‍රාප්තිය 2004 අප්‍රේල් මහ මැතිවරණයයි. හෙළ උරුමය පක්ෂයෙන් මහනුවර, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරමින් සහ ජාතික ලැයිස්තුවෙන් භික්ෂුන්වහන්සේලා 09දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. උඩුවේ ධම්මාලෝක, කොටපොළ අමරකිත්ති, කතලුවේ රතනසීහ, කොළොන්නාවේ සිරි සුමංගල, අපරැක්කේ පුඤ්ඤානන්ද, අතුරලියේ රතන, උඩවත්තේ නන්ද, එල්ලාවල මේධානන්ද, ඕමල්පේ සෝභිත යන ස්වාමීන්වහන්සේලා එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුව ද කැපී පෙනෙන වෙනස්කම් ඒ තුළ සිදු කරන්නට උන්වහන්සෙලොට අවස්ථාවක් නොලැබුණි. ප්‍රාදේශීය සභාවන්හි මන්ත්‍රී හිමිවරුන් ද රටේ අද බොහෝ සිටිති. බත්තරමුල්ලේ සීලරතන හිමි කීප අවස්ථාවකම ජනපතිවරණයට ඉදිරිපත් වූහ. බෞද්ධ භික්ෂුන්වහන්සේගේ සුවිසල් දේශපාලන මැදිහත්වීමක් මේ වන විට මෙරට දේශපාලන ධාරාව තුළ දකින්නට ලැබෙන බැව් නොකිව මනාය.

    භික්ෂුන්වහන්සේට දේශපාලයේ නියුතු වීමට එරෙහිව ඇතැම් අවස්ථාවල පනත් කෙටුම්පත් ගෙන ආව ද ඒවා පරාජයට පත් විය. භික්ෂුවගේ කාර්ය භාරය දේශපාලනයේ නියුතු වීම ද නොවීම ද යන්න සහ එය ආගමික වශයෙන් කොතරම් යෝග්‍ය ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවකි. එය ආගමික දෘෂ්ටියෙන් වෙන ම ද සමාජ වගකීම නමැති දෘෂ්ටියෙන් වෙනම ද මිනිසා දේශපාලන සත්ත්වයෙකි යන පදනමේ සිට වෙන ම ද සාකච්ඡාවට බඳුන් කළ හැකි ය. ඒ කෙසේ වෙතත් ‘භික්ෂුන්වහන්සේ‘ යනු මෙරට දේශපාලනය උඩු යටිකුරු කරන්නට බලය සහ ශක්තිය ඇති පිරිසක් බැව් නොකිව මනාය. ආගමික වටපිටාව තුළ ඔවුන් ගොඩනඟාගෙන තිබෙන සිවිල් බලයට අභියෝග කිරීමට ඕනෑම ආණ්ඩුවකට හෝ පක්ෂයකට නම් කිසිසේත් පහසු නැත. නමුත් සත්‍ය කරුණ නම් ඍජු පක්ෂ දේශපාලනයේ නියැළීම තුළ උන්වහන්සේලාගේන් යම් මෙහෙයක් ඉටු වුණා නම් ඊට වඩා සිය දහස් ගුණයක මෙහෙයක් ‘අනුශාසනා‘ නමැති භූමිකාවෙන් සමාජය, ජනතාව සහ රට වෙනුවෙන් ඉටු වී ඇති බව ය.

     ගයාන් පීරිස්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here