මාතර දේශපාලනයේ කාන්තා චරිත

    0
    8

    මාතර දිස්ත්‍රික්කයේ බහුතරයක් සිටින්නේ කාන්තාවන්ය. නමුත් අතීතයේ සිට පාර්ලිමේන්තු නියෝජනයට වාසනාව හිමිකර ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනකු පමණි .

    මහ නගර සභාවලත්, නගර සභාවල හා ප්‍රාදේශීය සභාවලත් සිටින ජනතා නියෝජිතයින්ගෙන් ඉතා වැඩි කොටසක් ගැහැනුන් නොව පිරිමින්ය.

    සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැමට එක හා සමාන අයිතියක් තිබිය යුතුය. නමුත් එවැන්නක් මාතරදී දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.අද ව්‍යවස්ථාදායකයේත් පළාත් ආණ්ඩුවලත්, නාගරික ආණ්ඩුවල හා ප්‍රාදේශීය ආණ්ඩුවලත් කාන්තා නියෝජනය පහත් මට්මක පවතී. ලංකාවේ දේශපාලන ක්‍ෂ්ත්‍රයේ කාන්තාවන්ට තැනක් ලැබුණේ දශක පහකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත් වී ගිනස් වාර්තාවකුත් පිහිටුවීමෙන් පසුවය. ලංකාවේ ප්‍රථම විපක්‍ෂ නායිකාව වූයේ ද ඇයයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මැති සබයට එන්නට වරම් ලැබුණේ 1931දී ලංකාවට ප්‍රධානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්ව ජන ඡන්ද බලය ලැබීම නිසාය. කාන්තාවන් තිදෙනෙක් තරග කළහ. 1931දී දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු විය. තේසුම් සරවනමුත්තු ද්‍රවිඩ වෛද්‍යවරියකි. ඇය කොළඹ කොට්ඨාසයට තේරී පත්වූවාය. ඇඩ්ලින් මොලමුරේ සිංහල වැඩවසම් රදළ පවුලකින් පැවැත එන්නියකි. ඈ සිය පියාගේ අභාවයෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයකින් ජය ගත්තාය.

    1947දී නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට කාන්තාවෝ තිදෙනෙක් තරඟ වැදුනහ. මැද කොළඹට අයේෂා රවුෆ් මහත්මියත්, කිරිඇල්ලට ප්ලෝරන්ස් සේනානායක මහත්මියත්, බලපිටියට ශ්‍රීමති අභයගුණවර්ධන මහත්මියත් තරග කළහ. එයින්ද තම ආසනය දිනා පාර්ලිමේන්තුවට ඒමට හැකි වූයේ ප්ලෝරන්ස් සේනානායක මැතිනියට පමණකි. එබැවින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම කාන්තාව වශයෙන් ප්ලෝරන්ස් සේනානායක මැතිනිය ඉතිහාසයට එක්වේ.

    1956 මැතිවරණයේදී මීරිගම අසුනට තරඟ කොට ජයගත් විමලා විජයවර්ධන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරිය වී ලංකාවේ ප්‍රථම ඇමැති වරිය වූවාය.

    වාමාංශික ව්‍යාපාරයේ උපත වශයෙන් සැලකෙන සූරියමල් ව්‍යාපාරයේ සභාපතිනිය වූ පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම විදේශීය කාන්තාව ඩොරින් වික්‍රමසිංහයි.පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල භාෂාවෙන් කතාවක් කළ මන්ත්‍රිනිය වූයේ කුසුමා ගුණවර්ධනයි. වමේ ව්‍යාපාරයේ පසු කලෙක ගිනි සිළුවක් බඳු වූ විවියන් ගුණවර්ධන ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැති සබය නියෝජනය කළ කාන්තා නායිකාවෝ වෙති.

    මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට කාන්තා වක් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1952 මහ මැතිවරණයෙන්ය.

    1952 දී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ අකුරැස්ස ආසනය තම බිරිඳ වූ ඩොරින්ට බාර දී ඔහු හක්මන ආසනයට තරග කළේය. හක්මනදී සී. ඒ. ධර්මපාලට ඡන්ද 3162 කින් ඔහු පරාජයට පත්විය. ඩොරින් වික්‍රමසිංහ එම මැතිවරණයේදී තම පුරුෂයාවූ දොස්තර වික්‍රමසිංහගේ කිට්ටුම ඥාතියෙකු සමග තරග කොට අකුරැස්ස ආසනයේ මන්ත්‍රීවරිය වශයෙන් පත්වුණේ වැඩි ඡන්ද 1001 කිනි. ඇය ඡන්ද 16,626 ක් ලබාගනිද්දී සරත් විජේසිංහ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15,625 කි.

    දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ පරාද වී ගෙදර ගියේය. ඔහුගේ බිරිඳ ඩොරින් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට ගියේය. වාමාංශික ව්‍යාපාරයේ උපත වශයෙන් සැලකෙන සූරියමල් ව්‍යාපාරයේ සභාපතිනිය වූ ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම විදේශීය කාන්තාවයි .

    ඇය 1907 පෙබරවාරි 15 වැනි දින බ්‍රිතාන්‍යයේ වේෂයර්හි වැස්ලි නුවරදී උපන් ඩොරින් විනිප්‍රිඩා යං 1929දී ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ඩී.එස්.සී. උපාධිය ලැබුවාය.

    ලන්ඩන්හි ශාලාවක ඉංග්‍රීසි නාට්‍යය රඟ පෑ ආසියානු තරුණයකු දෙසට සිත ඇදී බැඳී ගියේය. ඇය සුදු ජාතික ආර්ථික විද්‍යා සිසුවියක වූ ඩොරින් විනිප්‍රිඩා යංය. ඇගේ සිත් ගත් තරුණයා ලන්ඩන්හි සෙන්ට් බර්තොලමියුස් ආරෝග්‍යශාලාවේ අධ්‍යාපනය ලැබු ශ්‍රී ලංකාවේ සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහය. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයා විය. ඔහුගේ බිරිය ඩොරින් මෙරට වාමාංශික කඳවුරේ කාන්තා නියෝජනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළාය.

    මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව පරම විඥාර්ථ බෞද්ධ සංගමය ලංකාවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල් ඇරඹීය. මාතර සුජාතා බාලිකාව 1930දී එසේ බිහි වූවකි. බුදු දහම පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනුමැති උපාධිධාරිනියක් එහි විදුහල්පති කර ගැනීමට අදහස් කෙරිණ. එකල

    පරම විඥාර්ථ බෞද්ධ සංගමයේ ලේකම් ධුරය දැරුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක මන්ත්‍රීවරයා වූ සුගීස්වර වික්‍රමසිංහය. ඔහු එතෙර සිටින යෙහෙළිය වන ඩොරින්ට මෙරටට එන ලෙස ඇරයුම් කළේය.

    1930දී විසිතුන් හැවිරිදි ඩොරින් යං මෙනවිය මෙරටට පැමිණ මාතර සුජාතාවේ ප්‍රථම විදුහල්පතිනිය ලෙස වැඩ බාර ගත්තාය.

    1933 අප්‍රේල් 26 වැනිදා ඇය දොස්තර වික්‍රමසිංහ හා විවාහ වූවාය. 1934 – 35 සමයේ මෙරට පැතිරුණු මැලේරියාව වසංගත සමයේ සැමියා හා සමාජවාදී නායකයන් සමග ජනතාවට පිහිට වූ ඇය සූරියමල් ව්‍යාපාරයට ඇප කැප වී ක්‍රියා කළාය. ඇය එහි සභාපතිනිය වූවාය.ඒ වන විට ඩොරින් කොළඹ ආනන්ද බාලිකාවේ විදුහල්පතිනිය තනතුර දැරූ අතර, එම ව්‍යාපාරයේ මූලස්ථානය වූයේ ඇගේ පාසල් නිල නිවෙසයි.

    1935දී මෙරට බිහි වූ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය වූ සම සමාජය ඇගේ හා වික්‍රමසිංහයන්ගේ කටයුතුවලට රුකුලක් විය.. ඇගේ සමාජශීලි ක්‍රියාකාරිත්වය නොඉවසූ ඇතමෙක් ඇය

    මහනුවර මහාමායා බාලිකාවට මාරු කර හරිනු ලැබුවාය.

    සැමියා වෛද්‍ය වෘත්තිය හා දේශපාලනය සමබරව කරද්දී බිරිඳ මෙරට සාරියකින් සැරසී පාවහන් නොපැලඳ මෙහෙකරුවන්ට ඉඩක් නොදී ගෙදර දොර වැඩ කටයුතු කළාය.

    දොස්තර වික්‍රමසිංහගේ මාතර බෙහෙත් ශාලාවට බෙහෙත් පවා ගෙන ගොස් දුන්නේ ඇයය.

    සැමියාගේ ශාස්ත්‍රීය ලිපි සහ කතාවලට අගනා සහයක් දුන් ඇය කතාවලට කරුණු සොයා දුන්නාය.

    1941දී න්‍යායාත්මක අර්බුදයක් නිසා දොස්තර වික්‍රමසිංහට සමසමාජ සාමාජිකත්වය අහිමි විය. 1941දී සෝල්බරි ව්‍යවස්ථාව විවේචනය කර ලියූ ලිපියක් නිසා දොස්තර වික්‍රමසිංහ සිර භාරයට පත්විය. වසරක සිරිබත් කෑමට සිදුවීම හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය වසර 07කට අත්හිටුවන ලදී. එබැවින් එම වසරේ අකුරැස්ස අසුනට තරග කිරීමේ වරම ඔහුට අහිමි විය.

    ඩොරින්ට ද දේශපාලනයට මුල් තැන දීම නිසා ආනන්ද බාලිකාවේ ඇය දැරු විදුහල්පති ධුරය මෙන්ම නිල නිවස ද අහිමි කළේය.. එවිට ඇය සැමියාට සහය දෙමින් පූර්ණ කාලීන දේශපාලනයට එක් විය…

    1952දී පැවැති මහ මැතිවරණයට අකුරැස්ස අසුන තරග කිරීමට ඇයට ඇරයුම් ලැබිණ. ඩොරින් අකුරැස්ස ආසනයෙන් ඡන්ද 16,626 ක් ලබා විරුද්ධ පක්ෂ අපේක්ෂක සරත් විජේසිංහ පැරද වූයේ වැඩි ඡන්ද 1001 කින් අකුරැස්ස දිනලාය. ආසියාවේ පාර්ලිමේන්තු අසුනක් දිනු ප්‍රථම විදේශීය කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් විය.

    ඉන්පසු මාතර දිස්ත්‍රික්කයෙන් මැතිසබයේ කාන්තා නියෝජනයක් සිදුවන්නේ 1987 අගෝස්‌තු මස 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දෙනියාය මන්ත්‍රී මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රමගේ නැගණිය කීර්තිලතා අබේවික්‍රමමයි. අැය සිය සොයුරාගේ හදිසි වෙන්වීමත් සමඟ පත්කළ මන්ත්‍රීවරියක් ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් මැතිසබය නියෝජනය කිරිමට වරම් හිමි කර ගත්තාය.

    පාර්ලිමේන්තු බෝම්බයට දිවි පිදූ මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රමගේ හා මන්ත්‍රීනි කීර්තිලතා අබේවික්‍රමගේ පියා මොරවක

    ඉඩම් හිමි වැවිලිකරුවකු හා වියත් ලේඛකයෙකු ද වන කොටපොළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පඬිකාර මුහන්දිරම් පී. එෆ්. අබේවික්‍රමය.

    මොරවක්‌ කෝරළයේ “ශ්‍රාවනි” නිවස ජන්ම කරගත් ඔවුන්ගේ පියා පාලි සංකෘත සිංහල භාෂාවල හසල දැනුමෙන් යුතු පඬිරුවනක්‌ විය.

    ඉන්පසු මාතරින් මැති සබය නියෝජනය කිරිමට වරම් ලැබූ කාන්තාව වූයේ මල්ලිකා ද මෙල්ය. 2000 ඔක්තෝබර් 10 දින පවත්වන ලද මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග වැදුණු ඇය මනාප 60531 ලබා මන්ත්‍රීවරියක වූවාය. 1932 ජනවාරි 17 දින උපත ලද ඇය 2000-2004 අතර කාලයේ මන්ත්‍රීවරියක ලෙස මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළාය.

    මල්ලිකා මෙල්ගේ මවුපියන් වූයේ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු සහ අයිරින් ප්‍රනාන්දු යි. ඇගේ පියා ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු ඔහුගේ කාලයේ සිටි ධනවත්ම ව්‍යාපාරිකයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    ඇගේ සැමියා රොනී ද මෙල් 1967 දෙවිනුවර අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියේජනය කරමින් තරග කොට ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. ඇය 2009 ඔක්තෝබර් 1 දින අභාවප්‍රාප්ත වූ අතර, ඉන් පසු එතෙක් මෙතෙක් මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරියක් පත් නොවූ අතර, මාතර පමණක් නොව මුළු දිවයිනම සලකා බැලූව ද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයන් පත්ව ඇත්තේ අතේ ඇඟිලි ගණනට මදක් වැඩි ප්‍රමාණයක් පමණි.

     

     

     නන්දික බැද්දේගම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here