රුපියල් 3000ට ගාමිණීගෙන් කනේ පහරක්

    0
    11

    කොමල ලියා බොළඳ ලියා 
     මාව දමා යන්න ගියා 
    සියුමැලියා සිකුරුලියා…

    මේ මීට වසර 44කට පමණ පෙර තිරගත වූ ලංකාවේ දෙවැනි සිනමාස්කෝප් චිත්‍රපටය වූ සිකුරුලියා චිත්‍රපටයේ ගීතයකි. හරියටම කියනවා නම් එය තිරගත වූයේ 1975  සැප්තැම්බර් 27 වැනිදාය.  චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ එහි රංගනයෙන් සම්බන්ධ වූ ප්‍රධාන නළුවා නිසාය. ඔහු නමින් බන්දුල ගලගෙදරය. ඒ සඳහා රංගනයෙන් සම්බන්ධ වූ අනෙකුත් නළු නිළියන් වූයේ එවකට ජනප්‍රියත්වයේ සිටි ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, සුවිනීතා කෝන්ගහගේ යන අයයි. සුවිනීතා  සම්බන්ධයෙන් බන්දුල  වරක් ප්‍රකාශ කර සිටියේ ඇය ඉතාමත් නිහතමානී කාන්තාවක් බවත් ඔහුගේ  අඩුපාඩු පෙන්වා දෙමින් රංගනයට තවත් උනන්දු කළ බවත්ය. සිකුරුලියා චිත්‍රපටයේ විස්තරය ගැන කතා කරනා මොහොතක බන්දුල මෙසේ සඳහන් කර තිබිණි. එය අපූරු කතා පුවතකි.

    “මගේ කලා ජීවිතය ආරම්භ වුණේ පාසල් කාලයේදීමයි. මම කාලගෝල නාට්‍යයේ  කාලගෝල චරිතය නිරූපණය කළා. මාව හොඳම නළුවා ලෙසින් තෝරා සම්මාන ද ලැබුණා. මම කැලණිය ධර්මාලෝකයේ ඉගෙන ගන්නා කාලයේ ඒ සිදුවීම වුණේ. අද ප්‍රකට ගායකයෙක් වී සිටින සුනිල් එදිරිසිංහ මගේ බංකුවේ එක් කෙළවරක වාඩිවී සිටියේ. මම ඉපදුනේ කැලණියේ හිඹුටුවැල්ගොඩ. එදා මං ඉදිරිපිටදීම එහි ගුරුවරයෙක් සුනිල්ට කීවා ඔයා කවදා හරි දක්ෂ ගායකයෙක් වෙනවා කියා. මම රඟපාලා සම්මානත් ලබා සිටි නළුවෙක්. ඒත් මට කීවේ නැහැ “බන්දුල ඔබ නළුවෙක් වෙයි.” කියලා. මට නිකන් හිතට දුකක් ආවා. හොඳයි ගුරුතුමනි, මම කවදාහරි නළුවෙක් වෙනවා කියලා මම හිතා ගත්තා. ඒ එක්කම මගේ හිතට ආවා බන්දුල ඔබ මිට්ටෙක්නේ කොහොමද නළුවෙක් වෙන්නේ කියලා. ආයෙත් මෙහෙම හිතුනා. කාලගෝල මිටි මිනිහෙක්නෙ කවුරු හෝ කාලගෝල චරිතයෙන් චිත්‍රපටයක් කළොත් මට හරියාවි ඒ චරිතය කියලා.”

    හෙළ සිනමාවේ නොමැකෙන තරු -හෙන්රි ප්‍රියශාන්ත මැන්දිස්

    කාලය මිනිසුන්ට අභියෝග කරන්නේ ඉඳහිටය. එය යහපතට මෙන්ම අයහපතට ද විය හැක. නමුත් කාලය විසින් බන්දුලට ගෙන දෙනු ලැබුවේ අපූරු වරමකි. ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ මැද මාවතේ සිනමාකරුවා ලෙසින් විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවේ එච්.ඩී. ප්‍රේමරත්නය. හැත්තෑව දශකයේදී එච්.ඩී. ප්‍රේමරත්නයන්ට නව ආරක සිනමා පටයක් නිපදවීමේ අවශ්‍යතාවයක් තිබිණි. ඒ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෝරා ගත්තේ වෙනමම කතා නායකයකු සහිත  චරිතයකි. ඒ කාලගෝල චරිතයයි. දිනක් බන්දුල ගලගෙදරව හමු වූ එච්.ඩී. ප්‍රේමරත්නයන් පවසා ඇත්තේ “මම බන්දුලව සිනමා නළුවෙක් කරනවා.” යන්නයි. ඉන්පසු එච්.ඩී. ප්‍රේමරත්න බන්දුලව චිත්‍රපට රූගත කරන ස්ථාන කිහිපයකටම රැගෙන ගිය අතර අනතුරුව ඔහු අත තැබුවේ චිත්‍රපට තිර පිටපතකි. තිර පිටපත කියවා බැලූ බන්දුල ගලගෙදර ඉන්පසු ආරූඪ වූයේ ජොනී බාලසූරියටය. ඒ සිකුරුලියා චිත්‍රපටයේ ආරම්භයයි. එච්.ඩී. ප්‍රේමරත්නයන් හරහා  කාලය බන්දුලට  ගෙනදුන් වරම වූයේ සිකුරුලියා චිත්‍රපටයයි. එච්.ඩී. ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිකුරුලියා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බන්දුල ගලගෙදර චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් සමඟින් සියලු දෙනා කතා බහ කරන චරිතයක් වන්නට විය.

    පසුකාලීනව ඔහු පවසා තිබූ පරිදි සිකුරුලියා චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ලැබී තිබුණේ රුපියල් 3,000ක මුදලකි. සිකුරුලියා චිත්‍රපටය තිරගත වීමෙන් පසු දිනක ගාමිණී ෆොන්සේකා බන්දුලට පණිවුඩයක් යවා ඇත්තේ ඔහු හමු වන ලෙසටයි. මුලින්ම චිත්‍රපටයේ රංගනය සම්බන්ධයෙන් ගාමිණී විසින් ඔහුට ප්‍රශංසා කරන ලද  අතර ඉන් පසු බන්දුලට ගාමිණීගෙන් ලැබුණේ හොඳවයින් කම්මුල් පහරකි.

    “ඔබේ රඟපෑම නම් ඉතා ඉහළ තමයි. ඒත් ඇයි අර රුපියල් 3,000කට  රඟපෑවේ?”

    ඒ ගාමිණීගේ කම්මුල් පහරේ රහසයි.

    “බන්දුල උඹට මම හැදෙන්න ඒ පහර ගැහැව්වෙ. උඹ හොඳ නළුවෙක් ඒක ආරක්ෂා කර ගනින්. මින් පස්සෙවත් හොඳට අය කරපන්.”

    කම්මුල් පහරෙන් අනතුරුව ගාමිණීගෙන් බන්දුලට ලැබුණේ එවන් උපදෙසකි. කෙසේ වෙතත්  සිකුරුලියා චිත්‍රපටියෙන් පසුව ඔහු චිත්‍රපට කිහිපයකම චරිත රඟ දැක්වීය. මරුවා සමඟ වාසේ, සීතා දේවි, සසරක පැතුම, ලොකු තාත්තා, මවුන්ටන් ඉන් ද ජන්ගල්, කැකිල්ලේ රජ්ජුරුවෝ,  කෝ හතුරෝ,  රිදී තැල්ල එවන් චිත්‍රපට කිහිපයකි. බන්දුල රඟපෑ චිත්‍රපට අතුරින් ඔහු අවසන් වරට පෙනී සිටියේ රාස්ස කැලේ චිත්‍රපටයටයි.බස්නායක

    සාරංග ලක්මාල් සමරනායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here