විධායක ලේකම් වෙන්නෙ මම ද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද දන්නෙ නෑ

0
12
2 ජනවාරි, 2021

Anura de Silva

මේක පාපන්දුවේ හුළං බැස්මක් ම කියන්න බෑ

එදා මට ගස්සවපු කෙනා අද විඳවනවා

ලෝක පාපන්දුවේ පිටුපසින් පස්වැනියා ශ්‍රී ලංකාව ය. එම ස්ථානයට පත්වන්නට පොඩි දරුවන්ගේ කමිටුවක් තිබුණ ද අපහසුවක් නැත. එහෙත් ලක්ෂ ගණන් පඩි ලබන ප්‍රධාන විධායක නිලධාරියෙක්, විවිධ වරදාන භුක්ති විඳින පාලක පන්තියක් කොළඹ රීඩ් මාවතේ පාපන්දු නිවහනේ විරාජමානව සිටිති. එහි ප්‍රධානියා අනුර ද සිල්වා ය. අලුත් අවුරුද්දේ නත්තල් සැමරුමෙන් ඉනික්බිතිව ඔහු අප මුණගැසුණේ කොළඹ සුගතදාස හෝටලයේ දීය. ඒ පාපන්දුවේ හුළං බැසීම ගැන සෘජුව සාකච්ඡා කිරීමට ය.

පාපන්දුවේ හුළං බැහැලා. දැන් වැටෙන්න තැනක් නෑ. ඔබ පාපන්දු සභාපති වශයෙන් මොකද මේ ගැන කියන්නෙ?

පාපන්දුවේ ඇද වැටීමක් තිබෙනවා. නමුත් ජාතික තලයට අවශ්‍ය පාපන්දු ක්‍රීඩකයන් පාසල් තුළින් බිහි නොවීම තමයි ඊට හේතුවෙලා තිබෙන්නෙ. ඒ වගේම අපේ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් තරම් තරග ලැබෙන්නෙ නෑ. අන්තර්ජාතික තරග අඩු වෙන කොට අපි ශ්‍රේණිගත කිරීම්වල පහළට යනවා. ඒකත් අපේ ක්‍රීඩාවේ අවනතියක් ඇතැයි කියන්න හේතුවක්. අපි ඒ දේවල් නැතිකරගන්න අවශ්‍ය වැඩසටහන තමයි සකස් කරමින් ක්‍රියාවට නංවන්නේ.

රටේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ වගකීම තිබෙන්නෙ සම්මේලනයට. ඒත් දැන් පාසලට ක්‍රීඩකයන් හදන්නේ නෑ කියලා චෝදනා කරන්නේ චෝදනාවලින් ගැලවෙන්න නේද?

නෑ. ක්‍රීඩාවේ තිඹිරිගෙය වශයෙන් අප පිළිගත යුත්තේ පාසලයි. පාසලෙන් ක්‍රීඩකයන් නිර්මාණය වෙන්නේ නැත්නම් ජාතික තලයේදී එකවර ක්‍රීඩකයන් ගොඩනගන්න අසීරුයි. ජයග්‍රාහී පාපන්දු කණ්ඩායමක් හදන්න දක්ෂ, යොවුන් ක්‍රීඩකයන් පාසල තුළින් පැමිණිය යුතුයි. එසේ පැමිණෙනවා නම් තමයි අපේ ගමන වඩාත් ශක්තිමත් වෙන්නේ. කොහොම නමුත් අපිට අපේ පරිපාලනය ශක්තිමත් හා ස්ථාවර කරගැනීමට අවශ්‍ය වෙනවා.

ඔබ කියන්නේ පාපන්දු සම්මේලනයට ස්ථාවර පරිපාලනයක් නෑ කියන එක ද?

සාමාන්‍යයෙන් පාපන්දු සම්මේලනය හා පාපන්දු ක්‍රීඩකයා දක්වා සියල්ල ගොඩනැගී ඇත්තේ පිරමීඩයක් වගෙයි. මේ පිරමීඩය ගරා වැටුණොත් ක්‍රීඩාව කඩා වැටෙනවා. දැනට අපිට අපේ පරිපාලනය ඒ කියන්නේ පාපන්දු සම්මේලනයේ පාදම හරියට හදාගන්න බැරිවෙලා තිබෙනවා. ඒක තවමත් සෙලෙවෙනවා. ඒක නිවැරැදි කරගත යුතුයි. අපි ඒ වෙනුවෙන් තවමත් වෙහෙසෙනවා.

ඒකද සම්මේලනයට තවම දක්ෂ පාපන්දු කණ්ඩායමක් හදාගන්න බැරිවෙලා තිබෙන්නෙ?

ඔව්. ඒකත් එක්තරා හේතුවක්. ඒ වගේම එතැන දී ප්‍රශ්නාවලියකටම පිළිතුරු සම්පාදනය කරන්න අපට සිද්ධ වෙනවා. එකක් තමයි නිසි පරිදි ඉහළ තාක්ෂණික උපදෙස් සහිතව අපේ ක්‍රීඩකයන්ට පුහුණුව ලබාදීමට හැකිවිය යුතුයි. හැකිතාක් අන්තර්ජාතික තරග අත්දැකීම් ලබාදීම වැදගත්. ඒ වගේම අපේ ක්‍රීඩකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නත් අවශ්‍ය වැඩකටයුතු ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.

දැන් ඔය එකක්වත් වත්මන් පාපන්දු සම්මේලනය තුළ සිද්ධ වෙනවා කියලා ඔබ කියනවා ද?

ඔව්. අපි සම්මේලනය වශයෙන් මේ දේවල් කරන්න තමයි උත්සාහ ගන්නෙ. මම හිටපු පාපන්දු ක්‍රීඩකයෙක්. බොරුවට පාපන්දු ගහපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම තනතුරු ගන්න හිතාගෙන වයසට ගිහින් පාපන්දු ගහපු කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා ක්‍රීඩකයාගේ ජීවන හුස්ම ගැන මම හොඳට දන්නවා. ඔවුන්ගේ වෙහෙස ගැන, දහදිය සුවඳ ගැන මට අවබෝධයක් තිබෙනවා. මේ වනවිට අපි අපේ ක්‍රීඩකයන්ට විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබාදෙන්නේ ඒ පදනම මත සිටයි. ඒ වගේම කොවිඩ් වසංගතයට පෙර අපි අපේ ක්‍රීඩකයන්ට හැකිතාක් අන්තර්ජාතික අත්දැකීම් දෙන්න උත්සුක වුණා.

එතකොට ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩනගන්න මොනවද කරමින් සිටින්නේ? ඔවුන්ගෙන් බහුතරයක් තවමත් කුලී රථ පදවනවා. එහෙම නැත්නම් සමුගත්තාට පසු මැනිං මාර්කට් එකේ මුට්ට කරගහනවා?

ඒ තත්ත්වය වෙනස් කරන්න සිදුකළ හැකි බොහෝ දේ කරන්න අපි සැලසුම් දියත් කරනවා. එකපාරටම මේ තත්ත්වය වෙනස් කරන්න බෑ. යහපත් මට්ටමකට, සාධනීය තලයකට ක්‍රීඩාව රැගෙන ආ විට අපට ඒ ගැටලුවටත් පිළිතුරු සොයාගත හැකියි. හැබැයි මේ වෙද්දී අපිට තිබෙන මුදල්වලට අනුව ක්‍රීඩකයන්ට ලබාදිය හැකි උපරිම දේ ලබාදෙන්න සම්මේලනයක් වශයෙන් කටයුතු කර තිබෙනවා. එහෙම කියලා අපිට ලැබෙන සියලු මුදල් ක්‍රීඩකයන්ගේ ගිණුම්වලට දාන්න විදිහක් නෑ. අපි ක්‍රීඩාවේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. එවිට තමයි මේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න හැකිවෙන්නේ.

ඔබ යටිතල පහසුකම් ගැන කතා කළාට පාපන්දු සම්මේලනය ඇතුළේ මූල්‍ය වංචාවන් සිදුවන බවට දිගින් දිගටම චෝදනා තිබෙනවා. ඉස්සරත් ඔය වගේ චෝදනා ආවා නේද?

එය අසත්‍ය බව බොහෝම පැහැදිලිව කියන්න අවශ්‍යයි. මොකද අපිට දෙන හැම ඩොලර් එකක්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වගේම අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පෞද්ගලිකවම විගණනය කරනවා. අනෙක ඔවුන් දෙන මුදල් ඔවුන් දෙන යටිතල පහසුකම් නගාලීමේ වැඩසටහන්වලට හැර වෙනත් දේවල් වලට වියපැහැදම් කරන්න අපිට බැහැ. ඒ නිසා මූල්‍ය වංචා ගැන කියන කතා අමූලික බොරු.

ඒ වුණාට සාවද්‍ය මුදල් පරිහරණය විශාල වරදක් නේද? පසුගිය කාලයේ ඔබේ කමිටුවේ ඇතමුන් මේ විදිහට සාවද්‍ය මුදල් පරිහරණය කළා කියලා චෝදනා තිබෙනවා?

මොකක්ද ඒ සාවද්‍ය මුදල් පරිහරණ කතාව.

උදාහරණයකට යම් යම් ව්‍යාපෘති පටන්ගන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුදල් අරගෙන ඒ ව්‍යාපෘති සිදුනොකර මාස කිපයකින් පස්සේ යළි අදාළ මුදල සම්මේලනයට ලැබෙන්න සලස්වපු අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ මුදල් සොරාගෙන නෑ.

නමුත් අර කාලසිමාව තුළ මුදල රෝල් කරලා ව්‍යාපාර කරලා තිබෙනවා කියන එකයි කියැවෙන්නෙ?

එවැනි චෝදනාවන් ඇතිනම් ඒ ගැන අපට පරික්ෂා කළ හැකියි. කොහොම නමුත් මම දන්නා පරිදි අපේ සම්මේලනය ඇතුළේ මුදල් සොරාගන්න අවශ්‍ය පසුබිමක් කිසිසේත්ම ඇත්තේ නෑ. අතිතයේ එහෙම දේවල් සිදුවුණා කියලා නම් කියවුණා.

අතිතයේ වුණු වැරදිවලටත් ඔබගේ කමිටුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් නෑනෙ. දැන් ඔබගේ කමිටුවත් හොරු සමඟ හෙලුවෙන් නේද ඉන්නෙ?

නෑ. අපි මේ වුණා කියන මූල්‍ය අපරාධ ගැන පොලීසියට පැමිණිලි කළා. ඒ අනුව ඔවුන් පරීක්ෂණයක් සිදුකරනවා. ඒ පරීක්ෂණයට උඩින් ගිහින් කිසිවක් කරන්න අපිට නොහැකියි. මොකද එය අධිකරණ කටයුත්තක් දක්වා දැන් වර්ධනය වී ඇති නිසා.

එහෙම නැතිව පාලක පැලැන්තිය කියන්නේ ඔබේම පන්තිය නියෝජනය කරන කණ්ඩායමක් නිසා හිටපු පාලකයන්ව බේරාගන්න හදනවා එහෙම නොවෙයි නේද?

නෑ. මම කවදාවත් සොරකම් කළ අයට සමාව දෙන්න කියලා කියන්නේ නෑ. දැන් ඒ ගැන සාක්ෂි තිබෙනවා. හිටපු මූල්‍ය ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරලා ඉදිරියේදී නීතිය මගින් සියලු තීරණ ලබාගනීවි. අපිට තිබෙන්නේ එතකන් නිහඬව බලාගෙන ඉන්න. ඊට පස්සේ ගන්න තීරණයක් කමිටුව ඇතුළේ දී ලබාගන්න පිළිවන්.

එළියේ ඉන්න අයට පේන්නේ හොකී පිත්තේ තඩිබෑම නිසා ඔබ බියවෙලා තීන්දු තීරණ නොගෙන අහක බලාගෙන ඉන්නවා කියලයි?

අනේ නෑ. මම හොකී පිති ප්‍රහාරයෙන් බියට පත්වෙලා නෑ. මැරෙන්න තියෙනවා නම් හොකී පිත්තෙන් විතරක් නෙවෙයි ම‍යියොක්කා පොල්ලෙනුත් ගුටිකාලා මැරෙන්න පුළුවන්. ඒ වගේම මැරෙන වෙලාව ආවහම ඒක වළක්වන්න බැහැ කියලා මම දන්නවා. ඒක සාමාන්‍යයෙන් හදවත නතර වෙලා සිදුවෙන්නත් හැකියි. ඒවගේ දැක්මක් ඇති මම හොකී පිති පහරකින් නතරවෙන්නේ නෑ. සත්‍ය පාර්ශ්වයේ මම හිටගන්නවා. එකේ සැකයක් නෑ. හැබැයි මට හොකී පිත්තෙන් ගැහුවේ කවුද කියලා දැන් මම දන්නවා. ඒ පුද්ගලයාට දැන් හොකී පිති පහරට අවශ්‍ය දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දීලා තිබෙන්නෙ. බලාගෙන ඉන්නකො ඉදිරියේදී ඒක තවත් පැහැදිලි වෙයි.

විදේශීය පාපන්දු පුහුණුකරුවකු ශ්‍රී ලංකා ජාතික පිලේ සේවයට කැඳවලා තිබෙනවා. ඒ පුහුණුකරුවාට ගෙවන හැම ශතයක්ම වතුරේ යන බවට ඇති මතය ගැන සභාපතිවරයා වශයෙන් ඔබේ පිළිතුර කුමක් ද?

ඒක වැරදි කතාවක්. කොවිඩ් වසංගතය එන්න පෙර මේ පුහුණුකරුවා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් අත්සන් කළා. ඔහු ලංකාවට ආවට පස්සේ අපි ජනාධිපති තුසලාන පාපන්දු තරගාවලියක් තිබ්බේ ජාතික පිලට අවශ්‍ය ක්‍රීඩකයන් හඳුනා ගැනීමටයි. ඒ අනුව ඔහු ක්‍රීඩක සංචිතයක් තෝරාගෙන තිබෙනවා. ඒ ක්‍රීඩකයන් සමඟ පුහුණු කටයුතු ආරම්භ කිරීම යළි ඉදිරි සතියේදී බැද්දගාන ආශ්‍රිතව අපි ආරම්භ කරනවා. නමුත් මේ පුහුණුකරුවාට මුදල් ගෙවන්නේ ආසියානු පාපන්දු සම්මේලනය විසිනුයි. අපිට එහි බරක් ඇත්තේ නැහැ. යම් හෙයකින් අපි මේ පුහුණුකරුවා හරවලා යැව්වොත් සිද්ධ වෙන්නේ නව පුහුණුකරුවකු ගෙන්වා ගන්න යළිත් අයැදුම්පත් කැඳවන්නයි. එතකොට මේ පුහුණු සැලසුම් යළි අර්බූදයකට පත්වෙනවා. ඒ නිසා අපි මේ පුහුණුකරුට තාක්ෂණ අධ්‍යක්ෂ තනතුරත් ලබාදීලා තිබෙනවා. ඔහු තමයි ගිවිසුම් ගත වැටුපටම ඒ කටයුත්තත් සිදුකරන්නේ. එමගින් රටේ පාපන්දු දියුණු කරන්න ඔහු යටිතල පහසුකම් දියුණු කිරීමේ කර්තව්‍යයේදි තාක්ෂණානුකූලව සහාය දක්වනවා.

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විදේශයන්හි ජීවත්වන පාපන්දු ක්‍රීඩකයන් ජාතික පාපන්දු කණ්ඩායමට එක්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබුණා. දැන් එහි තත්ත්වය කොහොම ද?

ඒක හොඳින් සිදුවෙනවා. ඔවුන් යුරෝපයේ ප්‍රධාන වශයෙන් තරගකාරී පාපන්දු ක්‍රීඩාවේ නිරතවන වෘත්තීය ක්‍රීඩකයන්. ඉදිරි කාලය තුළ එම ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරාවි.

ඔය කතාව දැන් ගිය අවුරුද්දෙ මුල ඉඳලා කියන කතාවක් නේ ද?

නෑ. දැනටමත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එවැනි එක ක්‍රීඩකයකු ක්‍රීඩා කළා. ඉතිරි අයත් ඉදිරි කාලය තුළ එය සිදු කරාවි. මේ කොවිඩ් නිසා තමයි ඒ සියලු කටයුතු ප්‍රමාද වෙලා තිබෙන්නේ. නැත්නම් ද්විත්ව පුරවැසි භාවය ලබාගෙන, ජාතික හැඳුණුම්පත හදලා ඊට පස්සේ ගුවන් ගමන් බලපත්‍රය හදාගන්නවා. ඒක ඒ තරම් සංකීර්ණ නෑ.

වෘත්තීය ක්‍රීඩකයන් නම් ඔවුන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරද්දී මුදල් ගෙවන්න සිදුවෙයි නේ ද?

නෑ. එහෙම නෑ.

එහෙම නැතිවෙන්න කොහොම ද? ඔවුන් වෘත්තීය ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරලා ලබාගන්නා ප්‍රතිලාභ මොනවා ද?

ඔවුන්ට යුරෝපයේ ඒ ඒ රටවල් නියෝජනය කරන්න තරම් අවකාශයක් උදාකර ගන්න තවමත් අසීරුයි. මොකද ඒ රටවල ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා කියන එක ලෙහෙසි කාර්යයක් නොවන නිසා. ඒත් යම් ක්‍රීඩකයෙක් අන්තර්ජාතික පාපන්දු තරග වලට ක්‍රිඩා කරන්න සමත් වෙන එක ඔහුගේ ක්‍රීඩා ජීවිතය පැත්තෙන් අතිශය වැදගත්. ඒක තමයි ඔවුන්ට අපෙන් ලැබෙන වාසිය.

ඒ කියන්නේ මේක ගනුදෙනුවක්?

ගනුදෙනුවක් නොවෙයි. ඒක තමයි ලෝකය තුළ සිදුවන්නේ. කාලයක් තිස්සේ අපි ක්‍රියාවට නැංවූයේ නැති වුණත් ලෝකයේ සෙසු රටවල් ඒ දේ කරනවා. අපේ අසල්වැසි රටවලුත් ඒ දේම සිද්ධ කරනවා.

දේශීය සම්භවයක් සහිත විදේශීය ක්‍රීඩකයන් ක්‍රීඩා කළා කියලා අපේ ක්‍රීඩකයන්ට ලැබෙන ප්‍රතිලාභයක් නැති වෙයි නේද?

ඇයි නැත්තෙ. ඔවුන්ගේ ක්‍රීඩා රටාව සමීපව ඇසුරු කරන්නත් ඒ අනුව තමන්ගේ දක්ෂතා ඔප්නංවා ගන්නත් අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙනවා.

දැන් පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ජර්මනියේ ජීවත්වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩකයකු ක්‍රීඩා කළා කිව්වානෙ. ඔහුගේ දක්ෂතා ගැන සෑහීමකට පත්වෙනවා ද?

මෙහෙමයි. අපි එතැන දී ඔහු තනිවෙනවා දැක්කා. ඒකට හේතුව ඔහුගේ වේගයට, උපක්‍රමවලට අපේ සෙසු ක්‍රීඩකයන් ගොනු නොවූ නිසා. අර අපි කියන විදේශ ක්‍රීඩකයෝ ගොන්නම අපිට ක්‍රීඩා කරද්දී සෙසු ක්‍රීඩකයන්ට එය විශාල ශක්තියක් වේවි. එවිට ක්‍රීඩාවේ වේගය වැඩිදියුණු වෙලා ගුණාත්මකව ඉදිරි ගමනක් ආරම්භ කරන්න ලැබෙන බව අමතක කරන්න අවශ්‍ය නෑ.

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව වෙනස් කරලා ලේකම් ධූරය පඩි ලබන වෘත්තීය තනතුරක් බවට පත්කරන්න යන බව ආරංචියි?

ඔව්. ඒක මම කරන්න හදන දෙයක් නොවෙයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සිදුකරන නියෝගයකට අනුව සිදුකරන්නට යන දෙයක් ඒක. කාලයකට පෙර සිට කරන ලද නියෝගයක්.

ඒ කියන්නේ ප්‍රධාන විධායකයාට අමතරව වෘත්තීය ලේකම්වරයෙක් සම්මේලනය තුළ ඉන්නවා කියන එකනෙ?

විධායක නිලධාරියාගේ රැකියාව කරන්න සිද්ධ වෙන්නෙත් මේ කියන වෘත්තීය ලේකම්වරයාට තමයි. මොකද පාපන්දු සම්මේලනය කියනවා පාපන්දු පරිපාලනයට පූර්ණකාලීනව සම්බන්ධ වූ පුද්ගලයා බවට පාපන්දු ලේකම්වරයා පත්කළ යුතු බව.

සභාපති ධූරයෙන් සමු අරන් ඔබ එහෙනම් වෘත්තීය ලේකම් ධූරයට කරනමක් ගහන්නයි ඔබේ අපේක්ෂාව?

ඒක මම දන්නෙ නෑ. විධායක කමිටුව තමයි කවුද ලේකම් කියලා තීරණය කළ යුත්තේ.

 

ඡායාරූප – ජගත් ඉරෝෂණ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here