වෛද්‍යවරයකු ලෙස රඟපා නීතිඥවරියගේ කෝටි 3කට විදලා

0
34
Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිඥවරියක සමඟ සමාජ ජාලා ඔස්සේ සබඳතාවක් ඇති කරගෙන ඇයගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචනික ලෙස ලබා ගත් නයිජීරියානු ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයිබර්, වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් කලක් තිස්සේ එම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර පසුව තමන් මේ වන විට ඇෆ්ගනිස්තානයේ සංචාරයකට පැමිණ ඇති බව පවසා ඇත. තමන්ගේ වීසා කාඩ් පත එහිදී අතුරුදන් වූ බවත් තමන්ට වියදමට මුදල් නොමැති බවත් ඇයට පවසා ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් තිදෙනකුගේ ගිණුම්වලට දමන ලෙස ඉල්ලීමක් කර තිබේ.

පසුව අදාළ කාන්තාව විසින් මොවුන් ශ්‍රී ලාංකිකයන්ද යන්න තහවුරු කරගෙන එම මුදල් පසුගිය දෙසැම්බර් 06-07-10 යන දිනවලදී ගිණුම්වලට දමා ඇත. ඉන් පසුව එම නයිජීරියානු ජාතිකයා සියලු අන්තර්ජාල සම්බන්ධතාවන් විසන්ධි කර ඇති අතර ඔහුගේ තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබේ.

පසුව එම කාන්තාව විසින් මේ බව පොලිසියට දැනුම්දී ඇති අතර අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් සියුම් ලෙස සිදු කරනු ලැබූ මෙහෙයුමකදී වංචාකාර නයිජීරියානු ජාතිකයා සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනාම මෙරටදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ. පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විශේෂඥ වෛද්‍යවරයකු නොවන බවත් අනෙක් ශ්‍රී ලාංකිකයන් තිදෙනාද වෛද්‍යවරුන් නොවන අයවලුන් බවය. ඔවුන් මෙයට කලින්ද මෙවැනි වංචා කර ඇති අතර සමහර අවස්ථාවලදී මෙරට සිටින කාන්තාවන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනිමින් විදේශයක සිට ත්‍යාග එවන බව පවසා එම ත්‍යාග ලබා ගැනීමට නැව් ගාස්තු හෝ ගුවන් ගාස්තු ලෙස මුදල් ශ්‍රී ලාංකියන්ගේ ගිණුම්වලට හෝ ශ්‍රී ලාංකික නියෝජිතයකු යැයි පවසන කෙනකුගේ ගිණුමට දමන ලෙසට වංචා කර මුදල් ලබා ගැනීමෙන් පසු එම සබඳතා විසන්දි කර වංචා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දිනමිණට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here