අමෙරිකාවටත් චිත්‍ර අඳින ලංකාවේ අසංක

    0
    14
    අමෙරිකාවේ සඟරාවක පළ වූ අසංකගේ නිර්මාණය

    මැණිකක් වුණත් ලොකු වටිනාකමක් ලැබෙන්නේ ඔපමට්ටම් කළාමයි. මඩ තැවරුණු, පස් යට සැඟවුණු වටිනාකම හරිහැටි නොතේරෙන මිණි කැටවල අගය හරිහැටි තේරෙන්නේ දක්ෂ මැණික් ගරන්නෙකුට විතරයි. එවැනි මිල අධික මැණික් කැට ඔපමට්ටම් කරන යෞවනයේ සොඳුරුතම නවාතැන තමයි ‘යොවුන් ජනතා’ කියන්නේ. ඉතිං ඒ විදියට ඔපමට්ටම් කරපු මැණිකක් එක්කයි අද අපේ කතාබහ. ඔහු නමින් අසංක හේරත්.

    අසංකගේ ගම් පළාත මහනුවර අංකුඹුර. හැබැයි ආදරණීය බිරියයි, පුංචි පුතයි එක්ක දැනට පදිංචි වෙලා ඉන්නේ පොරමඩුල්ලේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශේෂවේදි උපාධිධරයෙක් වන ඔහු පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර කලාවට තිබුණු දක්ෂතාව හා ආශාව මත චිත්‍ර කලාවේ නවමු තැන් සොයායන්නට වූ බව දැනගන්නට ලැබුණා. ඒ අනුව කුරුණෑගල ජනකලා කේන්ද්‍රය තුළින් චිත්‍ර කලාව පිළිබඳවත්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ආයතනය මගින් ග්‍රැෆික් ඩිසයින් පිළිබඳවත් පුළුල් ලෙස හදාරන්නට වූ බව ඔහු මතක් කළා.

    නවීන තාක්ෂණයේ වර්ධනයත් සමගම සාම්ප්‍රදායිකව පැවති චිත්‍ර ශිල්පය අතික්‍රමණය කරමින් වෙනස්ම විදියේ චිත්‍ර කලාවකට හිමිකම් කියන්නට අසංකට මේ වන විට හැකියාව ලැබිලා තියෙනවා. අන්තර්ජාලය සමඟ නිතරම ඔට්ටුවන සමාජයට ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඉදිරිපත් කරන අසංකගේ නිර්මාණ අතර සුවිශේෂීම අංගය caricature drawing. ලෝකය තුළ ඉහළ වටිනාකමක් හිමිවන චිත්‍ර කලාවක් වන caricature drawing ගැන අසංක කිව්වේ මෙන්න මේ විදියට.”දැනට මගේ නිර්මාණ අතර වැඩිම ඉල්ලුමක් තියෙන්නේ caricature drawing වලට. විදේශ රටවල විවාහ උත්සව, උපාධි ප්‍රදානෝත්සව, උපන්දින සාදවලට ගොඩක් වෙලාවට මේ චිත්‍ර යොදාගන්නවා. බොහෝ අය මෙම කලාව චිත්‍ර විකෘතියක් කියලා හැඳින්වුවත් ඇත්තටම මෙම නිර්මාණවලදි කරන්නේ මිනිස්සුන්ගේ මුහුණට යම්කිසි වෙනස් දෙයක් එකතු කරමින් වෙනස් විදියට නිර්මාණය කිරීම. හැම කෙනාගෙම මුහුණක ඔවුන්ට සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඉතිං ඒ දේ ඉස්මතු කිරීම තමයි මූලිකවම මෙහිදී වෙන්නේ”.

    ඉතිං මෙම caricature drawing දැනට ලංකාවට ආධුනික වුවත් බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව අසංක සතුටින් මතක් කළා. ඒ වගේම ලෝගෝ ඩිසයින්, කාටුන් ඩිසයින් හා සාමාන්‍ය සිතුවම්ද ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂී වෙනවා.

    මේ දක්වා චිත්‍රත් එක්ක ගෙවුණු අසංකගේ ගමන තුළ ඔහුට හිමිවුණු ඇගයීම් හා වරප්‍රසාද එමටයිලු. ඒ අතරින් පසුගිය දිනවල අමෙරිකානු Magazine එකකට නිර්මාණය කළ ඔහුගේ caricature drawing එක වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර ජීවිතේට ඉතාමත් වටින බව පැවසුවා. ඒ වගේම විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදාගනිමින් වංචා සහගත චිත්‍ර නිර්මාණය කරන ඇතැම් පිරිස් නිසා caricature drawing වල වටිනාකම හෑල්ලුවට ලක්වීම දැනට එම ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති විශාල ගැටලුවක් බව ඔහු මතක් කළා. සාමාන්‍ය සිතුවමකට එහා ගිය පරිශ්‍රමයක් දරමින් නිතර පුහුණුවීම් තුළින් සිදු කළ යුතු නිර්මාණ සඳහා එවැනි හෑල්ලු කිරීම් සිදු නොකරන ලෙස කියන්නටත් ඔහු අමතක කළේ නෑ.

    අසංකගේ අනාගත බලාපොරොත්තුව වුණේ තව තවත් අලුත් උපක්‍රම යොදාගනිමින් විවිධ අත්හදාබැලීම් සමගින් වෙනස්ම නිර්මාණ තුළින් අන්තර්ජාතික චිත්‍ර ශිල්පීන් සමග තරගකාරීව ඉදිරියට යන එක. අනාගතයේදී චිත්‍ර කලාවට ප්‍රවිෂ්ට වන නවකයන්ට අසංක කිව්වේ මුලින්ම ඔබ කැමති ක්ෂේත්‍රය හරියට හඳුනාගෙන ඒ පිළිබඳව නිවැරදි හැදෑරීමක් තුළින් පහළම මට්ටමේ සිට ක්ෂේත්‍රය වෙත පැමිණිය යුතු බවයි. ඒ වගේම දෛනික පුහුණුවීම් තුළින් තම ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට ගමන් කළ හැකි බවත් ඔහු ඉතාමත් නිහතමානීව මතක් කළා.

    මේ දිනවලදී විදේශීය ඇණවුම් කිහිපයක් සමඟ කාර්යයබහුල වී සිටින බව අසංක අවසාන වශයෙන් පැවසුවා.

     

     කවි විජේසූරිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here