අවුරුද්ද අලුත් වුණත් ඉන්නේ පරණ අපිමද?

    0
    12

    මාස දොළොසක අවසානය නව වසරක උදාව බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් දැන් 2020 සිට 2021 ට පිය නගන මොහොත උදා වී ඇත. නව වසරට පා තබන සියලු ජනයාගේ ආශාව මෙන්ම බලාපොරොත්තුව වනුයේ නව වසර සුබ කරගන්නටය. නැවුම් වූ හැඟීම්, අරමුණු මෙන්ම බලාපොරොත්තු සමග ජනතාව කිරි උතුරවමින් කිරිබතක් පිසමින් නව වසර සුබ කරගන්නට සිහින දකිති. බොහෝ ජනයා තම ආගමට අනුකූලව චාරිත්‍ර ඉටුකරමින්  නව වසරට සුපහන් සිතින් තම ආදරණීයන් සමග පා තබති. නව වසර සුබ කරගැනීමට තම ජීවිත තුළ ඇති අසුබවාදී හැඟීම් මෙන්ම අමිහිරි මතකයන් ද අමතක කර දමා නව ජිවිතයක් නව වසර තුළ ඇරඹීමට දිරිය ගත යුතුය. වසර සුබ කරගන්නේද නැතිද යන වග තීරණය වන්නේ තම තමන් සිදු කරන ක්‍රියා මතය. කම්මැලිකමින් සිටියහොත් නව වසර සුබ කරගන්නට කිසිදා නොහැකි ය. කිසිවකු ඔබේ දෙපාළඟට කිසිවක් ලබාදෙන්නේ නැත. තම උත්සහය, කැපවීම, ධෛර්යය මත සියලු ලබාගැනීම් රඳා පවතී. එබැවින් නව වසර ඔබට සුබ කිරීමට අන් අයට නොහැකි ය. 

    නව වසර උදා වුවද තවමත් කොරෝනා වසංගතය රටින් මෙන්ම ලෝකයෙන් ද දුරුව ගොස් නොමැත. එය කවදා තුරන්ව යාවි දැයි කිසිවකුටත් කිව නොහැකි ය. එබැවින් උදාවූ නව වසර කොරෝනා වසංගතයත් සමග තම ජිවිත සුබ කරගන්නට, සාර්ථක කරගන්නට උත්සාහ දැරිය යුතුය. තම ජීවිත එකතැන නතර වී පල් කරන්නට නොව ක්‍රම ක්‍රමයෙන් සාර්ථකත්වය කරා මෙන්ම සුබවාදී දිශාවක් කරා ගෙන යාමට නව වසර තුළ උත්සහ කළ යුතුය. තම ජීවිත වලට නවමු අරමුණක් ඇතිකර ගත යුතු ය. නව වසර සුබ කරගැනීමට එම අරමුණු පහසුවක් මෙන්ම ශක්තියක් වන්නේ ය. නව වසරේ උදාවත් සමග සියලු ජනයා අරමුණු, බලාපොරොත්තු සිතතුළ ඇති කරගත්ත ද ඒවා සැබෑ කරගන්නේ සුළු පිරිසකි. එයට හේතුව නම් වර්ෂයේ මැද වන විට අරමුණු මෙන්ම බලාපොරොත්තු ද අමතකව යාම සහ උත්සහයන් අත්හැරීම ය. යමක් ලබාගැනීමට නම් කැපවීම් කළ යුතුය.

    එමෙන්ම එය ලබාගැනීමට කාලයක් ද ගත විය හැකිය. නමුදු කිසිවිටෙකත් තම උත්සහය, කැපවීම අත්නොහල යුතුය. තම ජීවිතය සුබ කරගැනීමට සාර්ථක කරගැනීමට කරන ලද උත්සහයන් අතරතුර බොහෝ බාධක පැමිණිය හැක. එම බාධක හමුවේ පලා නොගොස් නොබියව මුහුණදීමෙන් ඔබේ නව වසරේ සියලු අරමුණු මෙන්ම බලාපොරොත්තු ද සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සුබ කරගන්නට මහත් වූ රුකුලක් වන්නේය. ඔබත් මේ ලැබූ නව වසර සුබ කරගන්නට උත්සහ කරන්න.

    කියන්නට ඇති දේ බොහෝය. ලියන්නට ඇති දේ ද බොහෝය. එහෙත් කියන්නන් වාලේ කියනවාටත් වඩා ලියන්නන් වාලේ ලියනවාටත් වඩා කළ යුතු දේ ඊටත් වැඩිය. එහෙත් සිතිය යුතු වන්නේ එම කළයුතු කාර්යයන් සිදුකළ යුතු වන්නේ කෙසේද කියාය. වසරක් ගෙවීගොස් වසරක් ගත වන විට බිත්තියේ ඇණය එලෙසම තිබියදී කැලැන්ඩරය මාරුවුවද ජීවිතය අලුත් වූවායයි කියා සිතන්නේ නම් එතරම් අනුවණ කමක් ලොවෙත් නැත.

    නව වසර ලබන්නට පෙරම සියලු කුණු කන්දල් අස්පස් කර ගේ දොර සුද්ද පවිත්‍ර කළ ද එයින් පලක් වන්නේ නිවසේ පිරිසිදුකමට පමණි. ඒ මන්ද ගණනය කිරීමටවත් නොහැකි අයුරින් මිනිසුන් කුණු කන්දක් සඟවා තබාගන්නේ තම හිස මත බැවිනි. එනිසා අප සිහියේ තබා ගත යුත්තේ සියලු කුණු කන්දල්, මනස්ගාත, ඔළුවෙන් බැහැර කර රට වෙනුවෙන් සිතන, රට වෙනුවෙන් වැඩ කළ හැකි නව වසරකට පා තැබීමයි.

    ඉතින් 20 අහවරකර 21 ලබන විට අප රටක් වෙනුවෙන් එකමුතු වී වැඩ කිරීමට කාලය මිඩංගු කරමු.

     

    එහෙනම් දැන් අපි වැඩ පටන් ගමු

     

     

    අයි.ඩී.එස්.නවෝදා වීරසිංහ
    සන්නිවේදනය හා කළමනාකරණ අධ්‍යයන පීඨය
    නැගෙනහිර විශ්වවිද්‍යාලය

     

    ත්‍රිකුණාමල මණ්ඩපය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here