අාබාධ මැද්දේ ධනංජය ඉහළ යයි

0
26

දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය වුව ද එම තරගයේදදී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිපදෙනකු අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

විශේෂයෙන් මේ තරගයේ පළමු ඉනිමේදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු 79ක හේතුවෙන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 9ක් ඉදිරියට ඒමට සමත්ව ඇත. ඔහු මේ වන විට 34 වැනි ස්ථානයේ පසුවන අතර, එම තරගයේ පළමු ඉනිමේ අර්ධ ශතකයක් (85) රැස් කළ දිනේෂ් චන්දිමාල් 38 වැනි තැනට පැමිණ ඇත්තේ ස්ථාන 3ක් ඉදිරියට එමිනි.

දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ස්ථාන 4ක් ඉදිරියට පැමිණ 60 තැනට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 199ක් රැස් කරමින් තරගයේ වීරයා වූ ෆෆ් ඩු ප්ලෙසිස් ස්ථාන 14ක් ඉදිරිය පැමිණ ඇත්තේ 21වැනි තැන අත්කර ගනිමිනි. ලකුණු 95ක් රැස්කළ ඩීන් එල්ගා ස්ථාන 4ක් (20), ඒඩ්න් මාක්‍රම් ස්ථාන 2ක් (24) ඉදිරියට පැමිණ තිබේ.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන නායක දිමුත් කරුණාරත්නට නව ශ්‍රේණිගත කිරීම් අනුව හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි. මේ තරගයේදී සාර්ථකවීමට නොහැකි වීම හේතුවෙන් ඔහු පහළට දමා රොස් ටේලර් (14), රෝහිත් ශර්මා (15) සහ මුෂ්ෆිකූර් රහීම් (16) ඉදිරියට ගොස් තිබේ.

පන්දු යවන්නන් අතර, ස්ථාන 2ක් ඉදිරියට ගිය විශ්ව ප්‍රනාන්දු 45 වැනි තැන සිටින අතර, ලුන්ගි එන්ගිඩි ස්ථාන 4ක් (56) ඉදිරියට ගොස් තිබේ. පළමු තරගයට එක් වූ ලුතෝ සිපම්ලා මුල් සිය දෙනා අතරට පිවිසෙමින් 70 වැනි තැන අත්කරගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) සහ නීල් වැග්නර් (නවසීලන්තය) පිළිවෙළින් පන්දු යවන්නන් අතර, මුල් ස්ථාන 3 හිමිකර ගෙන සිටිති.

 

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here