
පසුගියදා මැද පෙරදිග සහ යුරෝපානු කලාපය වෙත ශ්‍රී ලංකාව සිදුකරන අපනයන ඉහළ නැංවීමේ අරමුණින්, ශීතකල බහාලුම් තාක්ෂණය යොදාගනිමින් මෙරට එළවලු හා පලතුරු අපනයන ක්ෂේත්රය වර්ධනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශන සැපයීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට ලංකා පළතුරු සහ එළවළු නිපදවන්නන්ගේ, සකසන්නන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (LFVPPEA) ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහනට (Technical Assistance to the Modernisation of Agriculture Programme -TAMAP) ආරාධනා කර තිබුණි.
ඒ යටතේ, කාර්යක්ෂම හා සඵලදායී ශීතකළ බහාලුම් කළමනාකරණය හා නාවික ප්‍රවාහනයට අදාළ පසු අස්වනු හැසිරවීමේ තාක්ෂණය මෙන්ම ගුණාත්මක බවින් ඉහළ අස්වනු තාක්ෂණික ක්‍රම හා ප්‍රවාහන ගැටලු කළමනාකරණය පිළිබඳව ද LFVPPEA සාමාජිකයින් වෙත දැනුම සහ සහයෝගය ලබාදීමට TAMAP ක්‍රියාකළේය.
මෙම මාර්ගෝපදේශන වැඩසටහන සඳහා අන්තර්ජාතික වශයෙන් එළවලු හා පලතුරු ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රවීණයින් දෙදෙනෙකු සම්බන්ධ කරගැනීමට ද TAMAP පියවර ගෙන තිබුණි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳාම හා ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂඥයෙකු වන බහාලුම් ප්‍රවාහන ක්ෂේත්රයේ වසර 23කට වැඩි අත්දැකීම් සහිත එම්. එන්. ප්‍රභාත් සහ නැවුම් එළවලු හා පලතුරු අන්තර්ජාතික වශයෙන් ප්‍රවාහනය කිරීමේ ක්ෂේත්රයේ ප්‍රවාහනය, ඇසුරුම්කරණය හා රක්ෂණ වන්දි පිළිබඳ විශේෂඥ කීත් රොක්ස්බර්ග් යන මහත්වරු ඊට එක්ව සිටියහ.