කොවිඩ් අභියෝගයෙන් වෙනස් වන ලෝකය

    0
    5

     

    “වනාන්තර විනාශය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත. එමඟින් මිනිසුන් සහ වන සතුන් අතර හමුවීම් ද අවම කරගත හැකි වේ. මෙවැනි රෝග තත්ත්ව ආවේෂණය කිරීම සඳහා ද නිරීක්ෂණය කිරීම සඳහා ද නොපමාවම අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. කොවිඩ් – 19 වැනි භයානක වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී ද මෙම ක්‍රියාමාර්ග එලෙසින්ම අදාළය.”

     

    උදා වූ නව වසරේ සකල ලෝවැසියන්ගේම අපේක්ෂාව කොරෝනා වසංගතය පරදවා නැඟී සිටීමය. ඉකුත් වසරේදී එය ගෝලීය වසංගතයක් ලෙස පැතිර ගියේ වසංගත රෝග අවදානමක් පිළිබඳ බියකරු සිහිකැඳවීමක් විලසය. කලින් කලට මතුවීම වසංගතවල ස්වභාවයය. මානව ඉතිහාසයේ වරින්වර මෙවැනි වසංගත ඇති වී නැති වී ගොසිනි. එය කොවිඩ් – 19 නැතිනම් කොරෝනා වසංගතයට ද අදාළය. කෙසේ වුවද මෙවැනි වසංගත මෑත ඉතිහාසයේ ළඟින් ළඟ මතුවීමට පටන්ගෙන තිබීම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්ව ඇත. ගත වූ විසි වසරක කාලසීමාව තුළ වයිරස පමණක් ලොවපුරා අවස්ථා තුනකදී ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. ඒ, ඒවා අතර කාලය කෙටි වී ඇති අයුරු ද දක්වමිනි. පෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාඥයකු වන සුරේෂ් වී. කුචිපුඩි පවසන පරිදි සතුන් මඟින් මිනිසාට ආසාදනය වී ඇති බොහොමයක් වයිරස සම්බන්ධයෙන් අදාළ වන පොදු සාධකයක් තිබේ. ඒ, ඒවා ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත්තේ ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් බවය. ඊට හේතු කාරණා අප මවිතයට පත්කරවන සුළු තරම් වේ.

     

    අධික නාගරීකරණය

    ලෝක ජනගහනයෙන් 60%ක් වාසය කරන්නේ ආසියා ශාන්තිකර කලා‍පයේය. 21 වැනි සියවසේ පළමු දශකය තුළදී නැ‍ගෙනහිර ආසියාවේ මිලියන 200ක ජනගහනයක් නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත. එය හරියට ලොව 8 වැනි විශාලම ජනගහනය සහිත රාජ්‍යය නිර්මාණය වීම බඳුය. ඒසා විශාල ජන සංඛ්‍යාවක් නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වීම යනු මහා පරිමාණ වශයෙන් වනාන්තර බිම් විනාශ වීමකි. ජනාවාස බිහිවීමේදී වනාන්තර විශාල ලෙස එළිපෙහෙළි කිරීම සිදු වේ. මෙහිදී වන ජීවීන් ද වැඩියෙන් නාගරික ප්‍රදේශ කරා සමීප වීම සිදු වේ. වනසතුන් හා මිනිසුන් අතර මුණගැසීම් ද වැඩි වේ. මෙවැනි සතුන් බොහෝ වයිරස වාහකයන්ය. නිදසුනක් ලෙස වවුලන් වයිරස සිය ගණනක් සම්ප්‍රේෂණය කරයි. මෙම වයිරස එවැනි මුණගැසීම්වලදී පහසුවෙන්ම මිනිසාට සම්ප්‍රේෂණය විය හැකිය.

    අධික නාගරීකරණය විෂම චක්‍රයක් බවට පත් වෙමින් ඇත. වැඩි වශයෙන් මිනිසුන් නගරයට ඇදීම යනු වන විනාශය ද වැඩි වීමට හේතුවේ. එනම් වන සතුන්ගේ වාසස්ථාන විනාශ වීම ද වැඩි වීමය. එය විලෝපිකයන්ගේ විනාශයට ද හේතුවකි. අප්‍රිකාවේ සිදු කළ අධ්‍යයන ඇසුරින් මේ තත්ත්වය පැහැදිලි කර තිබේ.

    නැ‍ගෙනහිර ආසියාතික ජනයාගෙන් විශාල පිරිසක් තවමත් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරති. ඒ අතරම දශක කිහිපයක් තිස්සේ නාගරීකරණය ද පෙරට යමින් පවතී. නිවර්තන කලාපවල ජෛව විවිධත්වය බෙහෙවින් පොහොසත්ය. එම පුළුල් විවිධත්වය රෝගකාරක විශාල තටාකයක් දරා සිටී. නව රෝගකාරක ද ඇති වේ. ආසියානු හා අප්‍රිකා රටවල සත්ත්ව ගොවිපොළ ද බහුලය. බොහෝ පවුල් සිය ජීවනෝපාය ලෙස ඒවා පවත්වාගෙන යති. රෝග පාලනය, ආහාර සැපයීම ආදී කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මෙම ගොවිපොළවල ඇති කෙරෙන සතුන්ට ඇත්තේ සීමිත අවස්ථාය. ගවයන්, කුකුළන්, ඌරන් ආදී සතුන් විවිධ ලෙඩ රෝග වාහකයන් බවට පත් වේ. මේ සතුන් හා මිනිසුන් අතර සමීපතාව වැඩි බැවින් ඒවා මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ද වැඩිය.

    සත්ව ගොවිපොළ පමණක් නොව සත්ව වෙළෙඳපොළ ද මීට බලපා තිබේ. මෙවැනි ගොවිපොළ ආසියා හා අප්‍රිකා රටවල සුලබය. මේවා මඟින් ද එවැනි වයිරස ව්‍යාප්ත වීමට ඇති හැකියාව ඉහළය. මස්කඩ තවත් එවැනි ස්ථානයකි. උප සහරානු අප්‍රිකා කලාපයේ ඒවා වඩාත් සුලබය. පරිසර පද්ධතිවලට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ද මිනිසුන් හා සතුන් අතර හමුවීම් ඉහළ ගොසිනි. ඇතැම් ඖෂධ ‍නිෂ්පාදනය සඳහා ද වන සතුන්ගෙන් ලබාගන්නා දෑ භාවිත කෙරේ. මේ තත්ත්වය එවැනි ඇතැම් සතුන්ට ද බලවත් තර්ජනයක් එල්ල කර තිබේ. මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදු වෙමින් ඇත.

    දැනට පෙනීගොස් ඇති පරිදි කොවිඩ් – 19ත් ඇතුළුව මෑතකාලීන වසංගත බොහොමයක් ව්‍යාප්ත වී ඇත්තේ වවුලන් මඟිනි. වෙනත් වන සතුන්ට සම්ප්‍රේෂණය වී අනතුරුව එම සතුන් මඟින් මිනිසාට සම්ප්‍රේෂණය වීමෙනි. එම දාමය පැහැදිලිව හඳුනාගැනීම අසීරු වුවද එක් කාරණයක් සුපැහැදිලිය. ඒ පරිසර පද්ධති සම්බන්ධයෙන් වන මිනිසුන්ගේ බලපෑම් අවම කර ගැනීම මඟින් එම අවදානම ද අවම කරගත හැකි බවය.

    උද්ගතව ඇති වසංගත තත්ත්වය ද ලොව එක් කලාපයකින් ඇරැඹී අනතුරුව සෙසු ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙන අයුරු පැහැදිලි වේ. ඊට වැඩි කාලයක් ගත වී නොමැත.

    මෙය නොපමාව අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති. වනාන්තර විනාශය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත. එමඟින් මිනිසුන් සහ වන සතුන් අතර හමුවීම් ද අවම කරගත හැකි වේ. මෙවැනි රෝග තත්ත්ව ආවේෂණය කිරීම සඳහා ද නිරීක්ෂණය කිරීම සඳහා ද නොපමාවම අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. කොවිඩ් – 19 වැනි භයානක වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී ද මෙම ක්‍රියාමාර්ග එලෙසින්ම අදාළය.

     

    පරිසර පද්ධති

    ජෛව විවිධත්වයට එල්ල වී ඇති හානිදායී බලපෑම් සහ මෙවැනි වසංගත අතර ඇති සම්බන්ධය විද්‍යාඥයෝ පෙන්වා දෙති. පරිසර පද්ධතිවලට සිදු වන විනාශකාරී බලපෑම් හේතුවෙන් ජෛව විවිධත්වයට දැඩි හානි ඇති වේ. කාර්මීකරණය, නාගරීකරණය, ගෝලීයකරණය ආදිය මඟින් ස්වභාවික පරිසරයට එල්ල වී ඇති බලපෑම් අතිශය හානිදායකය.

    වන සතුන් මඟින් මිනිසුන්ට මෙවැනි වයිරස සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ පර්යේෂණ සිදු වී තිබේ. ස්ටැන්ෆර්ඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමක්, උගන්ඩාවේදී කළ පරීක්ෂණයක ප්‍රතිඵල ඉකුත් අප්‍රේල් මස නිකුත් කෙරිණි.

    වන ජීවීන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ වීම, වසංගත ව්‍යාප්තියට බලපා ඇත්තේ වේගයෙනි. පරිසර පද්ධති තුළ සමතුලිතතාව බිඳවැටීමට මානව ක්‍රියාකාරකම් හේතු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වසංගත රෝග ව්‍යාප්තියට සැලකිය යුතු වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් බලපා ඇති අයුරු පිළිබිඹු වේ.

    අග්නිදිග ආසියාවේ කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන හෝ එම ගොවිබිම්වල වාසය කරන ජන කොටස් අතර වසංගත ව්‍යාප්තිය වැඩි බව අතීත අත්දැකීම්වලින් ද පැහැදිලි වේ. මැලේරියා වැනි වසංගත ඊට නිදසුන්ය.

    ෆාම්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ෆාම් වගා කිරීමට කැලෑ එළි පෙහෙළි කිරීම, රබර් වගා, පශු සම්පත් ගොවි‍පොළ ආදිය මඟින් ඒ පරිසර හානි පිළිබිඹු වේ. එවැනි බොහෝ විනාශයන්ට වගකිවයුතු වන්නේ දැවැන්ත සමාගම් වුවද මේවායේ ප්‍රතිඵල දරා ගැනීමට සිදුව ඇත්තේ අසරණ මිනිසුන්ටය.

     

    හරිත ආර්ථිකය

    විද්‍යාඥයන් පෙන්වාදෙන පරිදි පාරිසරික විනාශයන්ගේ බලපෑම් පිළිබඳ නොපමාව අවබෝධ කරගත යුතුය. යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට නම්, සතුන්, ශාක සහ මිනිසුන් අතර මනා අන්තර් සබඳතාවක් තිබිය යුතු වේ. ජෛව විවිධත්වයට වන හානිදායි බලපෑම් නොපමාව වළක්වාගත යුතුය. කොවිඩ් – 19 විසින් ඇති කර ඇති බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින් සමාගම් සිය සැලසුම් හා ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතුව ඇත. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩු විසින් ද ගත යුතුය. පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ කාරණා සැලකිල්ලට ගැනීමට ආණ්ඩුවල අවධානය යොමු විය යුතු වේ. සිය ව්‍යාපාර ‍මොඩලයන් තිරසර විය යුතු බවට සමාගම් වගබලාගත යුතු වේ. හරිත ආර්ථිකයක් ගැන සිතන්නට ආණ්ඩුවලට මෙන්ම සමාගම්වලට ද සිදු වේ.

    දිගින් දිගටම පරිසරයට එල්ල වන විනාශකාරී බලපෑම්වලට සොබාදහම ප්‍රතිචාර දක්වන්නේ අනුකම්පා විරහිතව බවට කොරෝනා වසංගතය ද ප්‍රබල නිදසුනකි. අතිධාවනකාරී ‍‍ලෝකයට එකතැන නතර වීමට ඉන් බල කෙරිණි. එලෙස ලෝකය නතර වූ විට පරිසරය යළි නිර්මාණය වනුද පැහැදිලි විය. වසංගතය හේතුවෙන් ලොව රටවල් බොහොමයක් ලොක්ඩවුන් කර තිබියදී සෑම ආකාරයකම සංචරණය ද සීමා විය. මාර්ග රථ වාහන තදබදයෙන් මෙන්ම ඒවායින් පිටවන දුමෙන් ද තොර විය. කම්හල්වලින් දුම් වලා අහසට නැඟුණේ ද නැත. ගංගාවලට රසායනික අපද්‍රව්‍ය, කැළිකසළ බැහැර වූයේ ද නැත. එහි ප්‍රතිඵල ඉක්මනින්ම දැකිය හැකි විය. වායු දූෂණය අධිකම නගරයක් වන දිල්ලියේ පවා එම තත්ත්වය බෙහෙවින් වෙනස් විය. ඒ අතරම ලොක්ඩවුන් සමයේදී ඇමසන් වැසි වනාන්තරයේ පවා වන විනාශය වැඩි වී ඇති බව හෙළිදරව් විය. චීනය වැනි රටවල් වන ජීවී වෙළෙඳාම තාවකාලිකව තහනම් කළේ මස් පිණිස එම සතුන් අලෙවිය නතර කරමිනි.

    කොවිඩ් – 19 ලෝකයට ඇති කර තිබෙන බලපෑම සුළුපටු නැත. එය විසින් එල්ල කර ඇති අභි‍යෝගය ජය ගැනීමට නම් ලෝකය වෙනස් විය යුතුය. 2021 යනු ඒ වෙනස සිදු කිරීමට කැපවන වසර විය යුතුය.

     

    ධම්මික

    සෙනෙවිරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here