කොවිඩ් මැද අලුත් අවුරුදු උදාව

    0
    9

    2020 වසර ගෙවී ගොස් 2021 වසර ද ලැබුවේය. ආ මඟට යළි හැරුණහොත් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ කොරෝනා වසංගතයට යටව මරණ බයෙන් ජීවත් වුණු වසරක් ගෙවා දැමූ වග ය. ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසර ඇතුළතදී ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මිලියන 1.8ක් පමණ වේ. කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 82.8 ද ඉක්මවා යයි. ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, මෙක්සිකෝව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, ඉරානය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව වැනි රටවලට කොරෝනා වසංගතය ඉතා තදින් බලපා ඇත. කෙටියෙන් කිවහොත් කොරෝනා වසංගතය බල නොපෑ රටක් නැති තරම් ය. ලෝකයේ බොහෝ රටවල ජනයාගේ ආර්ථිකය, අධ්‍යාපනය, සමාජ ජීවිතය සහ අවශේෂ බොහෝ කටයුතු කොරෝනා නිසා එක්කෝ හිටි පියවරම නැවතී ඇත; නැත්නම් පෙර නොවූ විරූ ලෙස අඩපණව තිබේ. මේ සා ව්‍යසනයක් කළ කොරෝනා වසංගතයේ බලපෑමෙන් මිදෙන්නට මිනිසාට ඉදිරි වසරේදීත් නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීහු පෙන්වා දෙති. එවන් පසුබිමක මුළු මහත් ලෝකයාම 2021 වසර පිළිගත්තේ ද සීමා කිරීම් මධ්‍යයේය. මින් පෙර උදා වූ කිසිදු නව වසරකදී ඇති නොකෙරුණු අන්දමේ සීමා කිරීමක් මෙවර නව අවුරුදු උදාවේදීද දක්නට ලැබිණ. ඒ කොරෝනාව කළ හදියක තරමය.

    ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දක්වා බොහෝ නගරවල නව අවුරුදු උදාවේදී ඉතා අලංකාර මල් වෙඩි සංදර්ශන පැවැත් විණ. එහෙත් ඒ අලංකාර මල් වෙඩි සංදර්ශනවල ලස්සන දැක බලා ගන්නට, ප්‍රීති වන්නට ජනයා ඒකරාශීවීමක් සිදු නොවුණු තරම් ය.

    නව අවුරුද්ද සමරමින් පැවැත්වෙන සාද සහ ජන ඒකරාශීවීම් නැවත්වීම සඳහා ප්‍රංශය ලක්ෂයක පොලිස් බලඇණියක් කැඳවා තිබුණේය. ඒ මදිවාට, රාත්‍රිය පුරා ඇඳිරි නීතියත් ක්‍රියාත්මක කර තිබිණ. එරට සමාජශාලා, තැබෑරුම්, රෙස්ටුරන්ට් මුළුමනින්ද පැරිස් නුවර මෙට්‍රෝ දුම්රිය සේවාවෙන් කොටසක් ද වසා දමා තිබුණේ ය.

    නව අවුරුදු උදාවේදී ජනයා කටයුතු කළ යුතු අන්දම එක්සත් රාජධානි බලධාරීහු කල් ඇතිවම නිකුත් කළහ. එම නීතිරීති සහ සීමා කිරීම්වලට යටත්ව කටයුතු කරන මෙන් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, මහජනයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණේ ය. රජයේ අණ ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ මෙට්‍රපොලිටන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව අවුරුදු උදාව නිවෙස්වල සිට සමරන ලෙසය.

    අයර්ලන්ත රජය සිය ජනතාවට සීමා කිරීම් පැනවූයේ දෙසැම්බර් 31 වැනිදා සිට ය. ඒ අනුව කිසිවකුට කිලෝමීටර පහකට වැඩි දුරක් ගමන් කිරීම තහනම් කෙරිණ. අවශ්‍යම භාණ්ඩ අලෙවි කරන කඩසාප්පු හැරුණු විට සෙසු සියලු කඩසාප්පු වසා දමන්නට රජය නියෝග කර තිබුණේ ය.

    ජර්මනිය කල් ඇතිවම වසා දමන ලදී. ඒ අනුව ජනවාරි 10 වැනිදා දක්වා එම වසා දැමීම ක්‍රියාත්මක කෙරේ. ගිනි කෙළි අලෙවියත්, ජන ඒකරාශීවීමත් එරට බලධාරීහු තහනම් කළෝය.

    ඉතාලියෙහි බලධාරීහු ද සමාජ ශාලා, තැබෑරුම් සහ රෙස්ටුරන්ට් වේලාසනින්ම වසා දැමූහ. එනිසා ජනයාට එකට එකතු වී සතුටු වන්නට තිබූ බොහෝ අවස්ථා මඟ හැරී ගියේය. අලුත් අවුරුදු උදාවේදී පවත්වන දේව මෙහෙය මෙවර නොපවත්වන්නට ෆ්‍රැන්සිස් පාප්වහන්සේද තීරණය කර තිබුණහ. උන්වහන්සේගේ එම තීරණයට වඩාත්ම බලපා තිබුණේ උන්වහන්සේගේ උකුල ආශ්‍රිත ප්‍රදේශයේ හටගත් වේදනාවකි.

    නෙදර්ලන්තය ජනවාරි 19 වැනි දින දක්වා වසා දමා ඇති බැවින් එරට ජනයාට අලුත් අවුරුදු සැමරුමක් ගැන සිතන්නටවත් ඉඩක් ලැබෙන්නේ නැත. අලුත් අවුරුද්ද උදාවන්නට පළමුවෙන්ම තුර්කිය ද වසා දමන ලදී. දින හතරකට එරට වසා දමා ඇති බව සඳහන් වේ.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල සහ ඇතැම් නගරවල ජනයාට අලුත් අවුරුදු උදාවේ පැවැත්වෙන සාද ආදියට සහභාගී වීම තහනම් කර තිබුණේ ය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මල් වෙඩි සංදර්ශන පැවැත්වුණු නමුත් ඒවා නැරඹීමට ජනයාට වීදීවලට පැමිණීම එරට බලධාරීහු තහනම් කර තිබුණහ.

    චීනයේ බෙයිජිං නුවර නව අවුරුදු සැමරුම් නොපැවැත් විණි. කොරෝනා වසංගතයේ මූලාරම්භය සිදු වුණු චීනයේ වූහාන්හි දහස් ගණන් ජනයා නගර මධ්‍යයේ සිට ගුවනට බැලුම් මුදා හලහ. සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම අවලංගු කරන්නට ජපානයේ බලධාරීහු ක්‍රියා කළහ. එසේ වූවත් නරුහිතෝ අධිරාජයා සහ සෙසු රාජකීයයෝ ජනයාට සුබ පතන්නට අමතක නොකළහ. අපට අසල්වැසි ඉන්දියාවේ දිල්ලි නගරයේ සහ තවත් නගර රැසකම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු බැවින් අලුත් අවුරුදු සැමරුම් කිසිවක් දක්නට නොලැබිණ. ඉන්දියාවේ සෙසු බොහෝ නගරවල අලුත් අවුරුදු සැමරුම් සහ ජන ඒකරාශිවීම් නවත්වන්නට අවශ්‍ය පියවර ගෙන තිබෙනු දැකිය හැකි විය.

    මංජුලා විජයරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here