ගීතවලින් ලෙඩ හොඳ වෙන රටක් ඇත්නම් කියලා දෙන්න

    0
    8

    (සංවාදයට විවෘතයි)

     

    ගීතයකින් කොලෙස්ටරෝල්, දියවැඩියාව, රුධිර පීඩනය වළක්වා ගත නොහැකිය. ඒ සඳහා සුදුසු වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබාගත යුතුය. මානසික රෝගියකු නම් මානසික රෝග විශේෂඥයකු මුණගැසී ප්‍රතිකාර ලබාගත යුතුව ඇත. සංගීතයෙන් කරනුයේ හුදු විනෝදාස්වාදය රසවින්දනය ඇති කිරීම පමණකි.

     

    දිනෙන් දින ලෝකය වෙනස් වන්නේ කිසිවෙකු නොදන්නා පරිද්දෙනි. ගීත කලාව ද එලෙස වෙනස් නොවන්නේ නම් එය විශ්මය දනවන්නකි. ගල් යුගයේ සිටි මිනිසා එ‍ඬේර යුගයටත් ඉන්පසු විවිධ යුග ගණනාවක් පසුකොට අද තාක්ෂණයෙන් පිරිපුන් සමාජයකට පත් නොවුණේ නම් අප තවම ගල් යුගයේ ජීවත් වන‍්නෝ වෙති. සාහිත්‍ය කලාව සංගීතය ද එලෙස කලින් කලට වෙනස්වීම කිසිවෙකුට නතර කළ නොහැකිය.

    ගීත කලාවට ද ඒ සිද්ධාන්තය එලෙසම පවතියි. පැල් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි කියූ යුගයක් අපි අසා ඇත්තෙමු. නමුත් අද පැල් කවි කියමින් කරත්ත කවි කියමින් සිටින යුගයක් නොවන බව අප තේරුම්ගත යුතුව ඇත. සංගීතය විශ්ව භාෂාවක් බව අප නොදන්නවා නොව එහෙත් කලින් කලට සියලු දේ වෙනස් වන ලෝකයක ගීත කලාව ද නිරන්තරයෙන්ම වෙනස් වීම කිසිවෙකුට නතර කළ නොහැකිය.

    ගීතය යනු සිත නිවන භාවනාවක් යැයි ඇතැම්හු විශ්වාස කරති. එහෙත් සංගීතයයි භාවනාවයි යනු දෙකකි. එය එකක් නොවන්නේය. සංගීතයෙන් හෝ ගීතයෙන් කරනුයේ කෙනෙකුගේ සිත පිනවීමය. භාවනාවෙන් කරනුයේ සිත දියුණු කරගෙන බුදු දහමේ උගන්වන පරිදි විමුක්තිය ළඟා කර ගැනීමය. විනෝදය, රසාස්වාදය, රසවින්දනය වැනි දේවල් ගීතයක් තුළින් බලාපොරොත්තු වේ. නැටුම, ගැයුම, වැයුම මේ සියල්ල කලින් කලට වෙනස් වී ඇති අයුරු ගෝත්‍රික සමාජවල දක්නට ලැබෙන සංස්කෘතික අංගවලින් පැහැදිලිය.

    නමුත් මේ ක්‍රමිකව වෙනස් වීමට සෑම කෙනෙකුටම මුහුණදීමට සිදුවන බව අමතක නොකළ යුතුය. ගායකයා යනු සිය කටහඬ අවදිකොට ඒ හඬින් මුදල් හම්බකොට ජීවත් වෙන අයෙකි. එහෙත් ගායක ගායිකාවන්ගේ දුක්බර ජීවිත ගැන අප කොතෙකුත් අසා ඇති යුගයක වේගවත් සංගීතයට තම ගීත ගායනා කිරීමට ගුණදාස කපුගේ, සනත් නන්දසිරි වැනි ගායකයන් ද ක්‍රියා කළේය. එහි ඇති වරදක් නොමැත. සුනිල් සාන්ත වැනි ගායකයකු රෙදි වෙළෙදාම්කොට, රේඩියෝ රෙපෙයාර්කොට, ගොවිතැන්කොට සිය ජීවිතය රැකගැනීමට උත්සාහ කරද්දී ඔහුට අතදීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ සමාජයක ඔහු මියගිය පසු ගුණ ගායනා කිරී‍ෙම් අරුත කුමක්ද? අද තරුණ ගායක ගායිකාවන් මේ ශෝචනීය ඉරණම තේරුම් අරගෙන ඇති නිසා ඔවුන් ඔවුන්ගේ නිර්මාණවලට අවශ්‍ය මුදල ලබාගැනීමත් මුදල් ඉපයීමත් සාධාරණ වන්නේය.

    අද විද්‍යුත් මාධ්‍යවලින් රියැලිටි සංගීත වැඩසටහන් හරහා ඉතාම දක්ෂ ගායක ගායිකාවන් බිහිවන්නේය. ඔවුන්ගේ නිර්මාණවල ද වරදක් නැත. අපේ පැරණි ගායක ගායිකාවන්ගේ ගීතය ද විවිධ ශෛලීන්වලට ගායනා කිරීම වරදක් නොමැත. ඒ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමකි.

    ගීතයකින් කොලෙස්ටරෝල්, දියවැඩියාව, රුධිර පීඩනය වළක්වා ගත නොහැකිය. ඒ සඳහා සුදුසු වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය. මානසික රෝගියකු නම් මානසික රෝග විශේෂඥයකු මුණගැසී ප්‍රතිකාර ලබාගත යුතුව ඇත. සංගීතයෙන් කරනුයේ හුදු විනෝදාස්වාදය රසවින්දනය ඇති කිරීම පමණකි.

    කායික මානසික රෝගවලට ඒ අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීම හැර සංගීතයෙන් ලැබෙන ප්‍රතිකාරයක් ඇත්තේ නැත. එය හුදු මනෝරාජික සිතුවිල්ලක් පමණෙකි.

    රැප් සංගීතයට බොහෝ තරුණ පිරිස් ඇදීයන්නේ නිරායාසයෙනි. කලින් කලට යුගයෙන් යුගයට සිදුවන වෙනස්කම් කිසිවෙකුට නතර කළ නොහැකි බව පැහැදිලි සත්‍යයකි.

     

     පැතුම් පී. පෙරේරා

    හැටන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here