ජීවිතය ගැන කියන කෙටි කවි

    0
    9

    මනුෂ්‍ය චිත්ත සන්තානයේ ගැබ්වුණු හැඟුම් මුදා හැරිය හැකි මාධ්‍යයක් ලෙස සාහිත්‍යය හැඳින්විය හැක. සිංහල සාහිත්‍යයට අයත් ශානරයන්ගේ එක් ප්‍රභේදයක් වනුයේ කාව්‍ය ක්ෂේත්‍රයයි.  හොඳ ම වචන හොඳ ම පිළිවෙළට යෙදීම කවිය යැයි කියනු ලැබේ. සමාජය හා ජීවිතය තුළින් අත්කර ගන්නා ස්වකීය අත්දැකීම් රචනයට කවියා පෙළඹෙන අතර එහි අරමුණ වනුයේ කවිය රස විඳින තැනැත්තන්ට යථාර්ථවාදී ව සමාජය අවලෝකනය කරමින් පාඨකයා ඥානනය කිරීම ය. සිංහල කවියේ උප ශානරයන්ට අයත් ජනප්‍රිය කාව්‍ය විශේෂයක් ලෙස කෙටි කවිය දැක්විය හැකිය. සංක්ෂිප්ත භාවයෙන් මෙම කවි නිර්මාණය වුව ද සෞන්දර්යයට එහා ගිය ගැඹුරු අර්ථයක් මෙම කවි විශේෂයේ ගැබ් ව තිබීම මෙහි සුවිශේෂිතාවය යි. 

    හයිකු කවියට සමාන ආකෘතියක් මෙම නිර්මාණ තුළ අන්තර්ගත වුව ද සිංහල කෙටි කවියට දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම කෙටි කවියේ ආරම්භය සටහන් කරන වැදගත් ම සාධකයක් ලෙස සීගිරි ගීය සැලකිය හැක. සොකරි, කෝලම්, නාඩගම්,  ගැමි නාටක, ශාන්ති කර්ම ආදියේ ද මෙම කෙටි කවි දැකිය හැක. මේ අනුව පැහැදිලි වනුයේ කෙටි කවි හයිකු ලෙස හැඳින්වුව ද හයිකු කවියේ එක් ලක්ෂණයක් වන සංක්ෂිප්ත ස්වරූපය පමණක් මෙහි ගැබ් ව ඇත. එසේ ම සිංහල කෙටි කවියේ ආරම්භයට දීර්ඝතර ඉතිහාසයක් පවතින බව ද පැහැදිලි වේ. ආරියවංශ රණවීර, සිරි ගුනසිංහ‍, මහගමසේකර, නන්දන වීරසිංහ, මදුරසිංහ ගුණතිලක ආදින්ගේ කෙටි කවි හේතුවෙන් රස විඳින්නන් මේ කෙරේ ආකර්ෂණය වී ඇත.

    මලක 

    මෙලෙක මත

    නිල මැස්සෙක්

    මල් ශාලාවක (සසර)

    ආරියවංශ රණවීර මෙම කවියේ දී සංකල්ප රූප ජනිත කිරීමට මල් වඩමක වසා සිටින නිල මැස්සෙක් අනුභූතිය ලෙස යොදා ගත්ත ද මෙහි අර්ථය සරල වූවක් නොවේ. මෙහි දී මල් ශාලාව යනුවෙන් දක්වා ඇත්තේ මිනිස් ජීවිතය හා සමාන වූවකි.මෙහි දී නිල මැස්සා යනුවෙන් දක්වා ඇත්තේ මනුෂ්‍ය සංහතියට ම අත් විඳීමට සිදුවන මරණය යි. එසේ ම මල යනු මෙම බිඳෙන සුලු අනිත්‍ය ජීවිතය යි. ලියනගේ අමරකීර්ති නම් ලේඛකයා මේ සඳහා තවත් අර්ථයක් දක්වයි. මෙහි මල් ශාලාව නොගැළපෙන විවාහයක් හා සමාන බවත් එයින් පීඩා විඳින ස්ත්‍රිය මල බවත් කඨෝර පැවතුම් ඇති පුරුෂයා නිල මැස්සා හා සමාන බවත් ය. මෙම කෙටි කවිය රස විඳින පුද්ගලයා ජීවිතයේ ගැඹුර තේරුම් ගැනීමට උත්සුක වේ. කවියා මෙම කවියට සසර යන්න තේමාම ලෙස යොදා ගෙන ඇත්තේ ද ජීවිතයේ කර්කශ ස්වභාවය හේතුවෙන් විය හැක.

    තුන් පෙති හතර පස් පෙති කෘතියේ නන්දන වීරසිංහයන්ගේ කවියක් පහතින් දැක්වේ.

    “රාත්‍රිය ඉඩහරී

    හැම නිවෙසක ම

    ඇතුළු එළියට”

    ජීවන අරගලයක යෙදී සිටින මිනිසාට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා වෙහෙසීමට සිදුවන අතර එම සියලු වගකීමි වලින් නිදහසක් හිමි වනුයේ රාත්‍රියේදී ය. රාත්‍රිය යනු නින්ද ම පමණක් නොවෙ. තම ගෙවන ජීවිතය ගැන සිතීමට, ජීවිතයේ සොඳුරු අස්පර්ශනීය ඉසව් කරා ළඟා වීමට අවසර හිමි වන මොහොත යි. එනම් දෛනික ජීවිතයේ සඟවාගෙන සිටින අභ්‍යන්තරික හැඟුම් වලට එළියක් ලැබෙන කාලය යි. පද තුනකින් යුතු මෙම කවියෙන් ලැබෙන ජීවිතාවබෝධය අතිමහත් ය. 

    තරුණ කවියෙක් වන සෞම්‍ය සඳරුවන් ලියනගේ කෙටි කවියක් පහතින් දැක්වේ.

    “ඉදිව 

    දාගැබ් සුවිසල්

    සඟවත්

    රුපුන් කඩු ගෑ තැන්

    ගලාගිය ලේ පැල්ලම් “

    (වන්දාමි චේතියං)

    මෙහි දේශපාලනික අර්ථයක් ජනිත වේ. තිස් වසරක යුද්ධයෙන් පසු බෞද්ධ ජාතිකවාදි  නැග්ම සහ ආගමික සිද්ධස්ථාන බිහි වීමත් එයින් එම ඉතිහාසය අමතක කළ හැකි ද යන්න මෙම කවියා ප්‍රශ්න කරයි. 

    සිංහල සහිත්‍යයට එක් වූ මෙම කෙටි කවිය වත්මනෙහි පාඨකයන් අතර ජනප්‍රිය වීමට හේතුව වනුයේ සමාජ, දේශපාලන ආදි සියලු ගැඹුරු කාරණා පිළිබඳ සංෂිප්ත ව දක්වා තිබීම යි. මෙම කෙටි කවි මඟින් භාව පූර්ණ සහ අර්ථ පූර්ණත්වය ගොඩ නැඟීම හේතුවෙන් රසිකයාට ජීවිතය ගැඹුරින් අත් මිඳීමට අවකාශ සලසා දීම සිදු වන බව මෙයින් පැහැදිලි වේ.

     

     චාමිකා ප්‍රියංගනී නාරංගොඩ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here