ජීවිත වනසන ටික් ටොක් ජීවිත

    0
    7

    ඉස්සර ටක්  ටික් ටොක් කියලා කටින් කියලා හැංගි මුත්තම් සෙල්ලම් කලාට  දැන් ටික් ටොක් කියන්නෙ ඊට එහා ගියපු භයානක ලෙඩක්. ලෙඩක්  වුණත් ඕනවට වඩා වැඩි වුණාම වසංගතයක් වෙනවනෙ. ටික් ටොක් කියන්නෙත් එහෙම බලෙන් බදාගෙන හදාගත්ත වසංගතයක්ම  තමයි.

    තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සු  කාර්යබහුල වෙන  නිසාම මානව සම්බන්ධතා සීමා වෙනවා. ඉස්සර කල්ලි  ගැහිලා නිතර නිතර  විනෝද වුණාට වැඩ වැඩි නිසාම ඒවාට වෙලාවක් නැති වෙනවා.  තාක්ෂනය අස්සේ මිනිස්සුන්ව හිර කරවන සමාගම් විසින්ම  ඒ හිස් තැන පුරවන්න, මිනිස්සුන්ගේ මානසික නිදහස සහ  RELAXATION එක වෙනුවෙන්  එක එක විනෝදාත්මක මෘදුකාංග එහෙමත් නැත්තම් APP නිර්මාණය කරනවා.  FACE BOOK , INSTRAGRAM , TIKTOK මේ වගේ දේවල් කාර්යබහුල ජීවිතයට පොඩි වෙනසක් වෙනුවෙන් දියුණු රටවල් විසින්  නිර්මාණය කරල ලෝකෙටම තෑගි කළා. 

    නිර්මාණය කළා වගේම ඔවුන් ඒවා භාවිතා කරන්නෙත් ඒ අවශ්‍යතාව වෙනුවෙන්ම පමණයි. ඉගනගන්න ගමන්  රස්සාවට යන ගමන්  RESEARCH එකක් කරන ගමන්  පොඩි බ්‍රේක් එකකට බුකිය වටේ රවුමක් ගිහින් ටික්  ටොක් එකක් යාලුවොත් එක්ක බෙදාගන්න එක ඒ මිනිස්සුන්ගේ ජීවිත වල එක කොටසක් විතරයි. හැබැයි අපේ රටේ තරුණ පිරිස හැම දෙයක්ම වගේ මේකත් අල්ලාගත්තේ  වැරදි පැත්තෙන්.  ජීවිතේට රිලැක්ස් එකක් වෙනුවෙන් නිර්මාණය වුණ දේවල් අපේ රටේ තරුණ  පරම්පරාව ජීවිතේම කරගෙන පඹ ගාලක පැටලිලා ඔහේ පොරකනවා.

    බුකියේ යාළුවො පන්දාහයි ඉන්ස්ටා එකේ විසිපන්දාහයි  ටික් ටෝක් එකේ තිස් දාහයි. ඔක්කොම ලක්ෂයක් විතර පිරිවර වටකරගෙන බැබළි බැබළි හිටියට  ඩේටා කාඩ් එකක් නැතුව ඉන්ටෙර්නෙට් නැති වෙච්ච ගමන්  ඉතුරුවෙන්නේ අම්මයි තාත්තයි පවුලේ දෙතුන් දෙනා විතරයි.  ඩාර්ලින්, අනේ පනේ කියාගෙන හිටපු, ප්‍රින්සස් ලා, රොක්ස් ලා, එන්ජල් ලා උන්හිටි තැනක් වත් හොයාගන්න නැහැ .

    දියුණු රටවල තරුණ තරුණියෝ තමන්ගේ අධ්‍යාපන ව්‍යාපෘති  විදියට විනෝදාත්මක APP ලෝකෙට හඳුන්වලා දීලා  ඒ සතුට පවුලේ අයත් එක්ක බුක්ති විඳිනකොට  අපි වගේ තුන්වෙනි ලෝකේ දුප්පත් රටවල තරුණ පරම්පරාව පවුලේ මිනිස්සුන්ව අමතක කරලා ඒ APP කියන  ෆැන්ටසි වල මුළු ජීවිතේම දිය කර කර ඔහේ නිකන් කාලකන්ණි වෙනවා.

    රටේ තරුණ පරම්පරාව ඉන්ටර්නෙට් එකට හිර කෙරුවහම වචන අස්සේ රවට්ටගන්න ලේසි නිසා පාලකයොත් මේ ව්‍යසනය දැක්කා නොදැක්කා වගේ ඉන්නවා.  හැබැයි මේ හැමදේකම ප්‍රතිපල විදිහට තව වසර කිහිපයකින්  චින්තනයක් නැති , නිර්මාණශීලි භාවයක් නැති , ඔහේ දෙපැත්තට වැනෙන හයිය නැති පඹයින්ගෙන් පිරිච්ච රටක් බිහිවීම නම් කාටවත් නවත්තන්න බැහැ.

    DOS එක වැඩි උනාම බෙහෙතක් උනත් වහ වෙනවා , සීමාවක් නැති කෝලම් APP වලින් අපේ රටටත් වෙලා තියෙන්නේ වහ කෑවා වගේ දෙයක් තමයි. දස මහා යෝධයෝ ගැන නෙමෙයි, ලංකාවේ අධ්‍යාපන ඇමති කව්ද කියල කියන්න තරම්වත් සාමාන්‍ය අවබෝධයක් නැති තරුණ පිරිසක් එක්ක, අනන්‍යතාවක් තියන ශ්‍රී ලංකාවක් පවත්වාගෙන යාම හීනයක් විතරක් වෙයිද කියලත් හිතෙනවා .

    අළුත් දශකයේ පළවෙනි අවුරුද්දත් ඔන්න යන්න ගියා.  හැබැයි ඒ නිකම්ම නෙමයි  මිනිස්සුන්ගේ ජීවිත උඩු යටිකුරු කරලා , ඔළුව කුරුවල් කරලා , ලෝකෙම කටවල් මාස්ක් වලින් වහලා , සැනටයිසර් නාවලා , භාගෙට බාගෙට පුරවලා ලෝකෙම හඬවලා 2020 යන්නම  ගියා, 

     අවුරුද්ද අලුත් උනා කියලා කැලැන්ඩරේ මාරු උනාට අපි වෙනස් වුනේ නැත්තම්  අපිටවත්, රටටවත්, මිනිස්සුන්ටවත්, කිසිම යහපතක් නම්  වෙන්නේ නැහැ.

    internet off කරලා  මොහොතක් හිතලා බලන්න. පහු ගිය අවුරුද්දේ ඔබෙන්,  ඔබට, පවුලට,  පරිසරයට, රටට ලෝකෙට  සිදු වුණ යහපත මොකක්ද කියලා. එතකොට ශේෂ වෙන්නෙ බුකියයි, ටික් ටෝක් වීඩියෝ ටිකයි විතරයි නම්  ඔබත් දියුණු රටක උගුලකට අහුවුණ එකම එක  ඉත්තෙක් විතරයි. ඔබ පරාද වෙලා ඉවරයි වගේම ඔබේ පවුල, ඔබේ රට පරාජයට පත් කරලා ඉවරයි. මොකද මේ ලෝකේ ලොකුම නාස්තිය තමයි ” යහපත් ලෙස ප්‍රයෝජනයට නොගෙන නාස්ති කරපු කාළය”

    මේ අලුත් අවුරුද්දේ වත් හිතන්න  තමන්ගෙ ජීවිතයේ අරමුණු වලට යන්න මහන්සි වෙන  අතරතුර  විවේකයක් ලබාගැනීමට ටික් ටොක් කරනවද , එහෙමත් නැත්තම් දවස පුරාම ටික් ටොක් කරලා වෙලාවක් තිබ්බොත් ජීවත් වෙනවද කියලා.

     

     අනිශා ජයකොඩි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here