තරගාවලි පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකා පිල හෙට ජොහැනස්බර්ග් පිටියට

0
21

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ භූමියේදී පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය බේරා ගැනීමේ අරමුණින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (3) ජොහැනස්බර්ග්හිදී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරග බිමට පිවිසෙයි.

පසුගිය වසරේ සිය මවුබිමේදී අත්වූ පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එබැවින් ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයෙන් හෙට තරගයට එක්වන අතර, තරගාවලි 2කදී අඛණ්ඩව රැකගෙන ආ අපරාජිත වාර්තාව බේරා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. ඒ සඳහා වසර 20කට පසුව මේ තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම අනිවාර්ය වී තිබේ.

මේ තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත හොත් යළිත් ලෝක ශූරතාවලියේ 6 වැනි ස්ථානය දක්වාත්, අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි තැන දක්වාත් ඉහළට යෑමට හැකි වනු ඇත.

කෙසේ වෙතත් මේ දෙපිල අතර, මේ වන විට තරගාවලි 12ක් පවත්වා ඇති අතර, එහිදී අවසන් වරට තරගාවලියක් ජය පරාජයෙන් තොරව 1-1 (3) නිමාවී ඇත්තේ 2000 වසරේදීය. අනතුරුව පැවැති තරගාවලි නමයෙන් දකුණු අප්‍රිකාව 5ක් සහ ශ්‍රී ලංකාව 4ක් ලෙස ජයගෙන තිබේ.

මේ දෙපිල අවසන් වරට හමුවූ තරගාවලි ද්විත්වයේදීම ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, දකුණු අප්‍රිකාව අවසන් වරට 2016 වසරේ පැවැති ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් තරගාවලියක් (3-0) ජය ගෙන තිබේ.

ජොහැනස්බර්ග් තරග බිම ශ්‍රී ලංකා පිලට එතරම් සුබදායක නොවීම ද අමතර පීඩනයක් ගෙන දෙන්නකි. මේ දෙපිල එහිදී තෙවරක් හමුව ඇති අතර, එම තරග ත්‍රිත්වයම ඉනිමකින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ.

වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවල ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් බේරී සිටීමට අමතරව, ක්‍රීඩකයන් ආබාධවලින් බේරා ගැනීමේ අභියෝගය ද එල්ල වී තිබේ. තරගාවලිය ආරම්භ වීමටත් පෙර ශ්‍රී ලංකා පිලේ ආබාධ ලැයිස්තුව ආරම්භ වූයේ වේග පන්දු යවන සුරංග ලක්මාල් ගෙනි. අනතුරුව පළමු තරගයේදී තවත් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් ආබාධවලට ගොදුරු වූහ.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට සති 2ක් විවේක ගැනීමට සිදු වීමෙන් මේ තරගය අහිමි වන අතර, වේග පන්දු යවන ක්‍රීඩකයන් වන කසුන් රාජිතට සහ ළහිරු කුමාරට ද මේ තරගයට එක්වීමේ අවස්ථාව අහිමිව තිබේ.

මේ අතරින් සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්ට හෙට තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි නායක දිමුත් කරුණාරත්න බලාපොරොත්තු තබා තිබේ.

මේ ක්‍රීඩකයන් අතුරින් ධනංජය, චන්දිමාල් සමඟ දසුන් ශානක පමණක් පළමු තරගයේ පළමු ඉනිමේදී ලකුණු අතරට පිවිසි අතර, දෙවැනි ඉනිමේදී කුසල් පෙරේරා සහ වනිඳු හසරංග අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

පළමු තරගයේදී අඩු ලකුණු ගණනකට දැවී ගිය නායක දිමුත් කරුණාරත්න සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් විශේෂයෙන්ම මේ තරගයේදී වගකීම් විරහිත පිතිහරඹයෙන් මිදී ලකුණු අතරට පිවිසීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.

දිමුත්ගේ අවසන් ටෙස්ට් ඉනිම 11 තුළ එතරම් සාර්ථකත්වයක් දැකීමට නොහැකි වන්නේ එහිදී රැස්කර ඇත්තේ අර්ධ ශතක 2ක් පමණක් වීම නිසාය. මෙන්ඩිස් මින් පෙර පැවැති සිම්බාබ්වේ සමඟ තරගයේදී ශතකයක් රැස් කළේ ඉනිම 19කට පසුවය.

ධනංජය තරගයට එක් නොවන බැවින් ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දුට හෝ ළහිරු තිරිමාන්නට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩක් තිබේ. මිනෝද් භානුක සහ සන්තුෂ් ගුණතිලකත් පිතිකරුවන් ලෙස සංචිතයේ සිටියත් ඔවුන්ට තවමත් ජගත් ටෙස්ට් වරම් ලැබී නැත.

වේග පන්දු යවන්නන් අතින් දුෂ්මන්ත චමීර සහ නවක ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සිටින අතර, තුන් ඉරියව් පළපුරුදු ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ද සංචිතයට ඇතුළත්ව සිටිති.

දකුණු අප්‍රිකානුවන් පිතිකරණය සහ පන්දු යැවීම යන දෙඅංශයෙන්ම ශක්තිමත් වී තිබේ. කෙසේ වෙතත් මේ තරගයට ඔවුන්ගේ වේග පන්දු බළඇණිය තවත් ශක්තිමත් කරමින් කලක් ලොව අංක එකේ පන්දු යවන්නාව සිටි කගීසෝ රබාඩා සමඟ බියුරන් හෙන්ඩ්‍රික්ස් කැඳවා තිබේ.

පළමු තරගයේදී ෆෆ් ඩු ප්ලෙසිස් සිය මංගල ද්විත්ව ශතකය අහිමි කර ගත්තේ එක් ලකුණ කිනි. තවත් පිතිකරුවෝ සිවුදෙනෙක් අර්ධ ශතක වාර්තා කළහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here