ප්‍රාග්ධන සටනේ පාපැදි සොල්දාදුවා

0
10
2 ජනවාරි, 2021

වර්තමාන ලෝකය තුළ පවතින්නේ ප්‍රාග්ධනය මූලික සමාජයකි. ප්‍රාග් ධනයෙන් තොරව කිසිවක් සිදුකළ හැකිද යන්න ප්‍රශ්නයක් වන තරමට සමස්ත ගෝලිය සමාජයම ප්‍රාග්ධනය විසින් ගිලදමා තිබේ. එයින් විනිර්මුක්තවීමට ක්‍රීඩාවට හැකියාවක් ලැබී නොමැති බව සංවාදයට ලක්කරන 2019/20 වසරේ තිරගත වුණු සිනමා පටයක් ලෙස ‘ද රේසර්’ චිත්‍රපටය දැක්විය හැකිය.

යුරෝපානු සිනමා උළෙල වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම චිත්‍රපටය ප්‍රාග්ධනය හා ගැටෙන බෙල්ජියම් පාපැදි ධාවකයකු (ඩොම් චාබොල්) හා ඔහුගේ කණ්ඩායම වටා දිගහැරෙයි. ඒ 1998 වසරේ ප්‍රංශ පාපැදි සවාරියේ අයර්ලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැති අදියර අළලා ය.

පාපැදි නමැති වෘත්තීය ක්‍රීඩාව, කණ්ඩායම් ක්‍රීඩාවක් බවත් එහිදී ජයග්‍රහණය යනු ඒකල ක්‍රියාවලියක් නොව සාමූහික ප්‍රයත්නයක සැලසුම් සහගත අවසානයක් බවත් ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රතිරූපනය කිරීමට ‘ද රේසර්’ හි අධ්‍යක්ෂවරයා සමත්ව ඇත.

පාපැදි කණ්ඩායමේ සාකච්ඡාවක් යනු ක්‍රීඩකත්වයේ ග්‍රීක යුගය තුළ ජීවත්වන ක්‍රීඩකයා ක්ෂණයෙන් ජයග්‍රහණය පමණක් ඉලක්ක කරගත් රෝමානු ක්‍රීඩා සංස්කෘතියේ උපරි අවස්ථාව වෙත රැගෙන එන්නකි. ඉන් සිදුවනුයේ ක්‍රීඩකයන් දැඩි නොසන්සුන්තාවයට පත්වීමය. එය නිරූපනය කරන්නේ කණ්ඩායමේ සිටින වේගවත් ධාවකයාගේ නිදි වර්ජිත භාවය හා මානසික කැළඹීමය.

කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ‘වයිකිං’ ය. ඔහු නියෝජනය කරනුයේ ප්‍රාග් ධන සමාජයයි. ඔහු තුළින් කිසිදු මොහොතක මනුෂ්‍යත්වයේ සලකුණු හෙළිනොවන තරමට වයිකිංගේ චරිතය දෘඩය. ඩොම්ගේ කැපකිරීම් සියල්ල ප්‍රාග්ධන උපක්‍රම අභිමුව ඉවත හෙළනු ලබයි. ප්‍රාග්ධනය සංවේදී වන්නේ සාර්ථකත්වය පිළිබඳ පමණි. එයට මනුෂ්‍යත්වයක් නැත. එසේම ප්‍රාග් ධනය හා පවතින සම්බන්ධතාවයෙන් කිසිදා ක්‍රීඩකයන්ට ගැලවීමට නොහැකි බව මෙමගින් කියැවෙයි.

අනතුරුව විහිදෙනේනේ ඩොම්ගේ මානසික ගැටුම සම්බන්ධයෙනි. ඔහු සිය වේග බාධකය ඉක්මවා යන්නට, හුදෙකලා මාර්ගයක සිදුකරණ පුහුණුවක් හා එකී උත්සහය අතරතුර ඇද වැටෙන අයුරු නිරූපිතය. එය හුදු ඇදවැටීමක් පමණක් නොවේ. ප්‍රාග්ධන ගැටුමට ගැලපීමට උත්සහ කර අවසානයේ සිදුවන අසාර්ථක වීමකි. ඔහු වැටෙන්නේ ගලා යන දිය පාරක් මතින් වැටී ඇති පාලමක් අසළදීය. එහි එක් ඉවුරක සිට තවත් ඉවුරකට යන්නට උත්සහ ගනිමින් සිටියදීය. එය විචිත්‍ර රූපකාර්ථයකි. එසේම එම පාලමට ඈතට විහිදෙන මාර්ගය නොපැහැදිලිය, වංගු සහිතය. ප්‍රාග්ධන ගැටුමින් පරාජය වන ක්‍රීඩකයකුගේ අවිනිශ්චිත අනාගතය ප්‍රතීයමාන කර තිබේ.

ඇද වැටීමෙන් අනතුරුව ඩොම් පාපැදිය අල්ලා දිය පහරට විසිකර දමයි. ඒ එළඹෙන අවිනිශ්චිත බව ප්‍රකාශ කරමිනි. ඕනෑම ක්‍රීඩකයකු සමුගැනීමට කාලයක් උදාවෙයි. එය ක්‍රීඩාවේ රැඳී සිටිනවාට වඩා අසීරුය. සංවේදීය, හැඟීම් බරය. පාපැදිය ඉවත දැමූ (විශ්‍රාමික) ක්‍රීඩකයාට මුහුණදීමට සිදුවන සැබෑ යතාර්ථය ඉන්පසු පිළිබිඹු කෙරේ. එහෙත් අවසන ඔහුගේ සිහියට එන්නේ තමන් උපදෙස් ලබාගත් පෞද්ගලික වෛද්‍යවරිය සම්බන්ධයෙනි. ඒ මානව සම්බන්ධතාවයේ සංවේදී භාවය සියුම් ප්‍රකාශනයක ආරම්භයකි.

දෙදෙනා තම ගමන ආරම්භ කරන්නේ වම් පසින් මායිම් කනු ගසා වෙන්කළ ඉදිරියෙන් තැනිතලා මාවත ක් ඔස්සේ ය. දෙදෙනාම ගමන් ගනිමින් ඇත්තේ අවිනිශ්චිත අනගාතයක් වෙත ය. ඉන් අනතුරුව පාපැදි තරගයක ජයග්‍රහණය පිටුපස ඇති ගැඹුරු කථාංගය සිනමා රසිකයා ඉදිරියේ සාකච්ඡාවට බඳුන් වෙයි.

මානුෂීය සම්බන්ධතාවයන් මගින් මානසික නිදහස්වීම, මධ්‍යසාර, ආලිංගනය සංයමයකින් යුතුව හැසිරවීමට මෙහිදී අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. පාපැදියට ඔබ්බෙන් ජීවිතයක් ඇති බව වෛද්‍යවරිය ඩොම්ට සිහිපත් කරවයි. ඩොම් සොයා එන වයිකිං පසුදින තරගයට ඔහු තරග වදින බව ප්‍රකාශ කරයි.

තරගයේ පළමු අදියරේ කරට කර සටනක් දෙමින් ඉදිරි පෙළ රැකගැනීමට මැදිවියට එළඹෙන ඩොම් ගන්නා උත්සහය හා අවසානයේ ඉතා පටු ඉඩකින් ටටාරේ ට (කණ්ඩායමේ වේගවත් ක්‍රීඩකයා) ජයග්‍රහණය හිමිකර දෙයි. ඉන්පසු ඇත්තේ ඩොම්ගේ ගැඹුරු මානසික කම්පනය දක්වන කණ්ඩායම් සම්භාහකයාගේ හදිසි අභාවයත්, වෛද්‍යවරිය විසින් ඩොම් තුළ අවදිකර ඇති සංවේදී භාවයත් නිරූපනය කෙරේ. එය ඩොම් තුළ සුවිශාල පරිවර්තනයක් සිදුකරන්නේ ප්‍රාග්ධනයේ නියාමනයන්ට අභියෝග කරමිනි. අවසානයේ ප්‍රාග්ධනය ඩොම් ඉදිරියේ දණින් වැටෙන්නේ කොන්ත්‍රාත්තුව දිගු කිරීමට තීරණය කරමිනි.

තහනම් උත්තේජක භාවිතයේ ආදීනව, ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයන් සිදුකරන කැපකිරීම්, ඔවුන්ගේ හිමිවීම් හා අහිමිවීම්, ක්‍රීඩක දක්ෂතාවය වියැකී යන විට මුහුණපෑමට සිදුවන වෘත්තීය අවිනිශ්චිත භාවය සිනමා පටය තුළ ගැඹුරින් සාකච්ඡාවට බඳුන්කර තිබේ. අබිං යනු අබිංය. එයට හුරුවූ පසු එය ප්‍රතික්ෂේප කිරිම දුෂ්කරය. ක්‍රීඩාව යනු අබිං කෑමක්ද? කිරන් ජේ. වොල්ෂ් අධ්‍යක්ෂණය කළ කියාරන් කැසිඩි හා කිරන් ජේ වොල්ෂ් රචනා කළ ද රේසර් පැය එකයි මිනිත්තු හතළිස් එකක් පුරා විහිදෙන ප්‍රේක්ෂකයා තුළ ශෝක රසයක් මතුකරන අපූරු සිනමා පටයකි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here