මධ්‍යම අධිවේගයේ මීරිගම-කුරුණෑගල කොටස මාර්තුවේ ජනතා අයිතියට

0
49

මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස එළඹෙන මාර්තු මාසයේදී ජාතියට දායාද කිරීමට හැකි වනු ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. එච්. එම්. ඒ. කේ. කෙහෙල්ඇල්ල මහතා ‘දිනමිණ’ට ඊයේ (01) පැවසීය. එම කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 82 කින් පමණ අවසන් කර තිබෙන අතර එළඹෙන පෙබරවාරි මාසයේ අවසානය වන විට සම්පූර්ණයෙන්ම නිම කරන ලෙස උපදෙස්දී තිබෙන බවද ඒ අනුව එම කාලයේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කීවේය.

පසුගිය 2017 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කරන ලද මේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගිය 2019 වසරේ අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණු නමුත් එම කාලයේ අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය දීර්ඝ කළ බව සිහිපත් කළ ඒ මහතා කෙසේ නමුත් නියමිත කාලයට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් එළඹෙන පෙබරවාරි මාසය අවසානය වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස (මීරිගම – කුරුණෑගල) අවසන් කිරීමට අපේක්ෂා කරන බවද කීවේය.

මේ වෙනුවෙන් රුපියල් බිලියන 137.1ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබෙන අතර මංතීරු 4කින් යුක්තව මුදල් ගෙවීමේ කවුළු සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4ක් යටතේ ක්‍රියාත්මක වේ.

අධිවේගී මාර්ගය ඉහළින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 13ක්, අධිවේගී මාර්ගය ඉහළින් හා පහලින් ගමන් කරන කොටස් 46ද බෝක්කු 130ක්ද සම්පූර්ණයෙන් ගත් කල මීටර් 9,825ක් වන කොන්ක්‍රීට් කණුමත දිවෙන මාර්ග කොටස් 35 කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මේ කොටස කිලෝමීටර් 40.91ක මාර්ග කොටසක් සඳහා මහජනයාගේ පහසුව හා විය හැකි පාරිසරික බලපෑම් අවම වන පරිදි අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ජල ගැලීම් වැනි පාරිසරික තත්ත්ව ඇතිවීම අවම වන ආකාරයට ක්ෂේත්‍රය කළමනාකරණය කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයන්ට අමතරව ප්‍රදේශයේ මහජනතාවගේද අදහස් සැලකිල්ලට ගනිමිනි.

 

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here