මම දකින්නේ එකම එක හීනයක් විතරයි

0
11
2 ජනවාරි, 2021

NILANI Rathnayake

නගරයේ ළමයින්ට ඇති පහසුකම් ගමේ ළමයින්ට නෑ. නමුත් ගමේ ළමයි අඩු පහසුකම්වලින් දිගු ගමනක් යනවා.

ඇය පත්මා විජේසුන්දර ක්‍රිඩා උපදේශිකාවගේ නිර්දේශය අනුව යුද හමුදා ක්‍රිඩා ඇකඩමියට ඇතුළත්ව දීර්ඝ කාලයක් තිස්සේ මලල ක්‍රීඩාවේ නිමග්නව සිටියි. අද වන විට මිටර් 3000 බාධක දිවිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ හොඳම කාලය වන මිනිත්තු 9යි තත්පර 46 .76 කාලය පිහිටුවා ඇත්තේ ද ඇය විසිනි. ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟාවීමේ ඉලක්ක ගත පුහුණුවේ නිරතව සිටින මලල ක්‍රීඩිකා නිලානී රත්නායකගේ ක්‍රීඩා ජීවිතයෙන් පරිබාහිර ජීවිතය සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ කළ ක්‍රීඩා නොවන සාකච්ඡාවකි.

ඔබ ඔබව දකින්නේ කවරාකාරයෙන් ද?

ක්‍රීඩිකාවක්, සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන තැනැත්තියක් ලෙසයි.

උපන්දිනය එහෙම කියන්න කැමැති ද?

1990 වසරේ සැප්තැම්බර් 8 වැනිදා.

උපන් ගම?

රත්නපුරයේ, බටේවෙල.

පවුලේ අය?

මමයි, අම්මයි, තාත්තායි, නංගිලා දෙන්නයි.

පවුලේ අය ගැන හැඳින්වීමක් කරමු?

අපිට පොඩි තේ වත්තක් තියෙනවා. ඒක බලා කියා ගෙන ජීවන උපාය සලසාගෙන ඉන්නවා.

ඔබේ රුචි අරුචිකම් ගැන කතාකරමු ද?

කතාකරමු.

කැමති දේවල්?

අවංක වගේම සත්‍යවාදී අයට කැමැතියි.

අකමැති දේවල්?

ඒකෙ අනිත් පැත්ත තමයි.

පත්තර එහෙම බලනවා ද?

විශේෂයෙන් බලන්න වෙලාවක් නම් නෑ. ලැබුණු වෙලාවට බලනවා.

මොන වගේ පත්තර ද වැඩියෙන් බලන්නේ?

සමස්ත ලංකා හෝ ජාතික හෝ නැත්නම් ඒ වගේ විශේෂ තරගාවලියක් පැවැත්වෙද්දී ජාතික පුවත් පත් වල ක්‍රීඩා පිටුව අනිවාර්යයෙන් බලනවා.

ටී.වී.බලනවා ද?

ඔව්.

රූපවාහිනියේ විශේෂයෙන් බලන දේවල් තියෙනව ද?

විශේෂයක් නෑ. නමුත් ප්‍රවෘත්ති අනිවාර්යයෙන් බලනවා.

පොත් එහෙම කියවනව ද?

නැහැ.

අන්තිමට කියවපු පොත?

පාසල් යන කාලේ උසස් පෙළ කරනකොට කියවපු පොත් තමයි අන්තිමට කියෙව්වේ.

කැමති ලේඛකයෝ ඉන්නවා ද?

විශේෂයක් නෑ.

ඒ කියන්නේ කැමැතිම පොතක් එහෙමත් නැතිව ඇති?

ඇත්තටම කියන්න කිසිම විශේෂ පොතකට කැමති නෑ. ඒ කියවීමට ඇති අවස්ථාව අඩු නිසා.

සිනමාවට කැමති ද?

ඔව්.

මොන සිනමාවට ද වඩාත් කැමති?

හින්දි සිනමාවට වඩාත් කැමැතියි. සිංහල චිත්‍රපටිත් නරඹනවා. වැඩිය කැමැති හාස්‍ය උත්පාදන චිත්‍රපට වලට.

සංගීතය ගැන ඔබේ යම් අදහසක් තිබෙනවා ද?

සංගීතයට නම් නැඹුරුවක් තිබෙනවා.

එහෙනම් විශේෂයෙන් තෝරාගෙන අහන සිංදු එහෙමත් ඇති?

පුහුණු විම් වලට අමතරව වැඩියෙන්ම කාලය ගතවන්නේ සිංදු එක්ක තමයි ඉතිං.

ඹයාගේ පරමාදර්ශී චරිතය?

මගේ ජීවිතය ඇතුළේ එහෙම පරමාදර්ශී චරිත නෑ.

ඒ මොකද ඒ ?

මම එහෙම විශේෂ ප්‍රතිරුප පසුපස හඹා යන්නේ නැති නිසා.

ඔබේ විදේශ සංචාරවලදී දැකපු යහපත් දේවල් ඇති ?

පිට රටවලට ගිය බොහෝ අවස්ථාවලදී මම දකින දෙය තමයි ඒ රටවල ජීවත්වන මිනිස්සු බොහෝ දෙනෙක් අපේ රටට වැඩිය විනය රකින්න කැමැත්ත දක්වනවා කියලා. ඉතින් ඔවුන් මාර්ග නිති රීති පවා අකුරටම රකිමින් ඝෝෂාකාරී ශබ්ද නො නගා ගමන් කරනවා. ඒ නිසා අනවශ්‍ය ශබ්ද දූෂණ නෑ.

ආදරය ගැන මොනවද හිතෙන්නේ?

ආදරය කරන අයට ඒක සුන්දර ඇති.

ඒ කියන්නේ ඔබ ආදරය කරන්නෙ නෑ කියන එක ද?

ඒකට තවම වෙලාවක් නෑ.

එතකොට කසාදය ගැන මොකද හිතන්නෙ?

අපි වගේ ක්‍රීඩිකාවකට කසාදය බාධාවක්. ක්‍රීඩාවෙන් සමුගත් දාකට තමයි කසාදය ගැන සිතන්න වෙන්නේ.

ස්වාමිපුරුෂයා මෙසේ වියයුතුයැයි කියන සිහිනයක් එහෙම ඇති නේද?

විශේෂයක් නෑ. හොඳ අවංක, බොරුවෙන් තොර කෙනෙකු විය යුතුයි.

අද කසාදය තරමට ම දිස්කසාදය ගැනත් කතා කරනවා?

අපොයි ඔව්. ඒවා තමයි වැඩිපුරම දකින්න අහන්න ලැබෙන්නේ.

ඔබ ඔබේ ජීවිතයේ අද සිටින තත්ත්වය ගැන සතුටු වෙනවා ද?

නිහතමානීව සතුටක් තියෙනවා. ගොඩක් දුක් විඳලා කැපකිරිම් කරලා ආපු ගමනක් මේක.

එහෙම තත්ත්වයකට පත්වෙන්න නොහැකි වූ ඔබේ වයසේ හෝ ඊට ආසන්න වයස්වල ඉන්න අයගැන මොකද හිතන්නෙ?

අවංකවම කැපවීමෙන් පුහුණුවිම් කරපු නිසා තමයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. පුහුණු විම් වලට අවංක වුණේ නැත්නම් වැඩක් නෑ.

උත්සාහය – උනන්දුව තියෙනවා නම් ජයග්‍රහණය ලබන්න හැකි බවද ඔබ කියන්නේ ?

උත්සාහය – උනන්දුව කැපවීම හා ඉලක්ක තියෙන අයට ජීවිතය ජයගන්න හොඳටම අවස්ථාව තිබෙනවා

ඔබේ මිතුරු ඇසුර ගැන කතාකරන්න කැමති ද?

පාසල් කාලයේ සිට මා සමඟ මිතුදම් ගොඩනගාගත් පිරිස තවමත් සිටිනවා.

දැන් ඔය පරණ යහළු යෙහෙළියන් හම්බවෙනවා ද?

ගෙදර ගියාම තමයි හමුවන්නේ.

ඒගොල්ලෝ මොනවද ඔයා ගැන කියන්නේ?

අවංකවම ඒ අය මං ගැන සතුටු වෙනවා. ඒ වගෙම මගේ ගමනට ආශිර්වාද කරනවා. අඩු පාඩු වගේම පුවත් පත් වල මා ගැන යන ලිපි කියවලා මට ප්‍රශංසා කරනවා.

ඉගෙන ගත් පාසල?

මම පාසල් තුනක අධ්‍යාපන හැදැරුවා. ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ බටේපොල ප්‍රාථමික විද්‍යාලයෙන්, 2 – 8 දක්වා ධම්මිස්සර මහා විද්‍යාලයෙන්. 9 – 12 වසර දක්වා රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය හදාරා තිබෙනවා.

පාසල් කාලේ අමතක නොවනම විෂය වුණේ?

ඉංග්‍රිසි තමයි.

ඒ කියන්නේ ඉංග්‍රීසිවලට දක්ෂ ඇති?

අපොයි නෑ. ඉංග්‍රිසි පීරියඩ් එකේ පංතියේ හිටියේ නෑනේ. ඒ පීරියඩ් එක පුලුවන් තරම් කට් කළා.

කොළඹ දකින්නේ කොහොමද?

කාර්ය බහුල සීඝ්‍රයෙන් දියුණු වන, ජීවත් වීම දුෂ්කර නගරයක් ලෙස.

අපේ රටේ ළමයින් ගැන අදහසක් තිබෙනවා ද?

නගරයේ ළමයින්ට ඇති පහසුකම් ගමේ ළමයින්ට නෑ. නමුත් ගමේ ළමයි අඩු පහසු- කම් වලින් දිගු ගමනක් යනවා.

ජීවිතේ වැඩිපුර යන්න කැමැති තැන් තියෙනවාද?

රත්නපුරේ තියෙන මගේ ගෙදර තමයි කැමැතිම තැන.

ලෝකයේ කැමැතිම තැන් තියෙනවාද?

ඕස්ට්‍රේලියාවට මම කැමතියි.

පරමාදර්ශී චරිතයක් නැති වුණත් ඔබ විශේෂයෙන් කැමති ගැහැණු හෝ පිරිමි චරිතයක් තියෙනවද?

තියෙනවා. ඒ තමයි සුසන්තිකා ජයසිංහ.

එහෙනම් සිහින එහෙම දකිනවා ඇති?

ඇයි නැත්තෙ. සිහින කියන්නේ නිකං බලන්න තියෙන දෙයක්.

ඒ විදිහට දකින ලොකුම හීනේ ?

ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරලා ඒ තරගාවලිය නියෝජනය කරන එක

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here