මේ රට බෞද්ධ රටක් නොවෙයි කියා කාටවත් කියන්න බෑ: වෙනත් ආගම් අදහන අපටත් බුදු දහමෙන් ලැබෙන ශක්තිය හා පන්නරය ඉමහත් ආශීර්වාදයක්

0
39

අතිඋතුම් කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණෝ

ශ්‍රී ලංකාව යනු බුදු දහමෙන් පෝෂණය වුණු රටක් බවත් වෙනත් ආගම් අදහන අපටත්,බුදු දහමෙන් ලැබෙන ශක්තිය හා පන්නරය ඉමහත් ආශිර්වාදයක් බවත් එය අප රටේ සියලුම නායක කාරකාදීන් මනාව තේරුම් ගතයුතු බවත් අතිඋතුම් කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණෝ කළුතර පයාගලදී පෙරේදා (31 ) ප්‍රකාශ කළහ.

නායකයෙක් හැටියට ගන්න තීරණ තීන්දු බුදු දහමේ චින්තනයට අනුව ගත යුතු බවත් ,බුදු දහමට පටහැනිව රටේ නායකයන් තීන්දු නොගත යුතු බවත් අවධාරණය කළ පියතුමා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළේ මේ රට කරන කරවන නායකයන් කිසි විටෙකත් බුදු දහමට අනුව හෙවත් බෞද්ධ චින්තනයට අනුව තීන්දු ගතයුතු බවයි.

කළුතර පයාගල මලේගොඩ පුෂ්පාරාමාධිපති,බෙන්තර වලල්ලාවිට කෝරලේ ප්‍රධාන සංඝ නායක,ත්‍රිපිටකාචාර්ය මලේගොඩ නන්ද නාහිමියන්ගේ හැත්තෑවැනි ජන්ම දින සැමරුම් සාංඝික දානමය පින්කමට සහභාගි වෙමිනි.අගරදගුරුහිමිපාණෝ අභිනව ධාතු මන්දිරයටද ගොස් පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව වැඩිදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

ජාතික ආරක්ෂාව මැනවින් ආරක්ෂා කරන ඉතාම උතුම් චරිත හැටියටයි මා මේ රටේ බෞද්ධ ස්වාමීන් වහන්සේ හඳුනාගෙන තිබෙන්නේ.බුදුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය,මේ භික්ෂුන් වහන්සේලාගෙන් දැන ඉගෙන ගැනීමෙන් මට ලැබී ඇති ශක්තිය මට ලොකු අශිර්වාදයක්.උන් වහන්සේලාගේ ජීවිතවල දකින ඒ බුද්ධාලම්භන ආදරය,අපගේ ජීවිතවලටත් වටිනවා.

බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියටයි මම දකින්නේ.බුද්ධාගමේ ආගමික චින්තනයට අනුව හැදුණු වැඩුණු ඉතිහාසයක් අපට තියෙනවා.ඒ ඉතිහාසයට සාක්ෂි දරන්න මේ රට පුරා ඕනැ තරම් සාධකත් පෙනී යනවා.පුස්කොළ පොත්වලින් විතරක් නොවෙයි. මේ තියෙන ගොඩනැඟිලි,වෙහෙර විහාර දාගැබ් චෛත්‍යවලින් ඈත අතීතයේ සිටම රජවරුන් බුද්ධාගමට ⁣දැක්වූ ආදරය,කරුණාව හා ලෙන්ගතුකම විදහාපාන ආකාරයට,මේ රට පුරාම සාක්ෂි තියෙනවා.

මේ රට සිංහල බෞද්ධ චාරිත්‍ර සිරිත් විරිත්වලින් පිරුණු රටක් හැටියටයි මම දකින්නේ.මේ රට බෞද්ධ රටක් නොවෙයි කියා කාටවත් කියන්න බෑ. එවැනි අයට අපි අනුකම්පා කරනවා මිස කවදාවත් වෛර කරන්න හොඳ නැහැ.

අපි වෙනත් ආගම් අදහන අය වුණත් සියලු ආගම්වලට ගෞරව කරමින් ජීවත්වන්න කියා මම කීප වතාවක්ම කියා තිබෙනවා.

රට කරන නායකයෝ වුණත් ආගමික,චින්තනයෙන් බැහැරව,විශේෂයෙන්ම බුදු දහමේ උගන්වන බෞද්ධ චින්තනයට පිටුපාලා තීරණ නොගත යුතුයි.ඇතැම් විට සමහරු ආගමක් නැති අය විදියට කටයුතු කරනවා.ඒක හොඳ නැහැ.ආගමික චින්තනයට අනුව ජීවත්වන්නත් වැඩ කරන්නත් අපි හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි.

මලේගොඩ නන්ද නාහිමියෝ අති උතුම් මැල්කම් රංජිත් පියතුමන්ට විශේෂ සමරු තිළිණයක් මෙහිදී ප්‍රධානය කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක,අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල හිමි,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ ශ්‍රී රාහුල හිමි,බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි,බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජනරාල් බොරලන්දේ විමලඣාන නාහිමි ඇතුළු මහා සංඝරත්නයද,අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ..

කළුතර මධ්‍යම විශේෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here