යහපත් කොරෝනා

    0
    20

    පර්ල් වේවැල් බැහැපු හාන්සි පුටුවේ දිගෑදී සිටින තම සැමියා දෙස බැලුවේ කුඩා කරගත් දෑසින් ය. ඇය ඇසු ප්‍රශ්නයට පිළිතුරු නොදීම ගැන ඇයට ඔහු කෙරෙහි නොරිස්සුමක් ඇතිවී තිබිණි.

    “මාකස් ඇහුන්නැද්ද මං කියපු දේ” ඇය නැවත ඇසුවේ හඬ වැඩිකරය.

    “මොකද ඇහුන්නැත්තෙ. ඔන්න ඔහෙ විකුණනවනම් විකුණන්න කියන්න පර්ල්. මැරෙද්දි ගෙනියනවයෑ”

    “ඔය කිව්වෙ, ඔය කිව්වෙ. මගෙ බඩින් වදාපු උන් බව හැබෑව. හැබැයි එකෙකුට මේක විකුණන්න තියන්නෙ නෑ මම”

    “පර්ල්ට කැමතිවිදිහක්. මම හිස් අතින් ආපු මනුස්සයනෙ. ඔයාට කැමතිවිදිහට කරගන්න”

    හැට විය පැන්න දෙන්නා දෙමහල්ලන් ගුරු ජීවිතයෙන් සමුගෙන අවුරුදු 5ට වැඩිය. බැසයන ඉරේ රැස් දහරාවෙන් නෑවෙමින් තිබූ ඉස්තෝප්පුවේ තවමත් ඔවුහු ඉඳ ගෙන සිටිති. මාකස් නං සති අන්ත පුවත්පතේ මුල ඉඳන් අගට කියවා අග ඉඳන් මුලට කියවමින් සිටින්නේය. පර්ල් ඉන්නේ සැප්තැම්බර් මස සිටම පහව නොගිය නොරිස්සුමකින්ය. මාකස්ගේ උපන්දිනය දවසේ ඇමරිකාවේ සිටි ලොකු පුතාගෙන් ලද දුරකතන ඇමතුම නොවන්නට ඇයට තරහා ගැනීමට තරම් දෙයක් වෙන සිදුවූයේ නැත. එදායින් පසු පර්ල් මේ වෙනකල් දෙතුන් දවසකට වඩා ලොකු පුතා සමඟ කතා නොකළාය. 

    පර්ල් උපන්දා සිට හැදුණු වැඩුණු ගෙය ඇගේ අප්පච්චිගේ මහ ගෙදරය. පැරණි වලව්වක් වූ එය පළාතේ තිබූ පැරණිම ගෙවල් වලින් එකකි. ඇගේ නිවස වටා තිබූ හැම ගෙයක්ම ඉතාලි ඌරුවට එකට එක පරාද වන්නට ගොඩ නැගෙනවිට ඇගේ පැරණි ගෙට නානකාමර දෙකක් අලුතින් එකතුකිරීම හැර වෙන උළු කැටයක් හෝ වෙනස් කිරීමට ඇය අකමැති විය. ඇගේ නිවස පිහිටි වෙරළ මාවතේ ගෙවල් ඉතුරුවී තිබුණේ කිහිපයකි. අනිත් සියල්ල හෝටල් බවට පත්වී තිබුණේය. නිවස විකුණා තමාටත් මාකස්ටත් නගරය කිට්ටුවෙන් ගෙයක් මිළදී ගැනීමටත් ලොකුපුතාට ඉතුරු මුදල ලබාගැනීමටත් වූ අදහස එක පාරකට වඩා ඇසීමට පර්ල් කැමති නොවුණාය. 

    පර්ල් ඉඳගෙන සිටි පුටුවෙන් නැගිට්ටේ හවස 4 පමණ වන විටය. ඒ හැමදාම රෑ බත උයන්න සූදානම්

    වන මීරියම් ට උදව් දීමට යාම සඳහාය. වත්තේ කෙලවර මිනිස් ජායාවක් පෙනේ. කැමිල්  පොල්ගස් වටේට පොහොර දමන්නේ මාකස්ගේ කීමට ගෙනය.  මේ පාර පොල් මුරේ කැඩුනේ අඩුවෙනි. අක්කර 3ක් වූ වත්තේ මැදට වෙන්නට තිබූ පරණ නිවස වටා පොල් හැරෙන්නට වෙන භෝගයක් නොතිබුණේය.

    උයන ගමන් පර්ල් සිතුවේ ලොකුපුතා ගැනය. එකම පුතාත් දුවලා දෙන්නාත් හැමදාම තමන්ට පේන දුරකින් සිටී යැයි පර්ල් සිතා සිටියත් ඉගෙනගත් පසු පිටරට රැකියා සඳහා තුන්දෙනාම තුන් පැත්තකට යන්නට ගියේය. ලොකුපුතා ඇමරිකාවේත් ,ලොකු දුව ඕස්ට්‍රේලියාවේත්, පොඩ්ඩී ඉතාලියටත් ගියේ ලංකාවේ හිටියට වැඩක් නෑ කියා පර්ල්ටත්, මාකස් ටත් ඒත්තු ගන්වමින්ය.

    මාකස් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කලේ කාන්සිය මකා ගැනීමටය. නමුත් බ්‍රේකින් නිව්ස් එකක් යනවා ඇසුනු පර්ල්ද සාලයට ආවෙ ප්‍රවෘත්තිය බලාගැනීමටය.

    ” දැන් ලැබුණු පුවතක්. අද දින පැවති මාධ්‍ය සාකච්ජාවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන ලදී. කොරෝනා වසංගතය ඇමරිකාව තුළ මේ වන විට පාලනය කළ නොහැකි තත්වයකට පත් වී ඇත.”

    ලොකු කම්පැනියක සේවය කළ ලොකු පුතාගේ රැකියාව ඔහුට අහිමි වෙන්නේ කොරෝනා ව්‍යසනය සමගය. අ‍ෙමරිකාවේ සේවය කල ලාංකිකයින් බොහෝ දෙනෙක්ගේ රැකියා අහිමිවීමත් සමඟ ඔවුන් ආපසු ලංකාවට පැමිණීමට උත්සහ කලද, ලොකු පුතානම් කැමතිවූයේ අමෙරිකාවේම වෙන රැකියාවක් සොයාගැනීමටය. දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය යහපත් වන්නේ අමෙරිකාවේ සිටීම නිසා බව ඔහු කීවේ, පර්ල් ඔහුට මෙරටට ඒමට කිව් විටය.පර්ල් හෝ මාකස් කිසි විටෙක ඔහුට නැවත් ඒ බව නොකීවේ ඔහුගේ අදහස වෙනස් නොවන නිසාය.

    මාකස්ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට වූයේ දෙමහල්ලන්ගේ අවධානය ඒ දෙසට යොමු කරවමින් ය.

    “ලොකු පුතා”  මාකස් එය කම්මුලේ ඔබා ගත්තේය.

    “ඔව් ඔව් පුතා, අපිත් දැන් දැක්කා. හෙට වෙද්දි ෆ්ලයිට් දායිද.”

      එහා පසින් මොකක් හෝ කියයි.

    “නෑ .අපි බලමුකො. එහෙමවුණොත් දවස් දාහතරක් ඉඳලා එන්න වෙයි”

     ” නෑ…නංගිලාට ඒ තරම් ප්‍රශ්නයක් නෑ කිවා ඊයෙ කතාකලාම.”  

     “හා…හා…ආයෙ ගන්නම් මම”

    කී මාකස් ඇමතුම නවතා දැමුවේය.

    “ඇයි මොකද” පර්ල් විමසුවේ කුතුහලයෙනි.

    “ලොකු පුතාලා ලංකාවට එනවා කියන්නෙ.”

    “කවද්ද”

    “හෙට ෆ්ලයිට් තිබුණොත් හෙටම එයි”

    “කවද්ද යන්නෙ”

    “යන්න කලින් එන්න එපැයි පර්ල්”

    “හ්ම්…”

    පර්ල් කුස්සියට ගියේ හිතේ උතුරා යන සතුටකිනි. ඇය මීරියම් සමගින් පුතාගෙ හා මුනුපුරාගේ වගතුග කියමින් පැය ගානක් කුස්සියේ ගතකළේ සතුටටම ය.

    සති දෙකකට පසු පුතාත් ලේළියත් මුණුපුරාත් පර්ල්ගේ ගෙදර පිටුපස වූ කාමර දෙකේ  තවත් දවස් දාහතරක් නිරෝධායනය වීමට පටන් ගත්තේය. පර්ල්ගේ හා මීරියම්ගේ රාජකාරිය වූයේ ගුණ කෑම බීම, කොත්තමල්ලි, වෙනිවැල් ගැට තැම්බීමටත්, යකිනාරං කොළ, කොහොඹ කොළ දමා වතුර මුට්ටි තැම්බීමටත්ය. 

    තව නොබෝ දිනකින් පුතා හා ලේළියත් මුනුපුරාත් පර්ල්ගේ ගේ පුරා ජීවත් වනු ඇත. ඒ ගැන හිතද්දීත් පර්ල් ගේ හිත සතුටින් පිරී යන්නේය. නිරෝධායන කඳවුරේ ඉද්දී දිනපතා ඇය පුතාට කතා කළාය. ඔහුගේ නැවත ඇමරිකාවට යෑමට අදහසක් නැත. ඔවුන්ට සිටීමට මහ ගේ ඉතිරි කර මහ පාර පැත්තට වෙන්නට වත්තේ සංචාරකයින් සඳහා කබානා පෙලක් ගැසීමට ඇති අදහස පුතා විසින් පර්ල්ට කියා තිබිණි. 

    විකුණනවාට වඩා ඒ අදහස කදිම බව ඇය මාකස් සමඟ දෙතුන් විටක්ම කීවාය. තව සතියකින් එන නත්තලට රටේ තොටේ ඇවිදින්නට බැරිවුණත් අවුරුදු පහළොවකින් එන හොඳම හොඳ නත්තල එය බව පර්ල්ට සිතිණි.

     

     සුහද සනාතනි කුරුවිටආරච්චි

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here