යුක්‍රේන් සංචාරකයෝ මත්තලින් දිවයිනට

    0
    13

    කොවිඩ් වසංගතය නිසා අපේ දෛනික ජීවිත කෙතරම් පසුබෑමකට ලක් වූවේ ද? පවුලක් ලෙස ඔබ, ඔබේ දුවා දරුවන් කිසිදා නොසිතූ බැරෑරුම් අඩියකට මේ වසංගතය විසින් ඇද දැමුවා විය හැකි ය. කොවිඩ් වසංගතය හමුවේ අපි අපේ ජීවිත යථාවත් කර ගැනීම සඳහා පෞද්ගලිකව කොතරම් යත්න දැරූවද අවසාන වශයෙන් රටක් ලෙස ඊට සාර්ථකව මුහුණ නොදුණහොත් රට වැසියන් ලෙස අපේ උත්සාහය ද ව්‍යර්ථ වේ.

    මසකට පසු අතට ලැබෙන රුපියල් විසි තිස් දහස නැති වූ කල අප පත් වන අසරණභාවය එසේ නම්, රටක් ලෙස අප මුහුණ දී ඇති තත්ත්වය ගැන අටුවාටීකා අනවශ්‍යය. අපනයන ආදායම පහළ ගොස්ය. විදේශගත ශ්‍රී ලාංකිකයන් එවූ ආදායම් හීන වී ගොස්ය. දේශීය ආදායම්වල තත්ත්වය ද එබඳුම ය.

    තත්ත්වය එසේ වුව ද රුපියල් 5,000/= රැගෙන ග්‍රාම නිලධාරිවරයා ඔබේ නිවසට තට්ටු කරන්නේ රටක තින්දු තීරණ ගන්නා තැන ඉන්න මහ ඇත්තෝ ආදායම් අඩු තත්ත්වයක් යටතේ වුව ඒවා නිසි පරිදි කළමනාකරණය කර ඇති වග කියන්නට නොවේ ද?

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අප කොවිඩ් සමඟ තව බොහෝ කලක් සටන් කරමින් දෛනික ජීවිත පවත්වා ගෙන යා යුතුය. ඊට ‌ඖෂධ සොයා ගැනීමේ වගකීම සෟඛ්‍ය බලධාරින් හමුවේ ම තබමින් අප පවතින තත්ත්වයට මුහුණ දිය යුතු ය.

    රට විවෘත කර නොබෝ දිනකින් සාමාන්‍ය ජනතාවගේ ආදායම කෙමෙන් වර්ධනය වේ. රැකියාවට යති. කුලියක්, මලියක් කර ගනිති. නමුත්, රටක් ආර්ථිකය පණ ගැන්වීම එබඳු පහසු සහ ඉක්මන් ක්‍රියාවක් නොවේ. සැබැවින්ම එය ක්‍රියාවලියකි. එය දේශපාලන බලධාරීන්, ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රබලයන් එක්ව සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගත යුතු තීන්දු අනුව ක්‍රියාත්මක වන්නකි.

    මෙහි දී සංචාරක ක්ෂේත්‍රයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. කරුණු දෙකක් මත සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම අතිශය වැදගත් ය. පළමු වැන්න නම් විදේශ විනිමය ලබා ගත හැකි ඉක්මන්ම මාර්ගය එය වීමයි. දෙවැන්න දැනට සම්පූර්ණයෙන් පාහේ දේශීය සංචාරකයන්ට පමණක් සීමා වී ඇති සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරීමයි. වෙරළබඩ කලාපවල සේ ම රට අභ්‍යන්තරයේ ද මේ වන විටත් අකර්මන්‍ය මට්ටමේ ඇති හෝටල්, නිවාඩු නිකේතන සංඛ්‍යාව අතිමහත්ය. ඉන් අහිමි වී ඇති ඍජු සහ වක්‍ර ආදායම විශාල ය.

    මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් ය.

    මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදය වන්නේ (Travel Bubles) සංචාරක බුබුලු නිර්මාණය කිරීමයි. මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට නිල වශයෙන් යුක්‍රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම පසුගියදා SkyUp ගුවන්යානයෙන් සංචාරකයන් 214 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළගා විය. මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාද සහභාගි විය. මේ අනුව රුසියාව සහ එ් ආශ්‍රිත රටවලින් සංචාරකයන් ගෙන ඒමේ වැඩසටහන ආරම්භයේ සිටම නොයෙකුත් අභියෝග ජය ගනිමින් සාර්ථකත්වය කරා මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරුවා වූයේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලු වැසියන්ගේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුය.

    මෙම පියවර කලාපීය වශයෙන් ද ශ්‍රී ලංකාව තබන සුවිශේෂී ඉදිරි පියවරක් වනු නො අනුමානය. සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සංචාරකයන් වෙරළබඩ කලාපයේ සංචාරයන්ට එක් වන්නට අපේක්ෂා කරන්නේ නම් එය දෙරටේ මිතුදම තව දුරටත් ශක්තිමත් වන්නකි. මෙම වැඩපිළිවෙළ යටතේ දෛනිකව 300ක් බැඟින් සංචාරකයෝ දිවයිනට ළඟාවීමට නියමිතය. මෙමඟින් කොවිඩ් වසංගතය හමුවේ වඩාත් කඩිනමින් සංචාරක ව්‍යාපාරයට පණ පොවන කලාපීය රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එක්වන්නේ අභිමානයෙනි.

    කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙළ හමුවේ ලොව ප්‍රමුඛ රටවල් අබිබවා ශ්‍රී ලංකාව මෙම අභිනව පියවර තබන්නේ ඊට ජාත්‍යන්තරය ද සම්බන්ධ කර ගනිමිනි. ගුවන් තොටුපොළ කටයුතු ආරම්භ වීමත් සමඟ සංචාරක පැමිණීමත් නිසා රටට ගලා එන විදේශ මුදල් සම්භාරය බෙදී යන්නේ රටේ සමස්ත ජනතාව වෙනුවෙනි. දැනට රුපියල් 195ක මට්ටමට ආසන්න වෙමින් පවතින අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් නිශ්චිත අගයකට පත් කිරීම සඳහා මෙම සංචාරක ආදායම සහ එම ක්‍රියාකාරකම් අතිශය වැදගත් චරිතයක් රඟ දක්වයි.

    සංචාරක හෝටල්වල රැකියා කළ ලක්ෂ ගණනක් වන සේවක සේවිකාවන් පමණක් නොව සංචාරකයන්ට විවිධ දෑ අලෙවි කරන ජංගම වෙළෙන්දා දක්වා මෙම ක්‍රියාවලිය තුළ යළි ජීවය ලබයි. එසේම මෙම ආරම්භක යුක්‍රේන සංචාරක පිරිස ශ්‍රී ලංකාව සිය ගමනාන්තය කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින ලොව සෙසු රටවල සංචාරකයන්ට ලබා දෙන පණිවුඩය අතිශය ප්‍රබලය. රටක් ලෙස යුක්‍රේනය – ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් සහ සහෝදරත්වයෙන් තබන මෙම පියවර දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම තව දුරටත් ශක්තිමත් කරන්නකි.

    දෛනිකව වාර්තා වන 500කට ආසන්න කොවිඩ් ආසාදිතයන් හමුවේ නිසි කළමනාකාරීත්වයකින් රට ඉදිරියට ගමන් කරද්දී ජනතාව ද සිය උපරිම කැපවීම, විනය ප්‍රදර්ශනය කරමින් ඊට දායකත්වය දක්වමින් සිටිති. එම ජනතාව වෙනුවෙන් රජය ද සිය කැපවීම මොනවට ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස මෙම සංචාරක පැමිණීම හැඳින්විය හැකිය. මේ කටයුතු සම්බන්ධීකරණයෙහිලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දැක් වූ දායකත්වය ද කෘතඥ පූර්වකව නැවතත් සිහිපත් කළ යුතුය.

    අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග, වාරි මාර්ග සංවර්ධනය, සහනාධාර, අඩු පොලී ණය, උත්සව අත්තිකාරම් ආදී සියලු දෑ අඩුවක් නොකොට රජය ලබා දෙමින් සිටින්නේ යට කී දූරදර්ශීභාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එබැවින් ජනතාව ලෙස ඔබ ඔබේ වගකීම නිසි පරිදි ඉටු කරන්නේ නම්, රජය සිය වගකීම ඔබ වෙනුවෙන් ඉටු කරන බවට මෙය කදිම නිදසුනකි.

    උපනන්ද නන්දිමිත්‍ර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here