යුද හමුදාව මුද්‍රණය කළ පළමු රියැදුරු බලපත හමුදාපතිට බාර දෙයි

0
45

යුද හමුදාව යටතේ ආරම්භ කළ රියැදුරු බලපත්‍ර මුද්‍රණ වැඩසටහන යටතේ මුද්‍රිත පළමු රියැදුරු බලපත්‍රය ඊයේ (01) යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ප්‍රදානය කළේය.

යුද හමුදාව මගින් මුද්‍රණය කරන ප්‍රථම රියැදුරු බලපත්‍රය යුද හමුදාපතිවරයාගේ වන අතර එතුමාගේ පැරණි රියැදුරු බලපත්‍රය අබලන්ව තිබීම හේතුවෙන් මෙලෙස නැවත මුද්‍රණය කිරීම කළේය. ඒ අනුව යුද හමුදාව විසින් මුද්‍රිණය කරනු ලැබූ පළමු රියැදුරු බලපත්‍රය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදී මෝටර් රථ කොමසාරිස් ජනරාල් අතින් යුද හමුදාපතිවරයා වෙත බාරදීම සිදු විය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද එහිදී සිදු විය.

පෞද්ගලික සමාගමක් යටතේ වසර ගණනාවක් ගිවිසුමක් නොමැතිව මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර මුද්‍රණය ඊයේ (01) සිට ශ්‍රී ලංකා​ යුද හමුදාවට නෛතිකව පැවැරිණි.

මෙමගින් වසරකට රුපියල් මිලියන 80ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බව මේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේය.

මේ වැඩපිළිවෙළ යටතේ රියැදුරු බලපත්‍රය අවම මිලකට මුද්‍රණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා මේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.

ඡායාරූපය – නිරෝෂ් බටේපොළ

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here