විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් නොවේ විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම

0
38

 

විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් පමණක්ම නොවන බවත් පොසිල ඉන්ධනවලින් තොර සමාජයක් අපේ අනාගත පරපුරට දායාද කිරීම සුවිශාල වගකීමක් බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

නව වසරේ රාජකාරී අරඹමින් ඒ මහතා ඊයේ (1) ඒ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

අපට සාර්ථකත්වය කරා ළඟා විය හැක්කේ අභියෝගවලට මුහුණදීමෙන් සහ ඒවා ජයගැනීමට ක්‍රියාකිරීමෙන් පමණයි. සමස්ත රටම අද අප දෙස බලාගෙන සිටිනවා. විදුලිය කියන්නේ තවදුරටත් පාරිභෝගික සේවාවක් පමණක්ම නොවෙයි. මිලියන 22 ක ජනතාව අප දෙස නිරන්තරයෙන් බලා සිටින බව අප තරයේ සිහියට ගත යුතුයි. ඒ දේම ඇති අපට අපේ වගකීම් නිසි පරිදි ඉටු කරන්න. විදුලිබල ක්ෂේත්‍රය හෙමින් වුවත් යන්නේ ඉදිරියටයි. එක අඟලක්වත් පසුපසට යන්න අපි සූදානම් නැහැ. ඉදිරියට යන පෙරමුණු බලඇනියක අවංක සොල්දාදුවන්ගේ වගකීමක්. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, විශ්වීය වර්ගයා වෙනුවෙන් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කරමු.

පසුගිය වසරේ අප ගතකළ පීඩාකාරී, අවාසනාවන්ත තත්ත්වයන් තුළින් මෙවර නව වසර අභියෝග රාශියක් සමඟින් අප වෙත පැමිණ තිබෙනවා . රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව යමින්, මුළු රටම විදුලියේ එළියෙන් බලගන්වන්නට අමාත්‍යාංශ සේවක පිරිසගේ උපරිම සහයෝගය අපේකෂා කරනවා. විදුලිබල ක්ෂේත්‍රයක් වශයෙන් අප වෙත එල්ල වී ඇති අභියෝගයන් ජය ගැනීමට, ඊට එරෙහිව යන ගමනේ පෙරගමන්කරුවන් බවට පත්වීමට හැකියි. විදුලිබල පවුලේ පීතෘත්වය ඉතාමත් ආදරණීව බාර ගන්නවා. හෘද සාක්ෂියට එකඟව, එකම පවුලක් ලෙස සිතමින්, රටට තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතුයි.

පොසිල ඉන්ධනවලින් තොර සමාජයක් අපේ අනාගත පරපුරට දායා ද කිරීම අප සතු සුවිශාල වගකීමක්.

විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අමාත්‍යාංශ සේවක පිරිසද එම අවස්ථාවට එක් වූහ.

චන්දිමා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here