විරාමයෙන් සුයාමය සොයා ගිය ආදිවාසී කුමාරිය ඈෂ්

0
15
2 ජනවාරි, 2021

ASHLEIGH Barty

මම ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත් වුණා. එහෙම කළේ හොඳට කල්පනා කරලයි. මොකද ටෙනිස් නිසා මට ළාබාල වියේ සිට බොහෝ සංචාර කරන්න සිදුවුණා. ඒත් මට සාමාන්‍ය තරුණියක් විදිහට අත්දැකීම් ලබාගන්න උවමනායි

කාන්තා ටෙනිස් සංගමයේ (ඩබ්ලිව්. ටි.ඒ.) නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව අංක එකේ කේවල ටෙනිස් ශූරිය වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික විසිහතර හැවිරිදි ඇෂ්ලියාස් බාර්ටිය. ඇය ප්‍රථම වරට කාන්තා ටෙනිස් ලෝකයේ මුල් තැනට ආවේ 2019 වසරේ ජූනි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළය. පසුව එම වසරේම සැප්තැම්බර් සිට මේ දක්වා තම ස්ථානය රැකගැනීමට ඇයට හැකිවිණි.

ජාත්‍යන්තර වෘත්තීයමය කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන්ට අදාළව ලොව පවතින ප්‍රධානම සංගමය සේ සැලකෙන්නේ ඩබ්ලිව්. ටී. ඒ. ය. ඒ අනුව ඈස්ලියාන් හෙවත් ඈෂ් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වීම හේතු දෙකක් මූලික කරගනිමින් අවධානයට පාත්‍රවෙයි.

මින් පළමු හේතුව ඇය ඔස්ට්‍රේලියානු ආදිවාසීන් හෙවත් ඇබෝරිජින් සම්භවයක් දරන්නියක වීමය. දෙවැනි හේතුව ටෙනිස් ක්‍රීඩිකාවක වීමට ප්‍රථම ඈෂ් වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස කටයුතු කිරීම ය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ඉතිහාසයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව බවට පත් වූ තෙවැන්නිය ලෙස සැලකෙන්නේ ද ඈෂ් ම ය. ඊට පෙර එම ගෞරවය හිමිකරගත්තේ 1972 වසරේ උපන් මාග්‍රට් කෝර්ට් සහ 1951 උපත ලද ඉවෝන් ගූලා හෝන්ග් ය. මේ අතරින් ඉවෝන්ට ද ඇබෝරිජින් සම්භවයක් පවතී.

ඈෂ් බාර්ටි 2014 වසරේදී තාවකාලිකව ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත් වූ ක්‍රීඩිකාවකි. ‘මම ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත් වුණා. එහෙම කළේ හොඳට කල්පනා කරලයි. මොකද ටෙනිස් නිසා මට ළාබාල වියේ සිට බොහෝ සංචාර කරන්න සිදුවුණා. ඒත් මට සාමාන්‍ය තරුණියක් විදිහට අත්දැකීම් ලබාගන්න උවමනායි’ ඇය පවසා තිබිණි.

ඈෂ් කුඩා කාලයේ ක්‍රිඩාකර ඇත. ඒ සිය වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා සමඟිණි. නමුත් ඇය ප්‍රබල ලෙස ඒ ගැන අවධානය යොමුකළේ 2015 වසරේදී ය. ඒ ඔස්ට්‍රේලියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හමු වූ විටදී ය. ඒ සමඟම ඇයට කණ්ඩායම් ක්‍රීඩාවකට යොමුවීමට දැඩි අවශ්‍යතාවයක් ඇති විය. එහිදී ඇය තෝරා ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි.

ඒ අනුව ඇයට ඔස්ට්‍රේලියානු කාන්තා පන්දුවාර විස්ස සහ බිග් බෑෂ් තරගාවලියට සහභාගිවීමට අවස්ථාවක් උදාවිය. එය ප්‍රථම කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය ද විණි. එහිදී ඈෂ් නියෝජනය කළේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායමයි.

‘එම කණ්ඩායමේ සිටින සියලුම දෙනා පුදුමාකාරයි. ඔවුන් මට ක්‍රීඩා කරන්න පුලුවන් ද බැරි ද කියලාවත් බැලුවේ නැහැ. ඔවුන් මාව පිළිගත්තා. ඔවුන් සමඟ ඇති වූ මිතුදම තවමත් පවතිනවා. එය ඇත්තටම මගේ ජීවිතයේ අමතක නොවන පුදුමාකාර භාග්‍යයක්.’ ඇය තවදුරටත් පැවසූවාය.

එම බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ පුහුණුකරු වූයේ ඇන්ඩි රෙඩ්ස්ය. ඔහු ඈෂ්ගේ ක්‍රිකට් දක්ෂතාවය දුටුවේ මෙසේය. ‘ඇය ක්‍රීඩා කරන විට ඇගේ හැකියාව පැහැදිලිව දක්නට ලැබුණා. ඇයට ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් ඉදිරියට යෑමට අවස්ථාව තිබුණා.’

එවර තරගාවලියේ ප්‍රථම තරගයේදී ම ඈෂ් බාටි පන්දු 27කදී ලකුණු 39 ක් රැස් කිරීමට සමත් වූවාය. ‘ක්‍රිකට් කියන්නේ හොඳ ක්‍රීඩාවක්. මම පුංචි කාලේ පවුලේ අයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කළා’ ඈෂ් තවදුරටත් පැවසූවා ය.

ඇය තාවකාලිකව ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්වීම අද ඇය ලබා තිබෙන සාර්ථකත්වයට බලපෑ බව ඇගේ පුහුණුකරු වන ක්‍රේග් වයිෂර් පවසයි. ‘පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම අද ඇගේ සාර්ථකත්වයට බලපාලා තිබෙනවා. ක්‍රීඩාව මාරු කිරීම තමයි ඇය කළ හොඳම දෙය.’ ඒ අනුව 2016 වසරේදී ඇය යළිත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වූවා ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here