සල්ලිත් නෑ ඉන්න තැනකුත් නෑ

0
5
2 ජනවාරි, 2021

DIRECT HIT

ඒත් අනාගතය සුබ වේවි

මම වාර්ෂික මහා සභාවෙන් නිතරගයෙන් පත්වුණේ. අපි කවුරුවත් වැරැදි විදිහට පත්වුණේ නැහැ.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අන්තර්ජාතික ලෝක කුසලානයක් දිනා දීමට සමත් වූ පළමු ක්‍රීඩාව බිලියඩ් හා ස්නූකර් ය. වසර 1973 දී එම්.ජේ.එම්. ලාෆීර් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මට්ටමේ පළමු ගෞරවය හා කුසලාන දිනා දුන් ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වී දශක පහකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් එම ක්‍රීඩාවෙන් පියවරක් හෝ ඉදිරියට යෑමට සමත් කිසිදු ක්‍රීඩකයකු බිලියඩ් හෝ ස්නූකර් ක්‍රීඩාවෙන් බිහි නොවීම කනගාටුදායක ය. ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුල්කි පසේල මහතා අද DIRECT HIT වෙතින් ප්‍රශ්න කෙරෙන්නේ එවැනි පසුබිමකදී ය.

ඔබ සභාපති ධුරයට පත්වෙලා අවුරුදු 3ක් ගෙවී ගිහින්. තවම ක්‍රීඩාව ගොඩගන්න බැරි වුණා නේද ?

ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ තමයි ඔයාගේ කතාවත්. බිලියඩ් සංගමය ඇතුළේ අනන්තවත් සභාපතිවරු බිහිවුණා. ඒ හැමෝම ක්‍රීඩාවට යහපත් දේවල් කළා. කිසිකෙනෙක් නරකක් කළේ නෑ. ඒ හැමෝම වැඩකළේ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙනුයි. මම මේ සංගමය 2017 බාරගන්න කොට හබලක් නැති ඔරුවක් විදිහට තමයි මට හම්බවුණේ. ඒක තනිකරම හිස්. කිසිම කාර්යාලයීය උපකරණයක්, බිලියඩ් ස්නූකර් මේස අතුරන්න ශාලාවක් ආදී කිසිම දෙයක් තිබුණේ නෑ. අදටත් එහෙම දෙයක් නෑ.

ඒ පහසුකම් සලසා ගැනීම ඔබේ වගකීමක්නේ?

මම ක්‍රීඩා ඇමැතිවරු පස්දෙනෙක් ළඟටම ගියා. වත්මන් ක්‍රීඩා ඇමැතිතුමා නම් තවම මුණ ගැහෙන්න බැරිවුණා. මොකද මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා. මේක අපිට විතරක් තියෙන ප්‍රශ්නයකුත් නෙවෙයිනේ. කොටින්ම මේ කාලේ අයි.බී.එස්.එෆ්. (අන්තර්ජාතික බිලියඩ් සහ ස්නූකර් සම්මේලනය) එකත් වහලා තියෙන්නේ.

ඒ වුණාට දැන් අපිට ඒකෙ සාමාජිකත්වය නෑනේ

කවුද කියන්නේ ? අපි තවම ඒකේ සාමාජිකයෙක්. ඒක වෙනස්වෙලා නෑ.

ජාතික සංචිතයක් තියෙනවා ද?

අපිට සංචිත තියෙනවා. ජාතික සංචිතය වගේම කනිෂ්ට සංචිතයකුත් තියෙනවා.

එතකොට පුහුණුකරුවෝ ගැන මොකද? ජාතික පුහුණුකරුවෙක් ඉන්නවා ද?

පුහුණුකරුවෝ කියන්නේ මෙහෙමයි. අපි පිටරටින් ගෙන්නලා පුහුණු කෙරෙව්වා. අපේ පුහුණු මණ්ඩලයක් තියෙනවා. හිටපු ක්‍රීඩකයොත් ඉන්නවා. අවුරුදු විසිපහක් තිස්සේ බිලියඩ් ජාතික ශූරයා වුණු කේ. එච්. සිරිසෝමත් ඉන්නවා. හැබැයි එයාලා පරිණත බවින් හා අත්දැකිම් ඇති අය මිසක් සහතික ලත් පුහුණුකරුවෝ නෙවෙයි. තාක්ෂණය අතින් පිරිපුන් පිළිගත් කිසිම පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාවේ නෑ.

ඒකත් ඔබේ වගකීමක්. පුහුණුකරුවන් පුහුණු කරන්න මූලිකත්වය ගන්න ඕන සංගමය නේ ද?

අපි දන්නවා. අපි ආසියානු සංගමයට කතා කළා. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ. එයාලා ළඟ ඉන්න ප්‍රධාන පුහුණුකරු වුණේ ඉන්දීය ජාතික මනෝජ් කොටාරි කියලා පුහුණුකරුවෙකුයි. ඒගොල්ලන්ට පුළුවන් කිව්වා අපේ අයට පුහුණු කරවන්න එයාව එවන්න. ඉතින් අපි එයාව ගෙන්නුවා.

කාටද පුහුණු කෙරෙව්වේ ?

අපි අපේ සාමාජික සංගම් 57ටම ලිඛිතව දැන්වුවා. සුදුසුයි කියලා දැනෙන, පුහුණුකරුවකු ලෙස වැඩ කරන්න කැමැති අය මේ පුහුණුවට දන්වලා එවන්න කියලා. කොටාරි එන්න කළින් දවස වෙනකල්ම එහෙම කාවවත් එව්වේ නෑ. අපි එයාලට තාක්ෂණය දෙන්න නම් එයාලාත් උනන්දු වෙන්න ඕනෑ.

ඉතින් මොකද වුණේ ?

ගිය අවුරුද්දේ කොටාරි ඇවිත් පුහුණු වැඩසටහනක් කරලා ගියා. හය දෙනෙක් විතරක් අපේ බලකිරිම උඩ ආවා. එයාලව පුහුණු කෙරෙව්වා. ඒ වගේම බිලියඩ් හා ස්නූකර් ශ්‍රේණිගත කිරිම්වල ඉහළින් ඉන්න අයටත් ඉගැන්නුවා. සතියක කාලයක් යද්දී කොටාරි තේරුම් ගත්තා අපි මේ ක්‍රීඩාවේ කොයිතරම් පහළ මට්ටමක ද ඉන්නේ කියලා. පුහුණුව ලබපු හයදෙනාව පුහුණුකරුවන් වශයෙන් තෝරාගත්තා. අන්තිමට අපි සහතිකයකුත් දුන්නා. ඒක ආසියානු සංගමයේ සහතිකයක්. මනෝජ් කොටාරි තමයි අත්සන් කළේ.

දැන් ඒ පුහුණුකරුවන් කෝ ?

අපි ඉස්සරහට එයාලා ව භාවිත කරනවා. කොවිඩ් නිසා ගෙවුණු අවුරුද්දේ කිසිදෙයක් කරන්න බැරි වුණා. අනික එයාලා ඉහළ මට්ටමක තවම නෑ. කොටාරි ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්තාවක් දුන්නා. මෙයාලා තවම ජාතික පුහුණුකරුවන්ගේ මට්ටමට පැමිණ නෑ කියලා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශය එයාව මෙරටට ගෙන්වන්න වියදම් කළ නිසා. ඉතින් ඔහු ඒ වාර්තාව දෙන්න ඕනෑ. ඒත් සමහරු කියන්න ගත්තා අපි රුපියල් මිලියනයක් වියදම් කරලා විදෙස් පුහුණුකරුවෙක් ගෙන්නුවා කියලා.

ඇත්තටම සංගමයට මුදල් නැද්ද ?

සංගමයේ සල්ලිත් නෑ. අනුග්‍රාහකයෙකුත් නෑ. ස්නූකර් ජාතික තරගාවලිය පවත්වන්නේ ජගත් සුමතිපාල මහත්තයාට පින්සිද්ධ වෙන්න. යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ කුසලානයටනේ ගහන්නේ.

මුදල් හොයා ගන්නද බිලියඩ් මේස ටික විකුණලා දැම්මේ ?

ඉන්න මම පැහැදිලි කරන්නම්. අපි 2016 දී මුල් භාගයේ ආසියානු බිලියඩ් ශූරතාව කළා. ඒකට ආසියානු සංගමයෙන් මේස දහයක් ගෙන්නුවා. අපි ඒවාට ගෙවන්න ඕනෑ.

ගත්ත ද? පරිත්‍යාග කළා ද?

නෑ. සල්ලිවලට ගත්තා. වුණේ මේකයි. අපිට ඒ තරගාවලියට බිලියඩ් මේස 10ක් ඕනැ කළා. අපි ඒ බව අමාත්‍යාංශයට දැන්නුවා. අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන දුන්නා. හැබැයි ඒ දුන්නේ මුළු තරගාවලියටමයි. ඒ මුදල් ප්‍රමාණවත් වුණේ මේස 3කට විතරයි. ඒත් අපි මේස 10 ම ගෙන්න ගත්තෙ ගෙවීමේ පොරොන්දුව පිටයි.

ඒ කියන්නේ මේක පරිත්‍යාගයක් නෙවෙයි කියන එක ද?

පරිත්‍යාගයක් විදියටත් 2ක් ලැබුණා. එතකොට අපිට තවත් අටකට ගෙවන්න තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වලින් 3කට ගෙව්වා. ඉතුරු ඒවාට අපි මුදල් හොයාගෙන ගෙවන්න සිද්ධ වුණා. ඒ මුදල් පියවන්න මේස 7ක් විකුණන්න සිද්ධ වුණා. හැම සතේම රිසීට් කරලා තියෙන්නේ. ඕන වෙලාවක බලන්න පුළුවනි.

ඉතුරු බිලියඩ් මේස තුන කෝ ?

ඒවා තියාගන්න තැනක් නෑනේ. දැනට මූලස්ථානය හැටියට පාවිච්චි කරන්නේ මගේ පුද්ගලික ස්ථානය. මෙතැනින් අපිට යන්න කියලා නාගරික සංවර්ධන අධිකාරිය දන්වලා තියෙනවා. ඒ නිසා ඒ මේස අපිට අතුරන්න තැනක් නෑ. ඒවා අමාත්‍යාංශයෙන් මුදල් ගෙවපු ඒවා. ඒ නිසා අපි ඒවා අමාත්‍යාංශයට බාර දුන්නා. අමාත්‍යාංශයේ ගබඩාවක ඒවා තැන්පත් කරලා තියෙනවා.

ඔබ සභාපති හැටියට පත්වුණේ නිලවරණයකින්ද?

මම වාර්ෂික මහා සභාවෙන් නිතරගයෙන් පත්වුණේ. අපි කවුරුවත් වැරැදි විදිහට පත්වුණේ නැ. ක්‍රීඩා පනතට අනුවයි ඒවා සිද්ධවුණේ. මම ජාතික තරගාවලියට සහභාගි වෙලා තියෙනවා. මගේ ලේකම් ඇතුළු තනතුරුවල ඉන්න අයත් ඒ වගේ ජාතික තරගාවලි නියෝජනය කරපු අය.

ඒ වුණාට සංගමය උපසභාපතිවරයෙක් පත් කළා පනත උල්ලංඝණය කරලා ?

ඒක මගේ නොදැනුවත්කමින් සිද්ධ වුණු දෙයක්. පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් වුණු පැමිණිල්ලක් මත අපිට උපදෙස් ලැබුණා. අපි වහාම ඒක වෙනස් කළා. ඒ හැරුණම වෙන කොහේවත් අපිට විරුද්ධව කිසිම තැනක පැමිණිල්ලක් නෑ. කවුරුවත් අපිව එහෙම ගෙන්නලා ප්‍රශ්න කරලාත් නෑ.

 

 

ඡායාරූප – වාසිත පටබැඳිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here